ශ්‍රී ලංකාව ආනයන සීමා පැනවීම: යුරෝපා සංගමයෙන් ‘රතු එළියක්’

Spread the love

ශ්‍රී ලංකාව තුළ දිගින් දිගටම ආනයන සීමා පැනවීම ලෝක වෙළෙඳ සංවිධානයේ නියමයන්ට අනුකූල නොවන බව මෙරට සිටින යුරෝපා සංගම් දූත මණ්ඩල සාමාජිකයින් අද (19) දින ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා.

කොළඹ පිහිටි ප්‍රංශ, ජර්මනි, ඉතාලි, නෙදර්ලන්ත සහ රුමේනියානු තානාපති කාර්යාල එක්වයි මෙම ඒකාබද්ධ ප්‍රකාශය නිකුත් කර තිබෙන්නේ.

මෙම ඒකාබද්ධ ප්‍රකාශනය මගින් මෙරට සිටින යුරෝපා සංගම් දූත මණ්ඩල සාමාජිකයින් පවසන්නේ, වෙළෙඳාම යනු එක දිශාවකට පමණක් ගමන් කරන්නක් නොවන බවයි. වර්තමානයේ පවතින ආනයන සීමා හේතුවෙන් ශ්‍රී ලංකාවේ හා යුරෝපයේ ව්‍යාපාරවලට මෙන්ම ඝෘජු ආයෝජන වෙත ද ඍණාත්මක බලපෑමක් සිදුව තිබෙන බවත් කලාපීය ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමේ ශ්‍රී ලංකාවේ අරමුණ සාක්ෂාත් කරගැනීමට ද එය බාධාවක් බවත් අදාළ ඒකාබද්ධ ප්‍රකාශයේ දැක්වේ.

මෙම තත්ත්වය හේතුවෙන් අමුද්‍රව්‍ය සහ යන්ත්‍රසූත්‍ර ආනයනයට බාධා මතුවීම තුළ ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට ද අහිතකර බලපෑමක් එල්ලවන බවත්එ සේම, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාවට සහාය දැක්වීමෙන් වැළකී සිටීමට ශ්‍රී ලංකාව ගෙන ඇති තීරණය මෙරට සිටින යුරෝපා සංගම් දූත මණ්ඩලවල අවධානයට යොමු වී ඇති බව ඒකාබද්ධ ප්‍රකාශනයේ වැඩි දුරටත් සදහන් වේ.

ශ්‍රී ලංකාවේ විවිධ ජනවර්ග අතර සංහිදියාව, සාධාරණත්වය සහ සාමකාමී පැවැත්ම උදෙසා අඛණ්ඩව කැපවන බවට ශ්‍රී ලංකා රජය යුරෝපා සංගමය වෙත තහවුරු කර ඇති බව ද එහි දැක්වේ.

එහි වැඩි දුරටත් සදහන් වන්නේ 2018/19 කාලය තුළදී යුරෝපය හා ගනුදෙනු කිරීමෙන් ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 220ක ධනාත්මක වෙළෙඳ ශේෂයක් ලැබී ඇති බවයි.

Tags: