කෘෂිකර්ම ක්ෂේත්‍රයේ විදේශ ආධාර ව්‍යාපෘති සම්බන්ධීකරණයට විශේෂ ලේකම් කාර්යාලයක්

Spread the love

කෘෂිකර්ම අමාත්‍යාංශය හා ඒ යටතේ ක්‍රියාත්මක රාජ්‍ය අමාත්‍යාංශ වලට සම්බන්ධ විදේශ ආධාර ව්‍යාපෘති සම්බන්ධීකරණයට අදාළ විශේෂ ලේකම් කාර්යාලයක් ස්ථාපිත කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පසුගිය දා පියවර ගත්තා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් නව ලේකම් කාර්යාල විවෘත කරන අයුරු

අදාළ ලේකම් කාර්යාලය කෘෂිකර්ම අමාත්‍යාංශ පරිශ්‍රයේහි ස්ථාපිත කර තිබෙනවා.

ලෝක බැංකුව සහ කෘෂිකාර්මික සංවර්ධනය සඳහා ජාත්‍යන්තර අරමුදල හෙවත්  “IFAD” මගින් ලබා දෙන ආධාර  යටතේ දිවයින පුරා කෘෂි ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කෙරේ. අදාල ව්‍යාපෘති වල කටයුතු අධීක්ෂණය, කාර්යක්ෂම කිරීම මෙන්ම නිවැරදි සම්බන්ධීකරණයක් තුළින් විධිමත් කිරීම මෙම නව ලේකම් කාර්යාලයේ කාර්යභාරයට අයත්ය.

ගෙවතු වගාවේ සිට මහා පරිමාණ කෘෂි ව්‍යපෘති දක්වා ව්‍යාපෘති රැසක් විදේශ ආධාර මත ක්‍රියාත්මක කෙරෙන නමුත් ඒ පිළිබඳ නිවැරදි සම්බන්ධීකරණයක් මෙන්ම තොරතුරු ජාලගතවීමක් මෙතෙක් සිදුවී නැහැ. එම අඩුපාඩු නිරාකරණය කරමින් රටට ඵලදායී ලෙස මෙම විදේශ ආධාර ව්‍යාපෘති අධීක්ෂණය නව ලේකම් කාර්යාලය මඟින් සිදුකිරීමට නියමිතයි.

සාම්ප්‍රදායික කෘෂිකාර්මික රටාවට නව තාක්ෂණික සහාය ලබාදීමත් මෙම විදේශ ආධාර ව්‍යාපෘති මඟින් සිදු කෙරන තවත් කාර්යභාරයක්. ඒ දැනුමද විධිමත්ව දිවයින පුරා ගොවිජනතාව වෙත ගලායන පරිදි සම්බන්ධීකරණ නව ලේකම් කාර්යාලය ඔස්සේ සිදුකිරීම සැලසුම් කර තිබෙනවා.

කෘෂි ව්‍යවසායකයින් සහ කෘෂිකර්ම අමාත්‍යාංශය අතර ගිවිසුම් කීපයක් අත්සන් කිරීම ද මීට සමගාමීව එම ස්ථානයේ දී සිදුකෙරුණා. අදාළ ව්‍යවසායකයින් හා අමාත්‍යාංශය වෙනුවෙන් එහි ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් සුමේද පෙරේරා මහතා ඊට අත්සන් තැබුවා. ගොවිජනතාවත්. පාර්භෝගික ජනතාවත් ආරක්ෂා කරමින් මෙරට කෘෂි ක්ෂේත්‍රය නව මාවතකට යොමු කිරීමේ වැඩසටහන් මාලාවේ එක් වැසටහනක් ලෙසයි මෙම විදේශ ආධාර ව්‍යාපෘති සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය ස්ථාපිත කෙරුණේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් නව ලේකම් කාර්යාලයේ කටයුතු ආරම්භ කෙරුණ අතර එම අවස්ථාවට ඩී.බී. හේරත්, මොහාන් සිල්වා යන රාජ්‍ය අමාත්‍යවරුන්, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් සුමේධ පෙරේරා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ විදේශ ආධාර ව්‍යපෘති වල නියෝජිතයින් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

RSL

Related Posts