අපි තවමත් ඉන්නේ රෝගී පොකුරක – නමුත් මේ රෝගී පොකුර විශාලයි
- RSL
- October 26, 2020
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
ගොඩක් අයට වුවමනාව ඇති මේක සමාජගත වෙලා කියලා කතන්දරේ අහගන්න
සමාජ ව්‍යාප්තියක් අභියසට ලංකාව ඇවිත් තියෙනවා කිව්වොත් නිවැරදියි – වෛද්‍ය හරිත අලුත්ගේ
“සමාජගත වෙලා නැති නිසයි කියන්නේ සමාජගත වෙලා නැහැ කියලා, ගොඩක් අයට වුවමනාව ඇති මේක සමාජගත වෙලා කියලා කතන්දරේ අහගන්න. අපට වසංගත විද්‍යාත්මක සාධක නැතිනම් එහෙම දෙයක් කියන්න බෑ. අපිට එහෙම දෙයක් හංගලා වැඩකුත් නෑ”
දැඩි ස්වරයෙන් ඉහත ප්‍රකාශය කළේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතායි.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (26) පැවති කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳ ව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදීයි සුදත් සමරවීර මහතා මේ බව අවධාරණය කළේ.
මෙහිදී වත්මන් තත්ත්වය පිළිබදව වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා,
‘ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මේ රෝගයේ එක එක ලක්ෂණ හඳුන්වාදී ඇත්තේ ඒ අවස්ථාවේ දී මේ රෝගය වැළැක්වියුතු ආකාරය ගැන වෙනස්කමක් තියෙන නිසා. රෝගීන් පොකුරක් තිබෙන විට අපි කරන්නේ මේ ආසාදිතයින් හඹාගොස් රෝගය හඳුනාගැනීම සහ රෝග ව්‍යාප්තිය වැළැක්වීම. සමාජගත වුණාම ඊට වඩා වෙනස් ක්‍රමවේද අනුගමනය කරන්න වෙනවා. ඒ අවස්ථාවේ දී අපි දන්නේ නෑ රෝගීන් කොයි ප්‍රමාණයක් ඉන්නවාද කොහේ ඉන්නවාද කියලා. ඒ වගේ අවස්ථාවක දී අපට තියෙන්නේ රටේ තියෙන සම්පත් ප්‍රමාණය රෝගීන්ව පාලනය කිරීම සඳහා කලමනාකරණය කරන්න. ඉතින් ඒ අවස්ථා දෙක සම්පුර්ණයෙන් වෙනස් අවදි දෙකක්. දැන් මේ දක්වා අපිට හමුවන රෝගීන් සියලුදෙනා හමුවන්නේ මේ විදියට රෝගය හඹා ගිහිල්ලා අපි හඳුනාගන්නා ආශ්‍රිත රෝගීන් විදියට. එහෙම නැතුව බාහිර රෝගි අංශයට හෝ වෙනත් ප්‍රදේශවල අපි සිදුකරන අහඹු පරීකෂණවලින් අපිට රෝගීන් හමුවන්නේ නෑ. සමහර අවස්ථාවලදී අපිට රෝගීන් හමුවෙනවා OPD ඒකේදී නමුත් අපි බාහිර රෝගී අංශයෙදී අපි සොයාගන්නා ඒ රෝගීන්ගේ ඉතිහාසය ගතහොත් නැවත වතාවක් ඔවුන් මේ රෝගී පොකුරට සම්බන්ධයි. ඒ නිසා අපි තවමත් ඉන්නේ රෝගී පොකුරක. මම කලිනුත් කිව්වා වගේ මේ රෝගී පොකුර විශාලයි.
වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මෙසේ අවධාරණය කළත් අද (26) දින පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක, වෛද්‍ය හරිත අලුත්ගේ පැවසුවේ ඊට පටහැනි කතාවක්.
“ඉතාම සංකීර්ණ තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම බරපතළ අවදානමක් රට තුළ නිර්මාණය වෙමින් පවතිනවා. වෙනත් වචනවලින් කිව්වොත් අපිට ඉතා පැහැදිලිව පේන්න තියෙන දේ තමයි සමාජ ව්‍යාප්තියක් කියන සාධක සැළකීමේ දී සමාජ ව්‍යාප්තියක් අභියසට ලංකාව ඇවිත් තියෙනවා කිව්වොත් නිවැරදි.
ඊයේ දිනයේ දීත් ලංකාවේ රෝගීන් 300කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. ඒ රෝගීන්ගෙන් අති බහුතරය සමාජය තුළින් තමයි වාර්තා වෙලා තියෙන්නේ. සමාජ ව්‍යාප්තියක් කරා ගියොත්, දැඩි සත්කාර ඒකකවල තදබදයක් ඇති වෙනවා. මරණ සංඛ්‍යාව අසාමාන්‍ය ලෙස ඉහළ යනවා. අපි මේ අරන් තියෙන ක්‍රියාමාර්ග නම් ගන්නේ, රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීම සම්බන්ධයෙන් අපිට යම් භයානක තැනකට තමයි යන්න වෙන්නේ. අනිවාර්යයෙන්ම ඉදිරි මාස 2ක තුළ අසාමාන්‍ය ඉහළ මරණ ගානක් බලාපොරොත්තු වෙන්න වෙනවා රටක් විදියට අපි අද දවසේ හරි තීරණ ගත්තේ නැත්නම්.
අවධානම් දිස්ත්‍රික්ක 5ක් අපි හඳුනාගෙන තියෙනවා. කොළඹ, ගම්පහ, කළුතර, ඊට අමතරව අපි ගත්තහම කෑගල්ල සහ කුරුණෑගල නමුත් තව දිස්ත්‍රික්ක කිහිපයක දැන් අවදානම් තත්ත්වයක් මතුවෙමින් තියෙනවා. අපි කියන්නේ ඒ තත්ත්වයක් පාලනය කිරීමට නම් මේ දිස්ත්‍රික්ක 5 තුළ දිස්ත්‍රික් මායිම් සම්බන්ධයෙන් යම් සීමා පැනවීමක් සිදුවිය යුතුයි කියලා අපි යෝජනා කරනවා. ජනාධිපති කාර්ය සාධක බලකායටත් අපි යෝජනා කරලා තියෙනවා. මේ තීරණ ප්‍රමාද වීම තුළ රටට භයානක ප්‍රතිඵල ලැබීමට නියමිතයි.“

