20 න් බිහිවන ආණ්ඩුව සහ ජනපතිගේ ඉරණම ගැන විජේදාස රාජපක්ෂ කරන හෙළිදරව්ව
- RSL
- October 6, 2020
- දේශපාලන, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
රජය විසින් ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය මගින් බිහිවන්නේ විකෘති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් බවත් වත්මන් ජනාධිපතිවරයාට සිදුවන්නේ ජනාධිපති ධුරය නැමති බලවත් අසිපත මුවහත් කිරීමට පමණක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා අද (06) කොළඹ දී විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් ප්‍රකාශ කළා.
මෙහිදී විජේදාස රාජපක්ෂ මහතා මෙසේ ද සදහන් කළා.
“රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉදිරියේ දී ක්‍රියාත්මක කර ගැනීමට බැරි විකෘති අංගවිකල ව්‍යවස්ථාවක් බවට පත්වෙන සංශෝධනයක් තමයි 20 සංශෝධනයෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ 20 සංශෝධනය සම්මත වුණොත් වත්මන් ජනාධිපතිවරයාට ඉදිරි අවුරුදු 2ක 3ක කාලය තුළ “ජනාධිපතිධූරය නැමති බලවත් අසිපත මුවහත් කිරීම තමයි කරන්න සිද්ධ වෙන්නේ. හැබැයි ඒ මුවහත් කරපු අසිපත ඔහුගෙන් පස්සේ, පත්වෙන ජනාධිපතිවරයාගේ අතට පත් වුණාට පස්සේ, ඒ අසිපතෙන්ම තමයි වර්ථමාන ජනාධිපතිතුමන්ගේ ගෙළ සිඳලන්නේ කියන එක තාම අපේ ආණ්ඩුව තේරුම් අරගෙන නෑ.“
මේ ආන්දෝලනාත්මක ප්‍රකාශය සමග මාධ්‍යවේදීන් මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කළේ ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකු ලෙස මෙවැනි ආන්දෝලනාත්මක කතාවක් මේ තරම් ඉක්මනින් ප්‍රකාශ කරන්නේ කුමක් නිසාද කියායි.
ඊට පිළිතුරු දෙමින් විජේදාස රාජපක්ෂ මහතා කියා සිටියේ, රට පිළිබඳ සිය ස්ථාවරය මොන ආණ්ඩුවක සිටියත්, මොන නායකයෙක් සිටියත් කවදාවත් වෙනස් නොවන බවත් තමා ඇමැතිකම් හෝ වරප්‍රසාද ලබා ගැනීමට කිසිදා බලය ඇති පැත්තට නොගිය බවයි.
මෙහිදී මාධ්‍ය වේදීන් යළි ප්‍රශ්න කළේ බලවත් කැබිනට් අමාත්‍යධුරයක් නොලැබීම ගැන ඇති වුණ කණස්සල්ල නිසා මෙවැනි ප්‍රකාශ කරන්නේ ද කියායි.
එම ප්‍රශ්නය පිළිතුරු වශයෙන් මන්ත්‍රීවරයා කියා සිටියේ, ඒ අවස්ථාවේ පොඩි කණස්සල්ලක් තිබුණත් දැන් ඇමැතිකමක් භාර නොගත්ත එක ගැන අතිෂය සතුටට පත්ව සිටින බවයි.
ආණ්ඩුව සහ ජනාධිපතිවරයා දැඩිව අපහසුතාවට පත්වන මෙවැනි ආන්දොලනාත්මක ප්‍රකාශ කරන්නේ විපක්ෂයේ අසුන් ගැනීමට දැයි මාධ්‍ය කළ ප්‍රශ්න කිරීමේදී විජේදාස රාජපක්ෂ මහතා කියා සිටියේ, එවැනි අදහසක් නැති බවයි.

