එළවලු – පලතුරු හා වී වගාවට සැඟවී ප්‍රහාරයක්

Spread the love

මීට දශක හතරකට පමණ පෙර, එනම් අසූව දශකයේ මුල් භාගයේදී අර්තාපල් වගාකරන ප්‍රදේශ වල පසෙහි ජීවත්වෙන ‘රන්වන් කෝෂ්ඨ වටපණුවා’ නමින් වූ පණු විශේෂයක් හඳුනා ගන්නා ලදී. වටපණුවන් යනු සිහින් රවුම් දේහ දරන නෙමටෝඩා නමැති සත්ව වංශයට අයත් සාමාජිකයින් වේ.

අප බොහෝ කලක පටන් වටපනුවන් ගැන කතා කරන්නේ මිනිසාගේ දේහය තුල ජීවත්වන ආන්ත්‍රික වටපනුවන්, කොකුපනුවන්, බරවා පනුවන් ආදිය සම්බන්ධයෙන්ය. එහෙත් බෝග වගාවට හානිකරන වටපනුවන්ද සිටී. අර්තාපල් වගාවට ඉහත කී පනුවා විසින් හානිකරන්නට පටන්ගත් කල, අර්තාපල් ගොවියන් සැලකිය යුතු කාලයකට එම වගාවෙන් ඈත කරන්නටත්, එම ඉඩම් වල බෝග මාරුව වශයෙන් වෙනත් බෝගයක් වවන්නටත්, හැකිනම් කිසිවක් නොවවා පුරන්ව තබන්නටත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් එකල උපදෙස් ලබාදුනි.

මේ ආකාරයටම 90 දශකයේදී නිකවැරටිය ප්‍රදේශයෙන් ගොයමේ කුරුවීමේ තත්වයක් වාර්තා වූ අතර, එවකට සේවයේ යෙදී සිටි ආචාර්ය ලයනල් නුගලියද්ද ඇතුළු කණ්ඩායමක් විසින් ගොයමේ මුල් පරීක්ෂාකර එතැනද ඇත්තේ වටපණු හානියක් බවට වාර්තාකරණ ලදී. ගොවීන්ගේද එකඟතාවය හා කෘෂිකර්ම ව්‍යාප්ති අංශයෙන් ලැබුණු නොබඳ සහාය හමුවේ, කුඹුරු පුරන් කිරීමෙන් පමණක්, ප්‍රශ්නයෙන් ගොඩ ආ බව හෙතෙම සිහිපත් කරයි.

පසෙහි ජීවත්වෙන ඇසට නොපෙනෙන තරමේ කුඩා ජීවියෙක් නිසාත්, හානිය සිදුකරන ආකාරය සජීවීව දැකගැනීමට ගොවියාට නොහැකි නිසාත්, වගාව සතුරාට ගොදුරුවීම සෙමින් සිදුවීමත් වැනි කරුණු හේතුවෙන් යම් ප්‍රදේශයක වටපණු ගහනය ඉහළයාම නොදැනුවත්වම සිදුවේ. එවන් තත්වයක් පැමිණි කල පරිසරය පිරිසිදුකර නැවත ප්‍රකෘති තත්වයට පත්කිරීමද අසීරුය. ජීවියා බෝගය තුල මෙන්ම පසෙහිද ජීවත්වීම ඊට හේතුවයි.

මෙම පනුවන් ශාක තුලට ඇතුළුවී අභන්තර පරිවහන පටක අවහිර කිරීම හේතුවෙන් ශාකය කුරුවීම, මැලවීම, කහපැහැ වීම, මුල්වල ගැටිති සෑදීම වැනි දෑ රෝග ලක්ෂණ ලෙස පිටතට ප්‍රකාශ වන අතර, වාර්තාගත තොරතුරු වලට අනුව සපුෂ්පක ශාක 2000 කට වැඩි ගණනක් මුල්වල ගැට සාදන නෙමටෝඩාවන්ගේ අසාදනයට පාත්‍රවන බව සොයාගෙන තිබේ. මේ වනවිට වී වගාවේ වටපණු හානියද ක්‍රමයෙන් උත්සන්න වෙමින් පවතින නිසා නොපමාව මර්දන පිළිවෙත් වලට යොමුවීම අත්‍යවශ්‍ය කරුණකි. මීට අමතරව පේර වගාවද බහුල වශයෙන් වටපණු හානියට ගොදුරු වෙමින් තිබේ.

තවත් සැලකිය යුතු කරුණක් වන්නේ වටපනුවන් නිසා මූල පද්ධතියට හානි පැමිණි කල එම ශාක වෙනත් රෝග අසාදනයන්ට ඇති සංවේදී බව පවා වැඩිවීමයි. මුල තුවාල වූ විට පසේ වෙසෙන හානිකර බැක්ටීරියා හා දිලීරයන්ට ශාකය තුලට ඇතුළුවීම පහසුය. බැක්ටීරියා හිටුමැරීම, ෆියුසාරියම් හා පිතියම් වැනි දිලීර නිසා ඇතිවෙන මැලවීම මෙසේ හටගන්නා ද්විතියික අසාදනයන්ය. මේ නිසා වටපනුවන්ගෙන් තොරව වගාව පවත්වාගැනීම බෝග ආරක්ෂණය පැත්තෙන් ගත්කල ඉතා වැදගත් අවශ්‍යතාවයක් බව පෙනේ.

“වටපණු හානිය මර්දනය කිරීම අපි නිර්දේශ කරන්නේ ඒකාබද්ධ මර්දන ක්‍රමවේදයක්. ඒ කියන්නේ ක්‍රමෝපායයන් කීපයක් එකාබද්ධව අනුගමනය කිරීම. නෙමටෝඩාවන්ට ගොදුරු නොවන බෝගයක් මාරුවෙන් මාරුවට යම්කිසි භූමියක වගාකරමින් සිදුකරන බෝගමාරුව එක ප්‍රතිකර්මයක් වෙනවා. කාබනික ද්‍රව්‍ය හැකි පමණ පසට එකතුකිරීම තවත් ප්‍රතිකර්මයක්. කාබනික ද්‍රව්‍ය වැඩිවෙන තරමට මූලමණ්ඩලය අවට පරිසරයේ අජීවී ද්‍රව්‍ය මත පෝෂනයවන මෘතෝපජීවී ක්ෂුද්‍රජීවී ගහනය වැඩි වෙන නිසා, වටපනුවන් වැනි ජීවීන්ට ඔවුන්ගේ සංඛ්‍යාව වැඩිකර ගැනීමට තිබෙන තරඟය වැඩිවෙනවා. එතැනදී වක්‍ර වාසිය සැලසෙන්නේ ශාක මුල් පද්ධතියටයි. කාබනික ද්‍රව්‍ය වැඩි පසකදී වටපනු හානිය අවම වන්නේ මේ හේතුවෙනුයි. මීට අමතරව ඇතැම් පාංශු ජීවීන් මූලගැටිති සාදන නෙමටෝඩාවන් මත යැපෙන නිසාත් ඔවුන්ගේ ගහනය පසතුල පාලනය වෙනවා විය හැකියි. කාබනික පොහොරක් ලෙස කුකුල් පොහොර හොඳ ප්‍රතිකාරකයක්. හැබැයි ඒවා යොදනවානම් නොදිරූ අලුත් පොහොර තෝරාගන්න ඕනෑ. එයින් නිකුත්කෙරෙන ඇමෝනියා වායුව වටපනුවන්ට විෂයි. අමු කුකුල් පොහොර වලින් නිකුත් කෙරෙන ඇතැම් සංයෝගත් වටපනුවන් විකර්ෂණය කර පලවා හරිනවා. ප්‍රවේසම් විය යුතු තැනකුත් මෙතන තියෙනවා. වගාවට හානියක් නොවීම පිණිස අලුත් කුකුල් පොහොර දානවානම් වගාව පිහිටුවීමට සති දෙකකටවත් කලින් යොදලා පස සමග හොඳින් මිශ්‍රකල යුතුයි.”

එසේ පවසන්නේ ගන්නෝරුවේ උද්‍යාන බෝග ආයතනයේ කීට විද්‍යාඥයෙකු වන සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ ප්‍රභාත් නිශාන්ත මහතායි. මෙම ක්‍රමවේදයන්ගේ සහයට රසායනික වටපණු පාලනයක් කිරීම සඳහා මෙතෙක් තිබූ අඩුපාඩුවක් මගහරිමින් මෑතකදී වටපණු නාශක දෙකක් නිර්දේශ කිරීමටද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කටයුතු කර ඇතිබව හෙතෙම පවසයි.

මින් එකක් වන්නේ ඇබමෙක්ටින් (Abamectin 20 SC) ය. ටර්විගෝ (Tervigo) යන වෙළඳ නාමයෙන් එය බෙදාහැරේ. ඒකාබද්ධ නාශන ක්‍රමවේදයට මෙය ඉතා හොඳින් ගැලපෙන බව සඳහන් කරන ඔහු, ‘ෆ්ලුපයිරම්’ (Fluopyrum 400 SC) යන රසායන නම සහිතව ‘වෙලම්’ (Velum) යන වෙළඳ නමින් ගොවියා අතරට පැමිණෙන වටපණු නාශකයද දෙවැන්න ලෙස හඳුන්වා දෙයි.

විශේෂයෙන් මූල ගැටිති සාදන වටපනුවන් මර්දනය සඳහා මෙය පසතුල වැඩි කලක් පැවතෙමින් ක්‍රියාකරන සංයෝගයක් බවට එය හඳුනාගෙන තිබේ. මේ සියලු සංයෝග සංස්ථානික පළිබෝධනාශක නොවේ. එනම් පසට යෙදුවාට බෝග ශාකයට උරාගෙන ශාක පටක අභ්‍යන්තරයේ සිටින පනුවන් නසන්නේ නැත. පනුවා නසන්නට නම් සංයෝගය සත්වයා හා ස්පර්ශ විය යුතුමය. ඒ නිසා වගාකරුගේ සියලු ක්‍රියාකාරකම් ඉලක්කගත විය යුත්තේ වටපණුවා ශාකමුලට ඇතුල්වීමට කලින් පනුවා විනාශ කිරීමට හෝ ඇතුල්වීම අවහිර කිරීම වෙතටයි.

සනත් එම්. බණ්ඩාර

RSL

Related Posts