දුෂ්කර සහ නොදියුණු විහාරස්ථානවලටත් රජයේ මූල්‍යාධාර ලබාදෙන්න අගමැති උපදෙස් දෙයි
- RSL
- September 28, 2020
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
විහාරස්ථාන කිහිපයකට පමණක් රජයේ මුල්‍යාධාර සීමාවීම වැළැක්වීම සඳහා රට පුරා සියලු දුෂ්කර සහ නොදියුණු පන්සල්වලටද ඉදිරියේදී මුල්‍යාධාර ලැබෙන පරිදි රජයේ ප්‍රතිපාදන වෙන්කළ යුතුව ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (28) දින පැවැසීය.
පසුගිය කාලයේ රජයේ මුල්‍යාධාර ලබා දීමේ වැඩසටහන්වලදී දියුණු විහාරස්ථානවලට රුපියල් මිලියන ගණනින් ආධාර ලබා දී ඇති බවත්, දුෂ්කර සහ නොදියුණු පන්සල් සංවර්ධනයට මුදල් වෙන් නොවීමත් සැලකිල්ලට ගනිමින් අග්‍රාමාත්‍යවරයා මෙම උපදෙස් ලාබා දුන්නේය.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ දොඩම්ගස්ලන්ද ආසනයේ සංවර්ධන කටයුතු කඩිනම් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ශ්‍රී ලංකා ජාතික භික්ෂු පෙරමුණේ දොඩම්ගස්ලන්ද ආසනයේ භික්ෂූන් වහන්සේලා අතර සාකච්ඡාවක් කොළඹ විජේරාමයේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදී පැවැති අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.
දොඩම්ගස්ලන්ද ආසනයේ පවතින ගැටලු ගණනාවක් පිළිබඳව මෙහිදී අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමුවිය.
නෙල්ලිගල රාජමහාවිහාරය පූජා භූමියක් ලෙස නම් කිරීම සහ විහාරස්ථානවල සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් බුද්ධශාසන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාට මෙහිදී අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබාදුන්නේය.
දොඩම්ගස්ලන්ද ආයුර්වේද රෝහලේ පවතින ගැටලු පිළිබඳව අවධානය යොමුකරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට උපදෙස් ලබාදුන් අග්‍රාමාත්‍යතුමා දොඩම්ගස්ලන්ද නගරයේ පවතින ප්‍රධාන අඩුපාඩුවක්ව පැවැති පොදු වැසිකිලි පද්ධතියක් ඉදිකිරීම ඇතුළු අනෙකුත් ගැටලු සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු පිළිබඳව සොයා බලන ලෙස වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතාට ඒ මොහොතේදීම දන්වා සිටියේය.
ශ්‍රි ලංකා ජාතික භික්ෂු පෙරමුණේ දොඩම්ගස්ලන්ද ආසනයේ සභාපති කිරිදිවත්තේ සුමනසාර නායක ස්වාමින්වහන්සේ, ශ්‍රී ලංකා ජාතික භික්ෂු පෙරමුණේ දොඩම්ගස්ලන්ද ආසනයේ ලේකම් කටුකෙන්දේ චන්ද්‍රසිරි ස්වාමින්වහන්සේ, රිදීගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකම් රම්බඩගල්ලේ තිලකවංශ ස්වාමින්වහන්සේ, දොඩම්ගස්ලන්ද ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකම් කැකිරියේ විමලසිරි ස්වාමින්වහන්සේ, සහ බුද්ධශාසන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, අග්‍රාමාත්‍ය උපදේශක එස්.ලියනගම මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

