20ට එරෙහිව අදත් මූලික අයිතිවාසිකම් පෙත්සම් 06ක් – මුළු ගණන 12ට නගී
- RSL
- September 24, 2020
- දේශපාලන, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
අධිකරණ ඇමැතිවරයා විසින් පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් අද (24) දිනය අවසන් වන විට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් ඉදිරිපත් වී තිබෙනවා.
අද දිනයේ ද කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන්, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා, මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන ශ්‍රීම් අබ්දුල් සනුන්, යාපනයේ පදිංචි පුරවැසියෙකු වන එස්.සී.සී.ඉලංගෝවන්, තවත් පුරවැසියන් දෙදෙනකු වන මරීන් ලෝහිනී ප්‍රනාන්දු සහ ලක්මාල් ජයකොඩි අය විසින් තවත් පෙත්සම් 06 ක් ගොනුකර කළා.
ඊයේ (23) දිනය වන විට නීතිඥ ඉන්දික ගාල්ලගේ, සමගි ජන බලවේගය පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, පුරවැසියකු වන අනිල් කාරියවසම්, ශ්‍රී ලංකා විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු යන පාර්ශව විසින් මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකර තිබුණා.
මෙම සියලු මූලික අයිතිවාසිකම් පෙත්සම් වල සඳහන් කර තිබෙන්නේ රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පතේ අඩංගු ඇතැම් වගන්ති තුළින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් මෙන්ම වෙනත් ප්‍රතිපාදන ද බරපතල ලෙස උල්ලංඝනය කරන බවයි.
එබැවින් යෝජිත පනත් කෙටුම්පතේ ප්‍රශ්නගත අදාළ වගන්තිය සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් පමණක් සම්මත වීම ප්‍රමාණවත් නොවන බවටත් ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා එයින් ද සම්මත විය යුතු බවට තීන්දුවක් ප්‍රකාශ කරන ලෙස ද එම පෙත්සම්වලින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.
මෙම සියලුම මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වග උතත්රකරු ලෙස නම්කර තිබෙන්නේ නීතිපතිවරයායි.

