ඕස්ට්‍රේලියාවේ කිඹුල් ගගේ ‘අඩි 52ක තල්මසෙක්’
- RSL
- September 14, 2020
- පුවත් සහ වාර්තා, විදේශීය
- featured
- 0 Comments
ගංගාවක පීනා යන අති දැවැන්ත තල්මසෙක් දැක ගන්න ලැබුණොත් ඔබට කුමක් සිතේද කියා මතක් කරන්න. ඔබ භීතියටත් – විස්මයටත් පත්වන බව නම් සිකුරුයි. ඒ වගේම ඔබ සතුටටත් පත්වෙවි. ඒ ඇයි කියලා කියන්න අවශ්‍ය නැහැනේ.
කොහොම වුණත් මෙවැනි විස්මිත අත්දැකීමකට පසුගිය දා ඔස්ට්‍රේලියානු ජනතාව මුහුණ දුන්නා. මේ විස්මිත කතාවයි.
ඔස්ට්‍රේලියාවේ විශාලතම ජාතික වනේද්‍යානය සහ ලෝක උරුමයක් වන කකාඩු ජාතික වනෝද්‍යානය හරහා ගලා බසින කිඹුලන් බහුලව ජීවත් වන ‘කිඹුල් ගගේ (crocodile river) තමයි මේ ආකාරයෙන් අඩි 52ක් තරම් දිග ‘හ්ම්ප්බැක් තල්මසෙකු – Humpback whales දැක තිබෙන්නේ. ඒ ගංගාවේ කිලෝමීටර් 30ක පමණ දුරකින් වීමත් විශේෂත්වයක්.
ගඟේ මඩ සහිත වංගුව දිගේ පිහිනන මේ අති දැවැන්තයා දුටු ප්‍රදේශවාසීන් මවිතයට පත්ව තිබෙනවා.
වාර්ෂික මුහුදු සංක්‍රමණයක යෙදී සිටියදී “වැරදි හැරීමක්” සිදු කළ තල්මසෙකු මේ ආකාරයෙන් හමුවී ඇති බවයි විශේෂඥයෝ විශ්වාස කරන්නේ.
මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ තල්මසුන් පිළිබද විශේෂඥයෙකු සදහන් කළේ තල්මසුන් දෙදෙනකු මේ ආකාරයෙන් මග වැරදී ගංගාවට ඇතුළු වන්නට ඇති බවයි. එහෙත් මෙතෙක් හමුවෙලා තිබෙන්නේ එකෙක් පමණයි.
ඕස්ට්‍රේලියාවේ මිරිදිය ගංගාවක තල්මසෙකු හමු වූ පළමු අවස්ථාව මෙය බවයි විශේෂඥයෝ කියන්නේ.
‘හම්ප්බැක් තල්මසා ගංගාවේ බහුලව සිටින කිඹුලන්ට කිසිම බාධාවක් වන බවක් පේන්න නැහැ. එහෙත් ඔහු නොගැඹුරු ජලයේ අතරමං වුවහොත් එම අවදානම තීව්ර විය හැකියි‘ බලධාරීන් ප්‍රකාශ කළා.

“එය මීට පෙර කිසි දිනෙක ඕස්ට්‍රේලියාවෙන් වාර්තා නොවූ දෙයක්. එය ඇත්තෙන්ම අසාමාන්‍ය දෙයක්” යැයි සමුද්‍ර පරිසර පද්ධති විද්‍යාඥ කැරොල් පාමර් පැවසීය. “අඳුරු දුඹුරු ජලය” නිසා තල්මසුන්ට ආධාර අවශ්‍ය දැයි නිශ්චය කිරීම දුෂ්කර බව ද ඇය පැවසුවාය.
තල්මසුන් එහි ගියේ කෙසේද?
පාමර් මහත්මිය ඕස්ට්‍රේලියානු ගුවන්විදුලියට පැවසුවේ “මෙම තල්මසුන් වැරදි හැරීමක් සිදු කළේ ඇයි ?” යන්න විශේෂඥයින්ට පැහැදිලි නැති බවයි.
‘ඔවුන් දකුණට, ඇන්ටාක්ටිකාව දෙසට ගමන් කර ඇතැයි සිතිය හැකියි. නමුත් වැරදීමකින් මෝය කටට ඇතුළු වෙලා තවත් ඉහළට පීනා යන්න ඇති. තල්මසුන් වසන්තයේ දී ඕස්ට්‍රේලියාවෙන් පිටත උණුසුම් ජලයට සංක්‍රමණය වීම සාමාන්‍ය දෙයක් ‘ඇය වැඩි දුරටක් පැවසුවාය.
අනතුරක් තිබේද?
මෙම ගංගාවේ විශාල කිඹුල් ගහණයක් සිටිය ද ඔවුන් සහ තල්මසා අතර ගැටුමක් සිදු නොවනු ඇතැයි විශේෂඥයෝ කියති.
නමුත් තල්මසා ගංගාවේ නොගැඹුරු වංගුවක සිරවී ඉවුරකට ගසාගෙන ගියහොත් “එය ඔවුන්ට පහසු ආහාරයක්” යැයි පාමර් මහත්මිය ඒබීසීයට පැවසුවාය.
‘මීටර් 12-16 ක හම්ප්බැක් තල්මසෙකු ගංගාවෙන් ඉහළට ඔසවා තැබීමට අපට හැකියාවක් නැහැ. කිඹුලන්ගේ අවදානම ඉතාම ඉහළයි‘ ඇය වැඩි දුරටත් පැවසුවාය.
උදව් කිරීමට නිලධාරීන් කරන්නේ කුමක්ද?
තල්මසාට යළි මුහුදට පීනා යාම සදහා ඉඩදීමට ගංගාවේ එක කොටසක බෝට්ටු ධාවනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

පාමර් මහත්මිය කියා සිටියේ අසල ඇති බෝට්ටුවලින් “ශබ්දයක්” නිකුත් කිරීම හෝ හම්ප්බැක් තල්මසුන්ගේ ඇමතුම් පටිගත කිරීම වැනි විකල්ප කිහිපයක් නිලධාරීන් විසින් සලකා බලන බවයි.
“එය සෑම මට්ටමකින්ම ව්‍යාකූලයි. නමුත් සෑම කෙනෙක්ම හැකි උපරිමයෙන් ඔහුට උපකාර කිරීමට වෑයම් කරනවා‘ ඇය පැවසුවාය.
බී.බී.සී. වාර්තාවකි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

