මධ්‍ය සහ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස ඉදිකිරීමට ජනපතිගෙන් උපදෙස්
- RSL
- June 10, 2020
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
මධ්‍ය සහ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස ඉදිකිරීමට අවධානය යොමු කරන්නැයි රාජ්‍ය සංවර්ධන සහ නිර්මාණ නීතිගත සංස්ථාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දෙයි.
රාජ්‍ය සංවර්ධන සහ නිර්මාණ නීතිගත සංස්ථාවේ ප්‍රගතිය සමාලෝචනය කරණු පිණිස අද (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී මේ උපදෙස් දෙනු ලැබීය.
සාම්ප්‍රදායික රටාවෙන් බැහැරව රාජ්‍ය ආයතන ලාභ ලබන තත්වයට පත් කිරීමට අවශ්‍ය සැලසුම් කඩිනමින් සකස් කළයුතුව ඇතැයි ජනාධිපතිවරයා අවධාරණය කළේය.
පසුගිය වසර 05 අවසානයේ ආයතනය භාර ගන්නා විට පැවති සහ වත්මන් තත්ත්වය පිළිබඳ වාර්තාවක් දෙන ලෙස දැනුම් දුන් ජනපතිවරයා ඉදිරි වසරේදී ළඟා කරගත යුතු ඉලක්ක මේ වසරේ දී සැලසුම් කළ යුතු බව පැවසීය.
රාජ්‍ය ආයතන පෞද්ගලික අංශයේ නව ඉදිකිරීම් අවස්ථා අත් කර ගැනීමේ වැදගත්කම අවධාරණය කළ ජනාධිපතිවරයා පෞද්ගලික අංශය සමග තරගකළ හැකි අන්දමින් ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය වර්ධනය කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය.
රාජ්‍ය ආයතනවලින් සංස්ථාවට අය විය යුතු මුදල් නිසි පරිදි නොලැබීම නිසා මතුව ඇති ගැටළුව ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කෙරිණ.
ඒ පිළිබඳව සොයා බලා මුදල් අය කර ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළ සැකසීමට ජනාධිපති නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා සහ රාජ්‍ය සංවර්ධන සහ නිර්මාණ නීතිගත සංස්ථාවේ සභාපති ඩී.පී.එම්. චන්දන මහතා ඇතුළු අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

