ජනාධිපතිවරණයේදී මහින්ද – ගෝඨා දෙන්නට තිබුණ ජන රැල්ල දැන් නෑ !
ආණ්ඩුවට කිසිම ආර්ථික ප‍්‍රතිපත්තියක් නැති නිසා ආර්ථිකය වේගයෙන් දුර්වල වෙනවා. මේක කොරෝනා නිසාම ඇති වුණ තත්ත්වයක් නොවෙයි. කොරෝනා නාවත් මේ ආර්ථික අහේනියට මුහුණ දෙන්න ජනතාවට සිද්ධ වෙනවා
සුදුස්සාට සුදුසු තැන නොදී හිතමිතුරන්ට පක්ෂයේ සහ ආණ්ඩුවේ ඉහළ තනතුරු ලබා දීමට කළ යුතු කළ එක්සත් ජාතික පක්ෂ නායකත්වය මෙවර මහ මැතිවරණයේදී මතක සිටින පාඩමක් ඉගෙන ගනු ඇතැයි සමගි ජනබලවේගයේ ගම්පහ දිස්ත‍්‍රික් අපේක්ෂක හිටපු පළාත් සභා මන්ත‍්‍රී යූ. ජෝර්ජ් පෙරේරා මහතා පැවසීය.
ඊයේ (8) කිරිල්ලවල රංජිත් ප්‍රේ‍්‍රමතිලක මහතාගේ නිවසේ පැවැති ජනහමුවකදී මේ බව සදහන් කළ යූ. ජෝර්ජ් පෙරේරා මහතා වැඩි දුරටත් කියා සිටියේ සාම්ප‍්‍රදායික ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ බලකොටුවක් වන මහර ආසනයෙන් මෙවර සමගි ජනබලවේගය ඓතිහාසික ඡන්ද ප‍්‍රමාණයක් ලබා ගන්නා බවයි.
එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් යූ.ජෝර්ජ් පෙරේරා මහතා මෙසේද පැවසුවේය.
එක්සත් ජාතික පක්ෂය කියන්නේ අපේ පරම්පරා තුනක් නියෝජනය කළ පක්ෂයක්. මගේ සීයා වගේම පියත් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් දැඩි කැපකිරිමක් කළා. මාත් පසුගිය දශක තුනකට ආසන්න කාලය පුරාම එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් දැවැන්ත කැප කිරීමක් කළා. අපේ ශක්තියෙන්, කැපවීමෙන් තමයි පක්ෂය මෙපමණ කාලයක් ජනබලය රැක ගත්තේ.
ඒත් එජාපයේ වත්මන් නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වය ලබා ගත් දා සිට පක්ෂයට සෙනසුරු අපලය ලැබුවා. පාක්ෂිකයින් සහ මන්ත‍්‍රීවරුන්, ආසන සංවිධායකවරුන් දැවැන්ත කැප කිරීම් කරලා ආණ්ඩු බලය ලබා දුන් 2001 දී වගේම 2015දීත් ආණ්ඩු බලය රැක ගන්න එතුමාට නොහැකි වුණා. ඒ වගේම පාක්ෂිකයින් වෙනුවෙන් කිසිම සේවයක් ඉටු කළේ නැහැ. පාක්ෂිකයින් දිහා ඇහැක් ඇරලා බැලුවේ නැහැ. පක්ෂය ශක්තිමත් කිරීමක් ගැන හිතුවේ නැහැ.
ඒ වෙනුවට එතුමගේ රාජකීය විදුහලේ මිතුරෝ ළං කරගෙන සියලු තනතුරු සහ වරප‍්‍රසාද දෙමින් පක්ෂය විනාශ කළා. පාක්ෂිකයින් පක්ෂයෙන් ඈත් කළා. එහි ප‍්‍රතිඵල තමයි අපි අදත් මේ විදවන්නේ.
2015දී එක්සත් ජාතික පාක්ෂිකයෝ දැවැන්ත කැප කිරීමක් කරලයි ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කරලා දුන්නේ. ඒත් ඒ බලය රැක ගන්න එතුමාට නොහැකි වුණා. එතුමගේ රාජකීය මිත‍්‍රයෝ සහ පන්ති සගයෝ ඒ ආණ්ඩුව විනාශ කළා. ඒ නිසා අපිට නියමිත කාලයට පෙර, ආණ්ඩු බලය, ජනාධිපති බලය නැතිව මහ මැතිවරණයට යාමට සිදු වුණා. මේ සියලු දේවලින් පීඩාවට පත් වන්නේ එක්සත් ජාතික පාක්ෂිකයෝ.
පක්ෂයට, පාක්ෂිකයින්ට අඛණ්ඩව, දිගින් දිගටම සිදුවෙන මේ අගතිය, පීඩනය තව දුරටත් දරා ගන්න නොහැකි නිසයි සජිත් පේ‍්‍රමදාස මැතිතුමා සහ අපේ නායකයෝ සියලු දෙනා එකතු වෙලා සමගි ජනබලවේගය නිර්මාණය කළේ.
එදා ඩී.එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, ජේ.ආර්. ජයවර්ධන සහ ආර්. පේ‍්‍රමදාස මහතා දිනා දුන් එක්සත් ජාතික පක්ෂයේ නියම උරුමය, සැබෑ උරුමය තියෙන්නේ සමගි ජනබලවේගය තුළයි. අද එක්සත් ජාතික පක්ෂයේ සියයට 99ක්ම ඉන්නේ සමගි ජනබලවේගය සමගයි. ඒ නිසා අපි නොබියව කියනවා මෙවර ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් සමගි ජනබලවේගය සැබෑ ජනවරමක් ලබා ගන්නවා. විශේෂයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලකොටුවක් වන මහර ආසනයෙන් ඓතිහාසික ඡන්ද ප‍්‍රමාණයක් ලබා ගන්නවා.
මෙහිදී ඉතාම වැදගත් දෙයක් සදහන් කළ යුතුයි. ඒ තමයි පසුගිය නොවැම්බර් 17 වැනිදා පැවැති ජනාධිපතිවරණයේදී වත්මන් ආණ්ඩුවට තිබුණ ජනතා ආකර්ෂණය අද නැහැ. ජනතාවට දැන් ඇත්ත තත්ත්වය මනාව පැහැදිලි වෙලා තිබෙනවා. ජනතාව දැන් දන්නවා නොවැම්බර් 17 වැනිදා තමන්ව රැවටුණ බව. ජීවන වියදම වේගයෙන් ඉහළ යමින් තිබෙනවා.
ආණ්ඩුවට කිසිම ආර්ථික ප‍්‍රතිපත්තියක් නැති නිසා ආර්ථිකය වේගයෙන් දුර්වල වෙනවා. මේක කොරෝනා නිසාම ඇති වුණ තත්ත්වයක් නොවෙයි. කොරෝනා නාවත් මේ ආර්ථික අහේනියට මුහුණ දෙන්න ජනතාවට සිද්ධ වෙනවා. ඒ නිසා මේ රටේ තීරණාත්මක ජන කොටස වන මධ්‍යස්ථ ඡන්දදායකයා අද ආණ්ඩුව වෙතින් ඉවත් වෙමින් සිටිනවා. මහ මැතිවරණය ළං වන විට ඒ තත්ත්වය තව දුරටත් වර්ධනය වන බව පැහැදිලියි. ඒ නිසා අපිට ආණ්ඩුවට තීරණාත්මක අභියෝගයක් කරන්න හැකියාව තිබෙනවා.
මෙහිදී මා යළිත් එක්සත් ජාතික පක්ෂය ගැන සදහන් කළ යුතුයි. මෙවර මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට ගම්පහින් එක ආසනයක්වත් දිනා ගැනීමට හැකියාව ලැබෙයිද කියන එක සැකයි. ඒ නිසා අද එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තරයේ විශාල බෙලිකැපීමක් සිද්ධ වෙනවා. ඒ වාසනාවටවත් ගම්පහින් ආසනයක් ලැබුණොත් ඒකට පත් වෙන්නේ කවුද කියලා.
අපිට ආරංචි විදිහට ගම්පහට කඩා පාත් වුණ එක්සත් ජාතික පාක්ෂිකයෙක් පවා නොවන හිටපු ක‍්‍රිකට් ලොක්කා, අර්ජුන රණතුංග මහතා සහ එජාප නායකයාගේ බෑනා වන රුවන් විජේවර්ධන අතර දැවැන්ත සීතල යුද්ධයක් තිබෙනවා. ඔවුන් ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන්ට සහ ශාඛා සමිතිවල නායකයින්ට දිගින් දිගටම බලපෑම් කරමින් ඉන්නවා.
ඔවුන් අද ආණ්ඩුවට වඩා ඉලක්ක කරන්නේ සමගි ජනබලවේගයයි. සජිත් පේ‍්‍රමදාස මහතායි. ඒ නිසා අපි එක්සත් ජාතික පාක්ෂිකයින්ට ගෞරවයෙන් මතක් කරනවා අද එජාපය කියන්නේ අලියා ගිල්ල දිවුලක් වාගේ රොඩ්ඩක්. එජාපයේ නියම සාරය, ජීවය තියෙන්නේ සමගි ජනබලවේගය තුළයි. ඒ නිසා මේ රටේ දැවැන්ත ස්ථාවර ඡුන්ද පදනමට හිමිකම් කියපු එජාපයේ ඡුන්දවලින් සියයට 99ක්ම සමගි ජනබලවේගය වටා එක් වෙමින් තිබෙනවා.
මෙහිදී එක්සත් ජාතික පක්ෂයෙන් තමා ද ඇතුළු 99 දෙනකු නෙරපීම ගැන අදහස් දක්වමින් ජෝර්ජ් පෙරේරා මහතා කියා සිටියේ එය ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් බිය ගැන්වීම සඳහා ගෙන යන බිය ගැන්වීමේ වැඩපිළිවෙළක් බවයි.
‘‘මම වගකීමෙන් කියන්නේ. ඔය ලියන 99 දෙනා අතර මගේ නම 11 වැනියට තිබෙන්නේ. ඒත් අද වෙනතුරු අපිට එරෙහිව විනය පරීක්ෂණයක් තියන්න දිනයක් හෝ චෝදනා ගොනු කිරීමක් කරලා නැහැ. අපි කියන්නේ අපි පක්ෂයේ විනය කැඩුවා නම් අපිට චෝදනා ගොනු කරලා විනය පරීක්ෂණයක් තියන්න. අපිට ඒවා ලිඛිතව දැනුම් දෙන්න. එහෙම නොකර අපිට සහයෝගය දෙන ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරු, නගර සභා මන්ත‍්‍රීවරුන් බිය ගැන්වීමට ඊනියා විනය පරීක්ෂණ ගැන කතා කියන්න එපා. මොකද අද වෙනතුරු අපි කිසිම කෙනෙකුට චෝදනා ගොනු කරලා ලිපියක් භාරදීලා නැහැ. මේ වැඩ නිසා තව තවත් පාක්ෂිකයෝ සහ ප‍්‍රාදේශීය දේශපාලනඥයින් කළකිරෙන එක විතරයි සිද්ධ වෙන්නේ. අපි කිසිම අවස්ථාවක මේ කතාවලින් පසුබට වෙලා අපේ ගමන නතර කරන්නේ නෑ’

මෙහිදී මා ගැනත් යමක් පැවසිය යුතුයි. ඔබ සියලු දෙනාම දන්නවා මම දශක තුනකට ආසන්න කාලයක් ජනතා නියෝජිතයෙක් ලෙස ඔබ සමග, ඔබ වෙනුවෙන් කටයුතු කළා. ඔබගේ දුක – සැප දෙකේදී නොසැලී සිටියා. පක්ෂ- පාට භේදයකින් තොරව ඔබ වෙනුවෙන් සේවය කළා. කොතරම් බලපෑම් එල්ල වුණත්, වරප‍්‍රසාද, වරදාන ලබා දෙනවා කීවත් මම ඔබගේ ඡුන්දය පාවා දුන්නේ නැහැ. එදා සිට අඛණ්ඩව ඔබ වෙනුවෙන් කටයුතු කළා.
ඔබලා පසුගිය සෑම මැතිවරණයකදීම මට පූර්ණ සහාය ලබා දුන්නා. ඒ නිසා මම අදත් අපරාජිත මන්ත‍්‍රීවරයෙක් ලෙස ඔබ වෙනුවෙන් සේවය කරනවා. මම ඔබගෙන් ඉල්ලා සිටින්නේ මහ මැතිවරණයේදී නත්තල් සීයා වාගේ වෙන්න මට ධන බලයක් නැහැ.
අල්ලස් – දූෂණය මගින් උපයා ගත් කලු සල්ලි නැහැ. කලු සල්ලිකාරයෝ මා පිටුපස නැහැ. ඒ නිසා ඉතාම සරල, අවම වියදමක් ඇති මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරයක් මට කරන්න වෙලා තිබෙන්නේ. ඒ නිසා හුදු ප‍්‍රචාරණයට, ප‍්‍රදර්ශනයට වසී වෙලා ඔබගේ වටිනා මනාපය අපයෝජනය කර ගන්න එපා කියලා මම ඔබගෙන් වැඩි දුරටත් ඉල්ලා සිටිනවා.
මහර ප‍්‍රාදේශීය වාර්තාකරු – සදුන් සමරවීර

