මහ මැතිවරණය ජූනි 20 පැවැත්වීමට එරෙහි පෙත්සම් විභාගය මැයි 18-19 දිනවල

Spread the love

පාර්ලිමේන්තු මහ මැතිවරණය  ජූනි මස 20 වැනිදා  පැවැත්වීමට එරෙහිව පාර්ශ්ව 7ක් විසින් ගොනු  කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් හතක් ලබන 18 සහ 19 දෙදින සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) තීන්දු කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ජයන්ත  ජයසූරිය, එස්. තුරෙයිරාජා මහතා  සහ මුර්දු ප්‍රනාන්දු  යන මහත්ම මහත්මීන් ගෙන් යුතු  ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්  හමුවේ  මෙම මූලික අයතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සිදුවිය.

අද දින පැවැති මූලික අයතිවාසිකම් පෙත්සම් විභාගයෛ්දී නීතිපතිවරයා වෙනු⁣වෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ ඉන්දිකා දේමුණි ද සිල්වා මහත්මිය කියා සිටියේ තමන් මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී නොසිටින බවයි.

මෙහිදී පෙත්කම්කරුවෙකු වන නීතීඥ චරිත ගුණරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ එම්.ඒ.සුමන්තිරන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම පෙත්සම් ජාතික වැදගත්කමකින් යුතු පෙත්සම් බැවින් පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිය යුතු බවයි. සෙසු පෙත්සම්කාර නීතීඥවරුන් එම කරුණු දැක්වීම අනුමත කළේය.

එහිදී අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේමුණි ද සිල්වා මහත්මිය කියා සිටියේ ඒ පිළිබද අගවිනිසුරුතුමන් විසින් තීරණය කළ යුත්තක් බවත් මහ මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් අද දින මැතිවරණ කොමිසමේ සාකච්ඡාවක් ද පැවැත්වෙන බවයි.

එම කරුණු දැක්වීම් වලින් අනතුරුව විවෘත අධිකරණය හමුවේ අදහස් දැක්වූ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා කියා සිටියේ රටේ දැනට පවතින වාතාවරණය අනුව මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවතින බවත්, මේ පෙත්සම් සම්බන්ධයෙන් කල්⁣වේලා ගත කරමින් මේ මොහොත තුළ අධිකරණ ශාලාව තුළ විභාග නොකළ යුත්තක් බවත්එ බැවින් ලබන 18 සහ 19 දෙදින මෙම සියලු පෙත්සම් සලකා බැලීමට තීන්දු කරන බවත්එ හිදී සියලු පාර්ශවයන් වෙත ඇහුම්කන් දීම කළ යුතු බවයි.

Tags: