‘ජනපති ලේකම්තුමාට’ පුරවැසියකුගෙනුත් පෞද්ගලික ආයාචනයක්

Spread the love

හැකිනම් රාජ්‍ය සේවකයාගේ එක්දිනක වැටුප ඔහුගේ මැයි මස වැටුපට අතිරේක දීමනාවක් ලෙසට එක් කරන්නැයි මව්රට සංවිධානයේ ජාතික සංවිධායක ඉන්දික රණතුංග ඉල්ලා සිටී. ඒ සමාජ ජාලා මාධ්‍ය හරහා විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

ඔහු පෙන්වා දෙන්නේ ඉදිරි කාලය රාජ්‍ය සේවකයාට ආර්ථික වශයෙන් ඉතා දුෂ්කර කාල පරිච්ඡේදයක් විය හැකි බැවින් මෙම ඉල්ලීම පෞද්ගලික ආයාචනයක් ලෙසට ජනාධිපති ලේකම්ගෙන් සිදු කරන  බවයි.  

”ජනාධිපති ලේකම්තුමා පෞද්ගලික ඉල්ලීමක් කරලා තියෙනවා රාජ්‍ය සේවකයාගෙන් සිය මාසික වැටුප, මාස භාගයක වැටුප හෝ දිනක වැටුප ආණ්ඩුවට පරිත්‍යාග කරන්නෙයි කියලා. මේ අවස්ථාවේදී මම එතුමාගෙන් පෙරළා පුරවැසියෙක් විදියට පෞද්ගලික ඉල්ලීමක් කරනවා හැකිනම් දිනක වැටුපක් මේ මැයි මස රාජ්‍ය සේවකයාගේ වැටුපට අතිරේකව එක් කරන්න කියලා. ඒ රාජ්‍ය සේවකයා මේ වෙලාවේ සිටින අසරණ තත්ත්වය සලකා බලමින්.

රට 11 වැනිදා කුමන ආකාරයට හෝ විවෘත කළාට පස්සේ මාස දෙක තුනක විදුලි බිල්පත්, ටෙලිෆොන් බිල්පත්, ගෙවල් කුලී, ක්‍රෙඩිට් කාඞ් ගාස්තු ආදි ගෙවීම් රැුසක් ගෙවීමට සිදු වෙනවා. ඇත්තට ම එය රාජ්‍ය සේවකයාට දරාගත නොහැකි මුදලක් විය හැකියි.  අපි දන්නවා බොහෝ විට රාජ්‍ය සේවකයාගේ වැටුප ණය ආදියට සම්පූර්ණයෙන් ම වැය වෙනවා. ඔවුන් එදිනෙදා වියදම් පියවා ගන්නේ බොහෝ විට අතිකාල කරලා. නැතිනම් අතිරේක රැකියාවක් කරලා.

නමුත් ඒ සියලූ ආදායම් මේ වන විට රාජ්‍ය සේවකයාට අහිමි වී තිබෙනවා. ඒ වගේම ඉදිරියේදී වෙළඳ පොළේ භාණ්ඩ මිල ඉහළ යාමේ ප‍්‍රවණතාවක් ඇති විය හැකියි. විශේෂයෙන්ම ප‍්‍රවාහන පහසුකම්වලට යම් යම් බාධා පැමිණ තිබෙනවා. ගොවිතැන් කිරීමට අපහසු වෙලා තියෙනවා. විවිධ බාධා නිසා ගොවියා ගොවිතැන් කිරීමට මැළිකමකනවා. පිටරටින් භාණ්ඩ ගෙන්වීම අඩු වෙන්න පුළුවන්. මේ හේතුවෙන් වෙළඳපොළේ ඉල්ලූමට සරිලන සැපයුම් ඇති නොවුණ හොත් භාණ්ඩ සහ සේවාවල මිල ඉහළ යා හැකියි. එයත් රාජ්‍ය සේවකයින්ට දරා ගත නොහැකි මට්ටමක් වනවා.

මේ නිසා මම ජනාධිපති ලේකම්ගෙන් පෞද්ගලිකව ආයාචනය කරන්නේ හැකි නම් මේ මැයි මාසයේ රාජ්‍ය සේවකයාගේ වැටුපට දවසක වැටුපක් අතිරේක දීමනාවක් ලෙසට එක්කර ලබා දෙන්න. ඒක රාජ්‍ය සේවකයාට ලොකු උදව්වක්. පිහිටක්…” යැයිද ඔහු වැඩිදුරටත් කියා සිටි.

Tags: