The Developing Story: එකම පුවත ස්වාමියෝ දෙදෙනෙක් ! ඇත්ත කියන්නේ කවුද ?
- RSL
- May 4, 2020
- ආර්ථික සහ ව්‍යාපාරික
- featured
- 0 Comments
COVID-19 හි බලපෑමට ලක්ව නැගී එන ආර්ථිකයන් අතර ශ්‍රී ලංකාවත් – දිනමිණ
COVID-19 වසංගතය හේතුවෙන් බලපෑමට පත්ව ඇති නැගී එන ආර්ථිකයන්ගෙන් එකක් ලෙස ජාත්‍යන්තර සඟරාව වන ‘ද ඉකොනොමිස්ට්‘ ශ්‍රී ලංකාව නම් කර තිබේ. ඉහළ රාජ්‍ය ණය සහ විදේශ ණය සහ අඩු විදේශ සංචිත හේතුවෙන් ආර්ථික විශේෂඥයන් විසින් සන්සන්දනය කර ලද නැගී එන ආර්ථිකයන් 66 අතුරින් ශ්‍රී ලංකාව 61 වන ස්ථානයට පත්ව ඇත.
දකුණු ආසියාවේ දරුණුතම බලපෑමට ලක්වූ ආර්ථිකය ලෙස ශ්‍රී ලංකාව ශ්‍රේණිගත වී තිබේ. අඩු විදේශ ණය සහ ඉහළ විදේශ සංචිත ඇති අසල්වැසි ඉන්දියාව 18 වන ස්ථානයත්, බංග්ලාදේශය 8 වන ස්ථානයත්, ඉහළ ණය ඇති පාකිස්තානය 43 වන ස්ථානයත් ලබා ඇත.
ඉකොනොමිස්ට් ශ්‍රේණිගත කිරීම මඟින් අනතුරුදායක විය හැකි ප්‍රභවයන් හතරක් හරහා ආර්ථිකයන් 66 ක් පරීක්ෂා කර ඇතැයි සදහන් වේ.
එනම් රාජ්‍ය ණය, විදේශ ණය (රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයෙන්ම) සහ ණය ගැනීමේ පිරිවැය (රජයේ ඩොලර් බැඳුම්කරවල ඵලදාව අනුව හැකි සෑම තැනකම) ඇතුළත් වේ. එය මේ වසරේ ඔවුන්ගේ විදේශ ගෙවීම් (ඔවුන්ගේ ජංගම ගිණුම් හිඟය සහ ඔවුන්ගේ විදේශ ණය ගෙවීම්) ගණනය කරන අතර මෙය ඔවුන්ගේ විදේශ විනිමය සංචිත සමඟ සසඳයි. මෙම එක් එක් දර්ශකයේ රටක ශ්‍රේණිගත කිරීම එහි සමස්ත තත්වය තීරණය කිරීම සඳහා සාමාන්‍යය වේ. – දිනමිණ වෙබ් පුවත්පතේ 2020 මැයි 04 දා
ඉහත සදහන් වාර්තාව අනුව පාඨකයින්ට පෙනී යන්නේ කොවිඩ්-19 බලපෑමට ලක්ව ඇති ‘නැගී එන ආර්ථිකයන් අතර ශ්‍රී ලංකාවත් සිටින බවයි. රාජ්‍ය මාධ්‍ය පුවත්පතක් වන දිනමිණ මෙම පුවත තෝරාගෙන පළ කරන්නේ මේ වාර්තාවට අදාළ ප්‍රස්තාර සටහන පවා උපුටා දැක්වීමකින් තොරවයි.
මේ පුවත උඩින් පල්ලෙන් (ලංකාවේ අති බහුතර කියවන්නේ ශීර්ෂපාඨය පමණයි) කියවන විට ලංකාවේ ආර්ථිකය ගැන පාඨකයින්ට ඇති වන්නේ ‘ධනාත්මක හැගීමක්. එය ‘COVID-19 හි බලපෑමට ලක්ව නැගී එන ආර්ථිකයන් අතර ශ්‍රී ලංකාවත්‘ යන ශීර්ෂපාඨය මගින් වඩාත් තහවුරු වෙනවා.
ඒත් ඇත්තම කතාව මොකක්ද ? අපි මේ පුවත මුලින්ම වාර්තා කළ රාජ්‍ය විරෝධී ස්ථාවරයක සිටින ‘අනිද්දා පුවත්පත උපුටා දැක්වීම සූදානම්.
ශ්‍රී ලංකාව දුර්වලම ආර්ථිකයක් ඇති රටක් ‘දි ඉකොනොමිස්ට්’ සඟරාව – අනිද්දා

කොවිඞ්-19 වසංගත තත්වයට මුහුණදුන් නැගී එන ආර්ථිකයක් ඇති රටවල් 66ක ආර්ථිකය පිළිබඳව ‘දි ඉකොනොමිස්ට්’ සඟරාව පළ කර ඇති වාර්තාවක එම රටවල් අතරින් දුර්වලම ආර්ථිකයක් ඇති රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුන්වා ඇත.
මෙම ශ්‍රේණිගත කිරීම් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ජේපී මෝර්ගන් ආයතනය, එම රටවල මහබැංකු වාර්තා, ලෝක බැංකු වාර්තා, ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් ආයතන ඇතුළු මූලාශ්‍ර සලකා බලා ඇත.
දළ දේශීය නිෂ්පාදිතය, ණය ඇතුළු සාධක ගණනාවක් සැලකිල්ලට ගනිමින් එම වාර්තාව සකස් කර ඇත.
ක්ෂේත්‍ර හතරක් අනුව එම රටවල ආර්ථිකය ශ්‍රේණිගත කිරීමට ලක් කර ඇති අතර, ශ්‍රී ලංකාව එම ක්ෂේත්‍ර හතරෙන්ම දුර්වල රටක් ලෙස හඳුන්වා දී ඇත. එනම්, Public debt, Foreign debt, Cost of borrowing සහ Reserve cover යනුවෙනි. ඒ අනුව රටවල් 66 අතරින් 61 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට ලබාදී තිබේ. එම රටවල් ලැයිස්තුවෙහි ශ්‍රී ලංකාවට පසුපසින් සිටින්නේ රටවල් පහක් පමණි. ඇන්ගෝලාව, බහරේන්, සැම්බියා, ලෙබනන් සහ වෙනිසුවේලා යන රටවල් ශ්‍රී ලංකාවට පසුපසින් සිටී.

2020 මැයි 02 වැනිදා අනිද්දා පුවත්පතට ‘අනුරංග ජයසිංහ‘ විසින් සම්පාදිත මේ වාර්තාවට අදාළ ප්‍රස්තාර සටහනත් ඇතුළත් කරලා තිබෙනවා.
අනිද්දා වාර්තාව කියවන විට පාඨකයින්ට ඇතිවන්නේ ඍණාත්මක හැගීමක් බව පැහැදිලියි. ඒ කොවිඩ් වසංගතයේ බලපෑමට ලක්ව ඇති නැගී එන ආර්ථිකයින් 66ක් අතරින් ශ්‍රී ලංකාව සිටින්නේ 61වැනි ස්ථානයේ. ඉහත ප්‍රස්තාර සටහන අනුව ලංකාවට පහළින් සිටින්නේ ඇන්ගෝලාව, බහරේන්, සැම්බියා, ලෙබනන් සහ වෙනිසියුලාව පමණයි.
ශ්‍රී ලංකාවට පහළින් සිටින රටවල් ගැන අලුතින් ලියන්න තරම් දෙයක් නෑ. ඇන්ගෝලාව කියන්නේ දීර්ඝ කාලීන සිවිල් යුද්ධයකින් විනාශයට පත් වූ උතුරු අප්‍රිකානු රටක්. සැම්බියාවත් ඊට නොදෙවෙනි අප්‍රිකානු රටක්. බහරෙන් සහ යෙමනය කියන්නේ මැදපෙර දිග කලාපයේ රටවල් දෙකක්. යෙමනය දීර්ඝ කාලීන සිවිල් යුද්ධයකින් තවමත් බැට කනවා. වෙනිසියුලාව කියන්නේ හියුගෝ චාවේස් සහ ඔහුගේ අනුප්‍රාප්තිකයා මදුරෝ විසින් විනාශ කළ ලොව සශ්‍රීකම රටක්. අද ඒක අසමත් රාජ්‍යයක්.
ඉතිං ලංකාවට වඩා පහළින් සිටින්නේ මේ අසමත් රාජ්‍ය පහ පමණයි.
මේ ආකාරයේ ප්රවෘත්ති තමන්ට අවශ්‍ය ආකාරයට ව්‍යාජ ලෙස අර්ථකථනය කිරීම ලංකාවේ සුලභ තත්ත්වයක්. එමගින් පාලකයාට තාවකාලික වාසියක්, ප්‍රීතියක් ඇති වුණත් ඇත්ත තත්ත්වය ඊට වඩා වෙනස්.
අපි මේ ව්‍යාජ අර්ථ කථන කොවිඩ් සම්බන්ධයෙන් පමණක් නොවෙයි තවත් බොහෝ දේ ගැන දකිනවා. උදාහරණයක් ලෙස ජනාධිපතිවරයා ලෝක වෙළෙදපොළේ දැවැන්ත ලෙස පහළ ගිය ඉන්ධන සහනය ජනතාවට දෙන්න රුපියල් 65ට අඩු කළ පරිප්පු සහ රුපියල් 100ට අඩු කළ සැමන් කතාව දැක්විය හැකියි. මිල අඩු කළ දාට පසු උදේවත් ඒ මිලට පරිප්පු – සැමන් ගත්ත කෙනෙක් ලංකාවේ හිටියේ නැහැ.
සහල් මිල පාලනයත් ඊට දෙවැනි නැහැ. මේ වගේ තවත් කතා තියෙනවා. ලංකාවේ ආනයනික බෝග 16ක් වවන්න යන කොට ලොකු ලූනු වගාකරුවා ඇත්තටම මුහුණ දෙන තත්ත්වය අපි ඊයේ වාර්තා කළා.
මේ තත්ත්වය සමග අපට මතක් වෙන්නේ අධිපතිවාදය දැඩිව ප්‍රතික්ෂේප කළ මහා දාර්ශනික බ්රර්ටන්ඩ් රසල්ගේ කියමනක්.
‘නිවැරදි තොරතුරු නොලබන ජාතිය අද හෝ පමා වී හෝ කාගේ හෝ වහළුන් බවට පත්වනු ඇත‘
විමසුම් සටහන – ආචාර්ය ඉන්ද්‍රිත් හේවාවිතාරණ

