රජයෙන් කිසිම සහනයක් නැති ‘මැදි ආදායම් ජනකොටස හාන්සියි’

Spread the love

ලෝක කම්කරු දිනය හෙටට යෙදී තිබේ. මෙවර කම්කරු දින උණුසුම නැත. පසුගිය වසර ගණන තුළ ක‍්‍රමයෙන් කම්කරු දින සැමරුම ගැන තිබුණ උනන්දුව හීන වෙමින් තිබුණි. ජන සමාජයේ සිදුවන පරිවර්තනය එයට ප‍්‍රබල හේතුවකි.

අධිරාජ්‍යවාදී යුගයේ වැඩකරන ජනතාවට දිනාගන්නට අයිතිවාසිකම් තිබිණ. හාම්පුතුන් හා කම්කරුවන් අතර ගැටුම් පැවතින. ධනවාදය සම්බන්ධ ආකල්ප තුරන් වී තිබේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා විවෘත ආර්ථික ක‍්‍රමය ගැන බලවත් විවේචන ඇත. එහෙත් ජනී ජනයා මෙම අංශ වලින් ලබන පිටිවහල බලවත්ය. කම්කරු දින අයිතිවාසිකම් සැමරීම පැත්තකින් තබමු.

අද වන විට ලෝකය පුරා පැතිරෙමින් පවතින ආර්ථික අර්බුදය ජනයා පීඩාවට පත් කර ඇත. කොවිඞ් -19 වයිරසය ආර්ථිකය අඩපණ කර තිබේ. මෙහි දී වැඩිම පීඩාව එල්ල වී ඇති ජන කොටස ගැන සොයා බැලීම සුදුසුය. අඩු ආදායම් ලබන පිරිසට වඩා මැදි ආදායම් ජන කොටස අසරණ කර තිබේ. කම්කරු දිනයේ දී මෙම කාරණය අවධානයට ගත යුතුය.

ශ‍්‍රී ලංකාව මැදි ආදායම් රටක තත්ත්වයට පත්ව තිබුණි. පර්යේෂණ වාර්තා අනුව ඉහළ ආදායම් ස්ථරයට නැගෙන අභියෝගය අහිමුවෙහි පසුවිය. දරිද්‍රතාවය තුරන් ව ඇති බවක් එයින් අදහස් නොකෙරේ. කම්කරුවන් එනම් වැඩ කරන ජනතාව ගේ ආදායම ඉහළම තැනකට පැමිණ ඇති බවක් ද නොවේ.

සමස්ථයක් වශයෙන් දශකයකට දෙකකට කලින් තිබුණ ආර්ථික හා සමාජ පසුබිමට වෙනස්ය. දිළි`දු රටක සමාජයේ පහළ ස්ථරය ලබන ආදායමෙන් වැඩිම කොටසක් වැය කරන්නේ ආහාර වලටය. නමුත් ශ‍්‍රී ලංකාවේ අඩුම ආදායම ලබන ජන කොටස පවා තමන් උපයන දෙයින් කොටසක් ආහාර වලට අමතරව අනාගත සුබ සිද්ධිය, විශේෂයෙන් අධ්‍යාපනය හා නිවාස අවශ්‍යතා වෙනුවෙන් වැය කරන බව සනාථ වී තිබේ. දියුණුව වශයෙන් ගැනෙන්නේ එයයි.

පහළ ආදායම් මටට්ම හා සමාජයේ ඉහළම ආදායම් ලබන කොටස අතර පිරිසක් සිටිති. මෙම කොටස මැදි ආදායම් ලබන්නෝ වශයෙන් සදහන් කරති. ශ‍්‍රී ලංකාවේ ජනගහනය තුළ මෙම මැදි ආදායම් ලබන කොටස ප‍්‍රමාණාත්මකව වර්ධනය වෙමින් තිබේ. එය ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ ආදායම් හා පරිභෝජන සමීක්ෂණ වාර්තා පෙන්වයි.

මෙකී මැදි ආදායම් කණ්ඩායම අද වන විට බරපතල අනපේක්ෂිත තත්ත්වයකය. එයට හේතුව කොවිඞ්-19 වසංගතයෙන් ඇති කරන ලද ආර්ථික ඉරණම බව ස`දහන් කළ යුතුව තිබේ. ධෛර්යයෙන් නැගී සිටි සහ ස්වකීය ආත්ම ශක්තියෙන් වැඩ කරමින් සිටි පිරිසක් ආර්ථිකයෙහි අලූතින් පැන නැගුණ ව්‍යුහය තුළ අර්බුදයකට මුහුණ පා ඇති බව පෙනේ. පැන නැගී ඇති ප‍්‍රශ්නවලට මුහුණ දීම ඉදිරියේ ආණ්ඩු සහ ජාත්‍යන්තර සංවිධාන අවධානය යොමු කරන කොටස් දෙකක් ඇත. එකක් අඩු ආදායම් ලබන දුගී දුප්පතුන්ය.

අනෙක් කොටස ඉහළ ව්‍යවසායකත්වයයි. කර්මාන්ත හා ව්‍යාපාර හිමි පිරිස පත්ව සිටින අපහසුතා සොයා බලා ඔවුහු වෙත සහන යෝජනා කරමින් සිටිති. මෙම පසුබිම හමුවේ මැදි ආදායම් ජන කොටස සමාජ සුරක්ෂිතතා වැඩ පිලවෙලකට සම්බන්ධ කරගන්නේ නැත. මෙම පිරිසට යහමින් ගැටළු නැති අතර ඔවුහු තනිව මුහුණ දෙන ශක්තිය සහිත බව කල්පනා කරන බව පෙනේ.

මැදි ආදායමක් සහිත පිරිස සතු හැබෑ ප‍්‍රශ්න මොනවාද? යන්න අවධානයට ගැනීම වැදගත්ය. මෙම කොටස යම් අධ්‍යාපනයක් ලැබූ පිරිසකි. සෑහෙන ප‍්‍රතිශතයක් තමන්ගේ මුල් වාසස්ථාන වලින් ගැලවී නගරවලට සංක‍්‍රමණය වී ඇත. යෙදෙන කර්මාන්තය හෝ රුකියාවේ ස්වභාවය එයට හේතු වී තිබේ. ස්වකීය අනාගතය හා විශේෂයෙන් දරුවන්ගේ සුබසිද්ධිය ගැන කල්පනා කර ඇත. දරුවා හොද පාසලකට ඇතුලත් කරගැනීම හා අමතර පන්තියකට හෝ යොමු කර ඉගෙන ගැනීමට සැලැස්වීම ප‍්‍රමුණ අරමුණකි. එකී අරමුණ සාක්ෂාත් කරගැනීම සදහා ක‍්‍රියාත්මක වන විට මැදි ආදායම් ලබන පිරිස පොදු රාමුවකට අනුගත වෙති.

බොහෝ විට පවුලේ ස්වාමිපුරුෂයා සහ බිරිද යන දෙදෙනාම රැකියා කරති. නගරයට ආසන්න තැනක කුඩා ඉඩමක් සහ එහි නිවසක් තනාගැනීම යුවලගේ අරමුණු අතර ප‍්‍රධානය. ඉක්මනින් තම පවුලේ කටයුතු කරගැනීම සදහා වාහනයක්, අඩුම තරමින් යතුරු පැදියක් හෝ තී‍්‍ර විලර් එකක් මිල දී ගැනේ. සෑහෙන කොටසකට මෝටර් රථයක් මිල දී ගැනීමට අවස්ථාව ලැබී ඇත. එය මෙරට වාහන පරිහරණ ප‍්‍රතිශතය ඉහළ යන හා අධික තදබදයට ද සෘජු හේතුවක් බව පෙන්වා දිය යුතුව තිබේ.

සමාජයේ ඉහළ ස්ථරයට නැගෙන්නට වැර දරන මෙම මැදි ආදායම් කොටස පවතින විවෘත ආර්ථික ක‍්‍රමයෙහි ගිලී සිටී. ඉඩම මිල දී ගන්නට හා නිවස තන්නනට ණය ගෙන ඇත. බැංකු ණය ප‍්‍රමාණවත් නොවන විට සිය අර්ථසාධක අරමුදලෙන් කොටසක් පවා ණයකට ගෙන ඇති බව නිසැකය. නිවස අඩක් නිමකරන අතරවාරයේ ලීසිං ක‍්‍රමයකට වාහනයක් මිල දී ගෙන නඩත්තු කරන අතර නිතිපතා මිල දී ගැනීම් සදහා ක්‍රෙඩිට් කාඞ් පත් ද පරිහරණය කරයි. මැදි ආදායම් ලබන පවුල් උපයන දෙයින් කොටසක් නිති පතා පොලිය වශයෙන් ගෙවන බව මෙබදු පසුබිමක් තුළ පෙන්නුම් කරන ව්‍යුහය තුළ ඇති ගැටළුවකි.

පුද්ගල අවබෝධය අනුව මෙම පොලිය කළමණාකරනය කරගැනෙන නමුත් බහුතරයක් පොලී උගුලකය. ණය වාරික අක‍්‍රමවත් හෙයින් බැංකු හා ෆිනෑන්ස් සමාගම් වලට අධික පොලි ගෙවන බව සමීක්ෂණ වාර්තා දක්වයි. ක්‍රෙඩිට් කාඞ් පරිහරණය හා එහි මුදල් නිසි අවස්ථාවේ නොගෙවීම සමාජ ප‍්‍රශ්නයකි. ඉකුත් ජනාධිපතිවරණයක දී ක්‍රෙඩිට් කාඞ් ණය ගෙවාගත නොහැකි පිරිස වෙනුවෙන් සහන දෙන බව ප‍්‍රධාන පක්ෂයක් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයෙන් පොරොන්දු වී තිබුණි.

කොවිඞ්-19 වයිරසයේ බලපෑම හෙයින් රට තුළ පොලිස් ඇ`දිරි නීතිය පනවා අකර්මන්‍ය කරන විට මෙම මැදි ආදායම් පවුල්වල ජනී ජනතාවගේ හිත් වලට ඉහළින් කලූ වලාකුළු නැගෙයි. අඩු ආදායමක් ලැබෙන ජනතාවට හා අසරණ පිරිසට ආණ්ඩුව සහන දෙන අතර මෙකී මැදි ආදායම් පිරිස එහි නැත. සහන බෙදා දෙන තැන් වල පෝලිමේ ඉන්නට ඔවුහු අකමැතිය.

මහන්සියෙන් වැඩ කළ අතර අතිරේක ඉපැයීම් නතර වී තිබේ. නිවාස ණය, බැංකු ණය වාරික හා ෆිනෑන්ස් සමාගම් වල ණය වාරික මාස දෙකකින් ගෙවා නැත. සුළු ඉඩ ප‍්‍රමාණයක සිටින හෙයින් මෙම කාලය තුළ නිවසටම වී සිටීමෙන් මානසික වියැවුල් ද සහිතය.

ගෙවත්තේ වගා කරන්නට ඉඩක් නැති හෙයින් සියළු දේ පිටතින් ගන්නට සිදුවී තිබේ. වාතාවරණය යහපත් සමයේ ගමට යන මෙම පිරිස් ඇතැම් දේ දෙමහල්ලන්ගෙන් ගෙනන එන ලද අතර එය අවහිර වී ඇත. මෙම පසුබිම ගැන අවධානය යොමු නොකරන්නේ මන්ද? ආණ්ඩුව අවධානය යොමු නොකර ඇති මෙම කරුණ ගැන මැදහත්ව සොයා බැලීම අවශ්‍යය.

වානිජ බැංකු දැනට නිවේදනය කර ඇති අන්දමට සියළු ක්‍රෙඩිට් කාඞ් ගෙවීමට සහන කාලයක් තිබේ. රජයේ නියම කිරීම අනුව සියළුම බැංකු මාස තුනක සිට හය දක්වා සියළු ණය අය කර ගැනීම අත්හිටුවා තිබේ. ඒවා මැදි ආදායමක් ඇති මුලින් සදහන් කළ ජනී ජනයා ගේ අපහසුතා වලට උත්තරයක් සේ දක්වනු ඇත.

එහෙත් ඇත්ත එය නොවේ. සියළු බැංකු ණය වාරික අයකිරීම අත් හිටුවන නමුත් එම කාලයට පොලිය අය කරයි. මුලික ණය ගෙවිය යුතු නැති අතර ලැබුණ සහන කාලයට පසු මාස දෙකක් තුළ පොලිය සම්පූර්ණයෙන්ම ගෙවීම අවශ්‍යය. එසේ නොගෙවන්නේ නම් දඩ පොලියක් අය කරන බව දැනට ප‍්‍රකාශ වී තිබේ.

බැංකු මෙවැනි තීරණයක සිටින අවස්ථාවක ෆිනෑන්ස් හා ලීසිං සමාගම් තවත් දරුණු තීන්දු වල බව නොරහසකි. පොලිස් ඇදිරි නීතිය අවසන් වූ පසු මැර කල්ලි වාහන සීස් කරනු ඇත. සෑම වානිජ බැංකුවක්ම දැනටමත් අවුරුද්දක් තුළ පොලිය නොගෙවූ උකස් රන් භාණ්ඩ වෙන්දේසි කරන බවට බැංකු පරිශ‍්‍ර තුළ දැන්වීම් පළ කර ඇති බව දක්වන්නට අවශ්‍යය. මෙයින් පෙන්වන්නේ කුමක්ද? ධෛර්යවත්, තමන්ගේ අනාගතය වැර වෑයමෙන් ගොඩනගා ගන්නට තැත් කරමින් සිටි ජන කොටසක් කොවිඞ්-19 වසංගතය හේතුවෙන් දරුණු ගොදුරක් වී ඇති බවය. එය ඉතා අවාසනාවන්ත තත්ත්වයකි.

සාරා කන්දෙගොඩ

Tags: