ගම්පහ දිස්ත්‍රික්කයේ සමෘද්ධි ප්‍රතිලාභීන්ගෙන් 91% කට පළමු වාරිකය ගෙවා අවසන්

Spread the love

කෝවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් රජයේ තීරණය අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ සමෘද්ධි ප්‍රතිලාභීන්ගෙන් 91% කට රු 5000 ක පළමු වාරිකය ගෙවා අවසන් බව කාර්මික අපනයන , ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඇමතිවරයා පෙන්වා දෙන්නේ ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ සමෘද්ධි ප්‍රතිලාභීන් 1,27,443 සදහා රුපියල් 651,964,360ක මුදලක් ලබා දී ඇති බවයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ සමෘද්ධි ප්‍රතිලාභීන් ගණන 1,38,777 කි. ඉන් වැඩිම සමෘද්ධි ප්‍රතිලාභීන් සංඛ්‍යාවක් ඉන්නේ දිවුලිපිට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේයි. එම සංඛ්‍යාව 15242 කි. සහන පියවර හා අරුණළු සහන ණය යෝජනා  ක්‍රමය යටතේ මෙම ණය ප්‍රධානය සිදු කෙරුනේ කෝවිඩ් 19 වසංගතය පාලනය කිරීම සදහා පත් කෙරුණු ජනාධිපති කාර්යය සාධක බලකායේදී ගනු ලැබූ තීරණයකට අනුවය.

පසුගිය අගහරුවාදා (31) ගම්පහ දිස්ත්‍රික්කයේ සමෘද්ධි ප්‍රතිලාභීන්ගෙන් 91% කට රු 5000 ක මුදල ගෙවා අවසන් කල බව සමෘද්ධි අධ්‍යක්ෂක අශේන් පෙරේරා මහතා තමන්ට දැනුම් දුන් බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියා සිටි.

මේ සදහා කැපූ වූ සමෘද්ධි සංවර්ධන නිළධාරීන්ට සිය ප්‍රසාදය පල කල ඇමති ප්‍රසන්න රණතුංග මහතා රට මුහුණ දී ඇති තත්ත්වය හමුවේ සෞඛ්‍ය, ආරක්ෂක , සමූපකාර, සමෘද්ධි, ග්‍රාම නිළධාරී දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශිය ලේකම් කාර්යාල වල නිළධාරීන් දැක්වූ දායකත්වය සුළු කොට තැකිය නොහැකි බවද කියා සිටී.

කෝවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය පාලනය කිරීම සදහා රජය හැකි උපරිමයෙන් කටයුතු කරද්දී ඇතැමුන් පෞද්ගලික හා පටු දේශපාලන අරමුණ වෙනුවෙන් රජය විවේචනය කරන බව පෙන්වා දෙන රණතුංග මහතා මේ මොහොතේ සිදූවිය යුත්තේ රටක් ලෙස කොරෝනා වසංගතය පැතිර යාම වැලැක්වීමට එක්ව කටයුතු කිරීම බවද පෙන්වා දෙයි. ඒ සදහා ජනතාවගේ පූර්ණ සහාය අපේක්ෂා කරන බවද ඇමතිවරයා කියා සිටී.

RSL

Related Posts