ඇමෙරිකාවේ ශ‍්‍රී ලංකා තානාපති ඇමෙරිකාවට ‘නීතිය කියා දෙයි’

Spread the love

චෝදනා මත පදනම්ව ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට  සංචාරක තහනමක් පැනවීම කණගාටුවට කරුණක් වන අතර, එය ස්වාභාවික යුක්තියේ මූලධර්මවලට පටහැනි බව තානාපති පෙරේරා පවසයි

ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා කියා සිටියේ, චෝදනා මත පදනම්ව ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට  සංචාරක තහනමක් පැනවීම කණගාටුවට කරුණක් වන අතර, එය ජාත්‍යන්තර ප්‍රජාවේ සියලුම වගකිවයුතු සාමාජිකයින් විසින් අනුගමනය කරනු ලබන ස්වාභාවික යුක්තියේ මූලධර්මවලට පටහැනි බවත්ය.

තානාපති පෙරේරා මේ බව ප්‍රකාශ කළේ හිටපු එක්සත් ජනපද තානාපතිවරුන් සහ කොළඹ සේවය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් යුතුව වොෂිංටන් ඩී.සී. හි දී ඇමරිකානු විදේශ සේවා සංගම් ශාලාවේදී සෙරන්ඩිපිටි සමූහය විසින් සංවිධානය කරන ලද විශේෂ රැස්වීමකදීය.

 “ශ්‍රී ලංකාවට සිය ස්වෛරීභාවය, ආරක්ෂාව, ජාතික අභිමානය පවත්වා ගැනීමට ඉඩ සලසන සහ සියලු ජාතීන් සමඟ එක හා සමානව කටයුතු කරන ගෞරවනීය පාලනයක් ස්ථාපිත කිරීම” යන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මැතිතුමාගේ දැක්ම පිළිබඳව සඳහන් කරමින් තානාපති පෙරේරා, “එක්සත් ජනපදය ඔවුන්ගේ ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින් පිළිබඳව ආඩම්බර වනුයේ කෙතෙක් ද, ශ්‍රී ලංකාවද ඊට වෙනස් නොවේ. අපට ද රණවිරුවෝ සිටිති. එක්සත් ජනපදය ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී රටවල හමුදා නිලධාරීන්ට එරෙහිව චෝදනා එල්ල වෙයි. ඒ පිළිබඳව ක්‍රියාමාර්ග ගනු ලබන්නේ හුදු චෝදනා මතද?” යන්න ප්‍රශ්න කළේය.

“අපගේ යුදමය ප්‍රයත්නය හොලිවුඩ් චිත්‍රපටවලට හේතු නොවූ නමුත්, ශ්‍රී ලංකාවේ අභිමානවත් ආරක්ෂක හමුදා ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ පරිපාලනයක් විසින් ඔවුන්ට පවරන ලද කාර්යය සම්පූර්ණ කොට, කුරිරු ත්‍රස්තවාදයෙන් අපව නිදහස් කළේය. මනා ලෙස ලේඛනගත කර ඇති ත්‍රස්ත ප්‍රහාර, ත‍්‍රස්තවාදය යුක්ති සහගත කළ අය විසින් කරන ලද චෝදනාවලින් වෙන්කර හඳුනා ගැනීම වැදගත් වේ” යයි එතුමා පෙන්වා දුන්නේය.

ප්‍රජාතන්ත්‍රවාදී පරමාදර්ශයන්ට අතිශයින්ම ගෞරව කිරීම, බලතල වෙන් කිරීම, සමාජයේ බහු-වාර්ගික හා බහු-ආගමික ස්වභාවය ඇතුළුව ශ්‍රී ලංකාවේ ප්‍රබල ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් පිළිබඳව තානාපති පෙරේරා පැහැදිලි කළේය. ශ්‍රී ලංකා සංස්කෘතිය පදනම් වී ඇත්තේ පුරාණ ශිෂ්ඨාචාරයක් මත බවත්, වසර දහස් ගණනක් තිස්සේ මෙම දූපත් දේශයේ පැවති පාලන ක්‍රමය, යටත් විජිතවාදය තුළින් විශාල ලෙස වෙනස් වූ බවත් එතුමා පෙන්වා දුන්නේය.

“ලුතිනන් ජනරාල් සිල්වා මහතා දශකයකට පමණ පෙර ශ්‍රී ලංකාව ත්‍රස්තවාදයෙන් මුදවා ගැනීම සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දුන් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකු වන අතර, ජාතික ආරක්ෂාව පිළිබඳ කාරණා සම්බන්ධයෙන් ප්‍රධාන තනතුරු දැරීම සඳහා ප්‍රත්‍යක්ෂ ලෙස දන්නා විශේෂඥතාවයෙන් යුත් පුද්ගලයින් කැඳවීමට අදාලව ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ ජනාධිපතිවරයෙකු සතු පරමාධිකාරිය පිළිබඳව විදේශ රජයක් ප්‍රශ්න කිරීම කනගාටුවට කරුණකි” යන විදේශ සබඳතා අමාත්‍යවරයාගේ ප්‍රකාශය, තානාපති පෙරේරා අවධාරණය කළේය. මෙම ක්‍රියාව මඟින් එක්සත් ජනපද-ශ්‍රී ලංකා සබඳතාවය අනවශ්‍ය ව්‍යාකූලත්වයකට පත් කරන බව ද අමාත්‍යවරයා පැවසීය.

ශ්‍රී ලංකා රජය විසින් ඉදිරිපත් කරන ලද තවත් වැදගත් කරුණක්, එනම්, ලුතිනන් ජනරාල් සිල්වා මහතාට මෙසේ නියම කරනු ලැබීම ස්වාධීනව සත්‍යාපිත තොරතුරු මත නොව, බොහෝ මතභේදාත්මක 2015 ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයේ විමර්ශන වාර්තාව සහ වෙනත් නිශ්චිත නොවන සංවිධාන මත පදනම් වූවක් බව එතුමා තවදුරටත් අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ ස්ථාවරය වන්නේ, එක්සත් ජනපදය සිය තොරතුරු මූලාශ්‍රයන්ගේ සත්‍යතාව තහවුරු කළ යුතු බවයි. ලුතිනන් ජනරාල් සිල්වා මහතාගේ පවුලේ සාමාජිකයන් ද ඊට ඇතුළත් කිරීම පිළිබඳ අග්‍රාමාත්‍යවරයා පළ කළ “අප දැන් 21 වැනි සියවසේ සිටියත්, මධ්‍යකාලීන යුරෝපයේ පැවති භාවිතයන් සිහිපත් කරමින් කිසිදු වැරැද්දක් සම්බන්ධයෙන් චෝදනා නොලබන ඔහුගේ පවුලේ සාමාජිකයන් පවා සාමූහික දඬුවමකට යටත් කරනු ලැබ ඇත” යන මතය ද එතුමා අවධාරණය කළේය. එක්සත් ජනපදය විසින් සිය තීරණය සමාලෝචනය කරනු ලැබීම සඳහා ශ්‍රී ලංකා රජය මෙම කරුණ සම්බන්ධයෙන් දැඩි ලෙස නිරත වී කටයුතු කරන බව තානාපති පෙරේරා අවසන් වශයෙන් පැවසීය.

RSL

Related Posts