2021 අයවැයෙන් රාජ්‍ය සේවකයින්ට හුළං !
- RSL
- November 17, 2020
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
මෙරට ලක්ෂ 13කට ආසන්න රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීම ඇතුළු සහන හිමිවන්නේ වාර්ෂික අයවැය මගින් පමණයි. ඒ නිසා රාජ්‍ය සේවකයින් සේම සාමාන්‍ය ජනතාවත් අයවැය මගින් රාජ්‍ය සේවකයින්ට හිමිවන සහන ගැන උනන්දුවක් දක්වනවා.
අද (17) අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2021 අයවැය ලේඛන මගින් රාජ්‍ය සේවකයින් සහන කිහිපයක් සහ රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ රැසක් යෝජනා කර තිබෙනවා.
ඒවා සියල්ල පහත පළ වෙනවා.
රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ
1977 ට පෙර අපේ රටේ මෙන්ම දියුණුවන රටවල් සියල්ලම පාහේ අනුගමනය කළ වැසුණ ආර්ථික හා දැඩි පාලන හා නියාමන ප්‍රතිපත්තිවලින් බොහෝ රටවල් විවෘත ආර්ථික හා වෙළදපළ මත රඳාපවතින ප්‍රතිපත්තිවලට නැඹුරු වී තිබුණත් පසුගිය වසර කීපය තුළ එම ගෝලීය ආර්ථික රාමුව තුළ ශක්තිමත් ජාතික නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනඟා ගත හැකි ප්‍රතිසංස්කරණවලට ප්‍රවේශ වී තිබෙනවා.
වාණිජමය කටයුතු සඳහා පෞද්ගලික අංශය රාජ්‍ය අංශයට වඩා ඉදිරියෙන් සිටියත්, රාජ්‍ය අංශයේ ව්‍යාපාර පෞද්ගලීකරණය කිරීම එයට විකල්පයක් ලෙස අප තෝරා ගන්නේ නැහැ. අපගේ ප්‍රතිපත්තිය වී ඇත්තේ පෞද්ගලික ව්‍යාපාර කළමනාකරණ නිදහස රාජ්‍ය ව්‍යාපාර වලට ලබාදී, රාජ්‍ය අංශයේ මැදිහත්වීම තුළ වෙළදපළ තරඟකාරීත්වය මෙන්ම පාරිභෝගික හා සේවාලාභීන්ගේ සුභසාධනය වැඩි කිරීමයි. එබැවින්, විවිධ ක්ෂේත්‍රවල ඇති රාජ්‍ය ව්‍යාපාරවල වාණිජමය නිදහස තහවුරු කිරීමට අවශ්‍ය රාජ්‍ය කළමනාකරණ ස්වාධීනත්වය ලබාදීමට නීති රාමුවක් ඉදිරිපත් කිරීමට යෝජනා කරනවා.
විවිධ නීති රාමු යටතේ ඇතැම් රාජ්‍ය ආයතනවල කාර්යමණ්ඩල වලට එකම සේවා ස්ථානයක සිය මුළු සේවා කාලයම ගත කිරිමට සිදු වී තිබෙනවා. වෘත්තීමය හා තාක්ෂණික වශයෙන් ඔවුන්ගෙන් ලබා ගත හැකි දායකත්වය මෙන්ම සේවක සුරක්ෂිතභාවය හා සුභසාධනයද මේ නිසා සීමා වී තිබෙනවා. එබැවින්, සංවෘත රාජ්‍ය සේවා (close service) ආයතනවල සේවකයින්ට පවත්නා සේවා කොන්දේසි තුළ සේවා අවශ්‍යතාවයන් අනුව වෙනත් ආයතනවලට අනුයුක්ත කළ හැකි නීති රාමුවක් හඳුන්වා දීමට මුදල් පනත සංශෝධනය කිරීමට මා යෝජනා කරනවා.
මෙමගින් දැනට වැසුන සේවා ආයතනවලට කොටු වී ඇති සේවකයින්ට තමාට වෘත්තීමය උනන්දුවක් ඇති වෙනත් රාජ්‍ය ආයතනයක හෝ තම ගම් ප්‍රදේශවලට ආසන්න ආයතනයක රැකියාව කිරීමේ අවස්ථාවන් ඇති කිරීමට අපේක්ෂා කරනවා. මෙමගින් සේවක තෘප්තිය සහතික කිරීමට හැකි වන අතර එවන් සේවකයන් කාර්යක්ෂම ලෙස සේවාවේ යොදා ගැනීමටද හැකි වෙනවා.
එකිනෙකට සම්බන්ධ වූ කාර්යයන් සඳහා වෙන වෙනම ආයතන පවත්වා ගැනීම නිසා එම ක්ෂේත්‍රවල සංවර්ධන කටයුතුවලට විශාල බාධාවක් මෙන්ම අධික වියදමක් දැරීමටද සිදුවී තිබෙනවා. සංචාරක ක්ෂේත්‍රය සඳහා පවත්නා ආයතන 5 සංචාරක ප්‍රවර්ධන අධිකාරිය ලෙසත්, පොල් කර්මාන්තය සඳහා ඇති ආයතන 4 පොල් වගා හා ආශ්‍රීත කර්මාන්ත සංවර්ධන අධිකාරිය වශයෙනුත් ඒකාබද්ධ ආයතනික ව්‍යූහයක් ඇති කිරීමට අපේක්ෂා කරනවා. පර්යේෂණ සඳහා වැයවෙන සම්පත් උපරිම ඵළදායිතාවයකින් යුතුව කළමනාකරණය කිරීම සඳහා ජාතික පර්යේෂණ සභාවේ අනුබද්ධිත ආයතන ලෙස පර්යේෂණ ආයතන ක්‍රියාත්මක කිරීමටද අවශ්‍ය වී තිබෙනවා. පොහොර ආනයනය හා බෙදාහැරීම සඳහා පවත්නා ආයතන ඒකාබද්ධ කිරීමටද යෝජනා කරනවා.
රාජ්‍ය සේවකයින් සඳහා සහන
රාජ්‍ය සේවකයින්ගේ විදුලි බිල්පත් වියදම් අඩු කිරීම සඳහා සූර්යබල විදුලි පහසුකම් ලබාදීමට විශේෂ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා.
රාජ්‍ය සේවකයින්ගේ පත්වීම් හා ස්ථානමාරු ලබා දීමේදි තම ගම් ප්‍රදේශ අදාළ දිස්ත්‍රික්කයන් තුළට යොමු කිරීමටද යෝජනා කරනවා.
මාණ්ඩලික නොවන ශ්‍රේණිවල කාර්යාල රාජ්‍ය සේවකයින්ට රාජකාරි වේලාවෙන් පසු වෙනත් රැකියාවල නිරත වීමට අවසර දීමට හා විදේශ රැකියාවන්හි නිරත වීමට අපේක්ෂිත සේවකයින්ට වසර 2ක නිවාඩු ලබාදීමටද යෝජනා කරනවා.
රාජ්‍ය සේවකයින් සඳහා බැංකු මගින් ලබා දෙන නිවාස ණය හා අත්තිකාරම් අරමුදල් යටතේ දෙනු ලබන නිවාස දේපල ණය සඳහා උපරිම පොලී අනුපාතය සියයට 7 දක්වා අඩු කිරීමට යෝජනා කරනවා.

