20 වැනිදා සිට පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වන හැටි ඇමැති කියයි

Spread the love

කොවිඩ් -19 වසංගතය හමුවේ මෙතෙක් අත්හිටුවා ඇති රාජ්‍ය අංශයේ වැඩකටයුතු අදියර කිහිපයක් යටතේ ලබන සඳුදායින් පසුව ආරම්භ කිරීමට රජය ගෙන ඇති තීරණය අනුව අප්‍රේල් මස 20 වනදායින් පසු ලංගම බස් රථ 5,000 ක් සහ දුම්රිය 400 ක් නැවතත් පොදු ප්‍රවාහන සේවා කටයුතු සඳහා යෙදවීමට පියවර ගන්නා බව ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා  පවසයි. 

රජය විසින් සේවා ස්ථාන සඳහා පැමිණෙන කාර්ය මණ්ඩලවල පහසුව සැලසීමට මෙලෙස පොදු ප්‍රවාහන සේවා යළිත් ආරම්භ කිරීමට පියවර ගත් බවයි අමාත්‍යවරයා පැවසුවේ.

මේ අනුව සියලූ පොදු ප්‍රවාහෙන කටයුතු ආරක්ෂක අංශ හා සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති මාර්ගෝපදේශන යටතේ ක්‍රියාත්මක කිරීමට වගබලා ගන්නා ලෙස නිලධාරින්ට උපදෙස් දුන් බව ද අමාත්‍යවරයා පැවසුවා. 

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය මහින්ද අමරවීර මහතා, ‘බස් රථ සහ දුම්රියන්හි සේවය සඳහා යෙදවීමට නියමිත කාර්ය මණ්ඩලවල ආරක්ෂාවට අවශ්‍ය මුඛ ආවරණ සියලූ දෙනාට සපයා දෙනවා. ඒ වගේම බස් සහ දුම්රිය විෂබීජ හරණය කිරීමට අවශ්‍ය විෂබීජ නාශක ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් ලබා ගැනීමට පියවර ගන්නා.

පොදු ප්‍රවාහන සේවාවල ගමන් ගන්නා සියලුම මගීන් මුඛ ආවරණ පැලඳ ගමන් කිරීම අනිවාර්ය කර ඇති අතර, මීටරයක දුර සිටින ආකාරයෙන් ගමන් කිරීම අනිවාර්ය කර තිබෙනවා. ඒ අනුව එක් දුම්රිය පෙට්ටියක මගීන් 50 කට සීමා කිරීමටද තීරණය කර ඇති අතර ගමන් වාර ආරම්භය හා අවසානයේ බස් රථ හා දුම්රිය ජීවානුහරණය කිරීමද අනිවාර්ය කර තිබෙනවා.

එමෙන්ම කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවලට දුරබැහැර සිට එළවළු, පලතුරු ඇතුළු ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනයේ දී පවතින දුර්වලතාවයන්ට විසඳුමක් වශයෙන් දුම්රිය යොදා ගැනීම සම්බන්ධයෙන්ද මේ වන විට කරුණු සොයා බලමින්කි තිබෙනවා. සියම් පාර්ශ්වයක් ඒ සඳහා ඉල්ලීමක් කරන්නේ නම් එම ද්‍රව්‍ය ප්‍රවාහනයට බලවේග දුම්රිය කට්ටල ලබා දිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරිවරයා ප්‍රකාශ කළා‘‘

Tags: