20ට බිලිවන ‘19යේ මේ සංශෝධන 19 ගැන ඔබ දැන සිටියාද ?

Spread the love

2015 වසරේදී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට එක් කරන ලද 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සදහා පක්‍ෂව ඡන්ද 215ක් ලැබුණ අතර විපක්‍ෂව ලැබුනේ එක් ඡන්දයකි. 8 දෙනෙකු පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැත. මෙම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පැවති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇති කරන ලද වෙනස්කම් මෙම ලිපිය මගින් පෙන්වා දෙනු ලබයි.

1.තොරතුරු දැනගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙස ඇතුළත් කිරීම

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය පුලූල් කරමින් තොරතුරු සදහා ප‍්‍රවේශවීමේ අයිතිය පුරවැසින්ගේ මූලික අයිතිවාසිකමක් ලෙස ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් කරන ලදී. 2016 වසරේදී තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීමට පදනම දමනලද්දේ මෙම ආණ්ඩුකම ව්‍යවස්ථා ප‍්‍රතිපාදනයයි.

2. පාර්ලිමේන්තුවේ කාල සීමාව වසර 5 දක්වා අඩු කිරීම

පැවති ව්‍යවස්ථා ප‍්‍රතිපාදන අනුව පාර්ලිමේන්තුවේ නිලකාලය වසර 6කි. 19 වන සංශෝධනය මගින් එම නිලකාලය වසර 5 දක්වා අඩුකරන ලදීි.

3. ජනාධිපතිවරයාගෙ ධුරකාලය අඩු කිරීම

1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 6කි. එය 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් වසර 5 දක්වා අඩු කරන ලදී.

4. ජනාධිපතිධූරය දැරිය හැකි අවස්ථා ගණන 2 දක්වා සීමා කිරීම

1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ප‍්‍රතිපාදනවලට අනුව තැනැත්තෙකුට ජනාධිපතිධූරය සදහා තරග කල හැක්කේ දෙවරක් පමණි. 2010දී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට එක්කරන ලද 18 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව පුද්ගලයකුට ජනාධිපතිධූරය දැරිය හැකි අවස්ථා ගනනට වූ එම සීමාව ඉවත් කොට ඕනෑම වාර ගණනක් ධූරය දැරීමට අවස්ථාව සලසන ලදී. 2015 වසරේදී මහින්ද රාජපක්‍ෂ මහතා තෙවෙනි වරටත් ජනාධිපතිධූරය සදහා තරග කරන ලද්දේ මෙම ප‍්‍රතිපාදනය උපයෝගී කරගනිමිනි. 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් 1978 මුල් ව්‍යවස්ථාවේ පැවති සීමාව යලි ඇති කරන ලද අතර ඒ අනුව වර්තමාන ව්‍යවස්ථාවට අනුව පුද්ගලයකුට ජනාධිපතිධූරය දැරිය හැක්කේ වාර දෙකක් පමණි.

5. අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේදී ජනාධිපතිවරයාගේ අභිමතය සීමා කිරිම

මුල් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිපාදනවලට අනුව අවශ්‍යනම් අග‍්‍රාමාත්‍යවරයාගේ අදහස විමසා අමාත්‍යවරුන් සහ ඔවුන්ගේ විෂයන් තීරණය කිරීමේ බලය ජනාධිපතිවරයාට පැවතුනි . 19 වන සංශෝධනය මගින් එම තත්වය සංශෝධනය කරමින් ර්‍ණජනාධිපතිවරයා විසින් නිශ්චය කරනුලබන අමාත්‍යංශ භාරව කටයුතු කිරීම සදහා අග‍්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අතරින් අමාත්‍යවරයන් පත්කල යුත්තේය” යනුවෙන් ප‍්‍රතිපාදන ඇතුලත් කරන ලදී. මෙි මගින් අමාත්‍යමණ්ඩලය තේරීමේදී ජනාධිපතිවරයාගේ අභිමත බලය අග‍්‍රාමාත්‍යවරයාගේ උපදෙස් ලබා ගැනීම අවශ්‍යවන තත්වය ඇති කිරීම මගින් සීමාකරන ලදී.

6. ජනාධිපතිවරයාගේ මුක්තිය සීමා කිරීම- ජනාධිපතිවරයාට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩු පැවරීමේ ප‍්‍රතිපාදන

ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා විසින් ධූරය දරන කාලයේ දී ධූරය දරණ තැනත්තා විසින් සිදුකරන ලද ක‍්‍රියාවක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාව කිසිදු නඩු කටයුත්තක් සදහා අධිකරණයට කැදවිය නොහැකි විය. 19 වන සංශෝධනය මගින් එම තත්වය වෙනස් කරමින් ජනාධිපතිවරයාට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩු පැවරිය හැකි වන ප‍්‍රතිපාදනයක් ඇතුලත් කරන ලදී. මෙහිදී ජනාධිපතිවරයා පුද්ගලිකව ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටිය යුතු නැති අතර නීතිපතිවරයා ජනාධිපති වෙනුවෙන් පෙනී සිටයි. එසේ වූවත් ජනාධිපතිවරයාට පැවරී ඇති බලයක් වන යුද්ධය සහ සාමය ප‍්‍රකාශ කිරීම සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් නඩු පැවරීමේ හැකියාවක් මෙම සංශෝධනය මගින් ද අවහිර කර තිබේ.

7. ජනාධිපතිවරයාට අතිරේක රාජකාරී සහ කාර්යයන් පැවරීම

පහත සදහන් සදහන් අතිරේක කාර්යයන් ජනාධිපතිවරයාට 19 වන සංශෝධනය මගින් පවරා ඇත.

  • ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුගමනය කරන බවට ද, ආරක්ෂා කරන බවට ද වගබලා ගැනීම;
  • ජාතික ප‍්‍රතිසන්ධානය හා ඒකාබද්ධතාවය ප‍්‍රවර්ධනය කිරීම;
  • ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ සහ ඪෂෂඅ ව්‍යවස්ථාවේ සඳහන් ආයතනවල නිසි ක‍්‍රියාකාරීත්වය පහසුකරලීම; සහ
  • මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් මත, නිදහස් හා සාධාරණ ඡුන්ද විමසීම් සහ ජනමත විචාරණ පැවැත්වීම සඳහා උචිත වාතාවරණ නිර්මාණය කිරීම තහවුරු කිරීම,

8. පාර්ලිමේන්තුව වසරකින් පසුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට තිබු බලය සංශෝධනය කිරීම

පැවති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිපාදනවලට අනුව පාර්ලිමේන්තු මහ මැතිවරණයකින් වසරක කාලයක් ඉක්ම ගිය පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට හිමිවිය. 19 වන සංශෝධනය ජනාධිපතිවරයාට ස්වකැමැත්ත මත පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ මැතිවරණයකින් වසර හතරහමාරකට පසුව යනුවෙන් සංශෝධනය කරන ලදී. නමුත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක යෝජනාවකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරය යුතු බවට යෝජනාවක් සම්මත කල හොත් එවිට එම කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය හිමිවේ.

9. ජනාධිපතිවරයාට කැබිනට් අමාත්‍යධූර දැරීමේ අවස්ථාව අහිමිකිරීම

1978 ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයාට කැබිනට් අමාත්‍යධූර දැරීමේ අවස්ථාව හිමිකර දී තිබූ අතර 19 වන සංශෝධනය මගින් ජනාධිපතිවරයාට කැබිනට් අමාත්‍යධූර දැරිමේ අවස්ථාව අහිමිකර තිබේ. ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ ප‍්‍රධානියා වන නමුත් අමාත්‍යධූරයක් දැරීමේ අවස්ථාවක් නොමැත.නමුත් මෙම ප‍්‍රතිපාදනය සම්බන්ධව අන්තර්කාලීන ප‍්‍රතිපාදනයක් ඇතුලත් කරමින් මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාට (19 වන සංශෝධනය සිදුවන අවස්ථාවේදී ජනාධිපතිධූරය දරූ) පමණක් ආරක්‍ෂක සහ මහවැලි සහ පරිසර යන අමාත්‍යංශවල අමාත්‍යවරයා ලෙස කටයුතු කිරීමේ ප‍්‍රතිපාදන සලසා තිබිණි.

10. (18 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන්) ඉවත් කල ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව නැවත ස්ථාපනය කිරීම

(18 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන්) ඉවත් කල ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව නැවත ස්ථාපනය කිරීම රාජ්‍ය කොමිෂන් සභා සදහා සාමාජිකයින් පත් කිරීමේදී සහ ඉහල අධිකරණවල විනිසුරුවරුන් හා ඉහල රාජ්‍ය නිලධාරී පත් කිරීමේදී ජනාධිපතිවරයාගේ අභිමතය සීමා කරමින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට හදුන්වාදුන්නේ 2001 වසරේදී සම්මතවූ 17 වන ව්‍යවස්ථා සංශෝධනය මගිනි. එහි අරමුණ වූයේ රාජ්‍ය සේවය නිර්දේශපාලනීකරණය කර ස්වාධින කිරීමයි. 2010 වර්ෂයේදී සම්මත කරන ලද 18 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධණය මගින් මෙම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව අහෝසිකරන ලද අතර කිසිදු බලයක් නොමැති පාර්ලිමේන්තු සභාවක් හදුන්වා දෙන ලදී. එමගින් රාජ්‍ය සේවය හා අධිකරණ සේවය නැවතවරක් ජනාධිපතිවරයාගේ බලපෑමට නතු කරන ලදී. 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝදනය මගින් නැවත වරක් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව හදුන්වා දුන් අතර එය 17 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් හදුන්වාදුන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවට වඩා බලවත් ආයතනයක්ද විය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව මගින් නිර්දේශ කරනු ලබන පුද්ගලයන් අදාල කොමිෂන් සභා සදහා ජනාධිපතිවරයා විසින් දින 14ක් තුල පත් කිරීම සිදු නොකල හොත් ඔවුන් යථා පරිදී පත් කල පුද්ගලයන් සේ සලකන බවට වූ ව්‍යවස්ථා ප‍්‍රතිපාදනය මගින් ජනාධිපතිවරයාට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මගහැරීමේ අවස්ථාව අහිමිකරන ලදීි .

11. නව ස්වාධින කොමිෂන් සභා 2ක් හදුන්වා දීම

විගනන සේවා කොමිෂන් සභාව සහ ජාතික ප‍්‍රසම්පාදන කොමිෂන් සභාව යන නව රාජ්‍ය කොමිසන් සභා දෙක 19 නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධණය මගින් හදුන්වා දෙන ලදී. විගනන සේවා කොමිෂන් සභාව පිළිබද ප‍්‍රතිපාදන මගින් ශ‍්‍රි ලංකාව තුල විගනන සේවය ස්වාධින සේවාවක් ලෙස ආරම්භ කල අතර 2018 වසරේදී විගනන සේවා පනත පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද්දේ මෙම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිපාදනය අනුව යමින්ය. ජාතික ප‍්‍රසම්පාදන කොමිෂන් සභාව මගින් එතෙක් මුදල් අමාත්‍යංශය යටතේ වූ ප‍්‍රසම්පාදන අධීක්‍ෂණ ක‍්‍රියාලිය ස්වාධින කොමිෂන් සභාවක් යටතට පත් කරන ලදී.

12.රාජ්‍යසේවා කොමිෂන් සභාවේ බලතල වැඩි කිරීම

එතෙක් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ පැවතියේ අමාත්‍යමණ්ඩලය විසින් නිශ්චිතව නියම කරන නිළධාරීන් බදවාගැනීම, උසස් කිරීම, විනය පාලනය, ස්ථානමාරු කිරීම සහ ඉවත් කිරීම රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් සිදුකල යුතු බවයි. නමුත් 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව එකී බලතල (දෙපාර්තමේන්තු ප‍්‍රධානීන් හැර* නිතැතින්ම කොමිසම වෙත පැවරේ (අමාත්‍ය මණ්ඩලය විසින් නිශ්චිතව සදහන් කිරිමකින් තොරව*. එසේම දෙපාර්තමේන්තු ප‍්‍රධානීන් පත් කිරීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් කොමිසම විමසා පත් කිරීම් සිදුකල යුතු බව සංශෝධනයෙන් නියම කරන ලදි.

13.ජාතික පොලිස් කොමිෂන් සභාවේ බලතල වැඩි කිරීම

18 වන ව්‍යවස්ථාවෙන් සංශෝධිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ ජාතික පොලිස් කොමිෂන් සභාවට පැවරී ඇති බලතල වූයේ පොලිසියට එරෙහිව එන මහජන පැමිණිලි විභාග කිරීම පමණි. නමුත් 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් පොලිස්පති විමසා පොලිස්පති හැර අනෙකුත් නිලධාරීන් බදවාගැනීම මාරුකිරීම විනය කටයුතු පැවරී තිබේ. එසේම පොලිසිය සදහා සිදුකරන බදවාගැනීම් මිළදී ගැනීම් සදහා අදාල ප‍්‍රමිතීන් සකස් කිරීමද මේ යටතේ ජාතික පොලිස් කොමිෂන් සභාවට පැවරී ඇත. (මෙම ඇතැම් බලතල 17 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත ප‍්‍රධානය කර තිබී පසුව 18 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් අහෝසි කරන ලද බලතල වේ*

14.මැතිවරණ කොමිෂන් සභාවේ බලතල වැඩි කිරීම

මැතිවරණ සමය තුලදී රාජ්‍ය දේපළ දේශපාලන පක්‍ෂ හෝ ස්වාධින කණ්ඩායම් ප‍්‍රවර්ධනයට යොදාගැනීම වැළැක්වීම සදහා අදාල විධාන නිකුත් කිරීමේ බලතල 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් මැතිවරණ කොමිෂන් සභාවට ලබාදෙන ලදී. එසේම මැතිවරණ කාලසීමාව තුල ජනමාධ්‍ය සදහා උපමාණ නිකුත් කිරීමේ බලතල ලබාදෙන ලදී. මෙම උපමාන හෝ විධාන කඩකරන රාජ්‍ය නිළධාරියකුට හෝ රාජ්‍ය සංස්ථාවක හෝ ව්‍යවසායක නිලධාරියකු වසරක් දක්වා සිරදඩුවම් ලබාදීමේ ප‍්‍රතිපාදනද 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්ථාපනය කරන ලදී.

15.අල්ලස් කොමිෂන් සභාවේ බලතල වැඩි කිරීම

පැමිණිල්ලක් නොමැතිව අල්ලස් පිලිබදව පරීක්‍ෂණයක් ආරම්භ කිරීමේ බලතල අල්ලස් හෝ ¥ෂණ චෝදනා කොමිෂන් සභාවට 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ප‍්‍රතිපාදන සලසා ඇත.

16. හදිසි පනත් කෙටුම්පත් පිලිබද ප‍්‍රතිපාදන ඉවත් කිරීම

පැවති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිපාදන වලට අනුව ර්‍ණජාතියේ හිත පිණිස වහා අවශ්‍යයැයි කැබිනට් මණ්ඩලය තීරණය කරනු ලබන පනත් කෙටුම්පතක් ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථානුකූලභාවය සලකා බැලීම සදහා ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කිරීමෙන් පසුව උපරිම වශයෙන් දින 3ක් තුල ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිය තීරණය ලබාදිය යුතු අතර ඉන් පසුව පාර්ලිමේන්තුවේ විවාද කර සම්මත කල හැකිය. 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් හදිසි පනත් පිළිබද මෙම ප‍්‍රතිපාදන සලසා තිබු 122 වන ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම ඉවත් කර හදිසි පනත් ගෙන ඒම පිලිබද ප‍්‍රතිපාදන ඉවත් කරන ලදී. එසේම පනත් කෙටුම්පතක් (සාමාන්‍ය* පාර්ලිමේන්තුවට ගෙන ඒමට පෙර දින 7කට පෙර ගැසට් පත‍්‍රයේ පලකල යුතුය යන ප‍්‍රතිපාදනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට දින 14කට පෙර පනත් කෙටුම්පත ගැසට් පත‍්‍රයේ පලකල යුතුය යනුවෙන් සංශෝධනය කරන ලදී.

17.අමාත්‍ය මණ්ඩලයේ සංඛ්‍යාව සීමා කිරීම

කැබිනට් මණ්ඩලයේ සංඛ්‍යව 30 දක්වා සහ නියෝජ්‍ය හෝ රාජ්‍ය හෝ කැබිනට් නොවන අමාත්‍යවරුන්ගේ එකතුව 40 දක්වා සීමා කිරීමේ ප‍්‍රතිපාදනය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් කර ඇත. ජාතික ආණ්ඩුකවක් පිහිටුවන්නේ නම් පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයක් මගින් අමාත්‍ය මණ්ඩලයේ සංඛ්‍යාව තීරණය කල හැකිය.

18.ජනාධිපතිවරණ අපේක්‍ෂකයකුගේ වයස අවුරුදු 35 විය යුතුවීම

ඵැවති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපති අපේක්‍ෂකයකුගේ අවම වයස අවුරුදු 30ක්ව පැවති අතර 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් එම වයස අවුරුදු 35 දක්වා ඉහල දමන ලදී.

19. විදේශ රටක පුරවැසිභාවය හිමිවූවකුට ජනාධිපති හෝ පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයකු ලෙස කටයුතු කිරීමට නොහැකිවීම

29 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් විදේශ රටක පුරවැසිභාවය හිමි පුද්ගලයකුට ජනාධිපති හෝ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස කටයුතු කිරීමට නුසුදුසුකමක් ලෙස ප‍්‍රතිපාදන සකස් කරන ලදී.

නීතිඥ ජගත් ලියන ආරච්චි

RSL

Related Posts