19 කාටුගා 20 ගේන යෝජනාව මංගල කැබිනට් මණ්ඩලයට – විපක්ෂය විරුද්ධයි

Spread the love

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සිදු කෙරෙන 20 වන සංශෝධනයට අදාළ යෝජනාව මේ සතියේ පැවැත්වෙන පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතයි. එය ලබන මස අග සතිය වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතින බවයි රජය පවසන්නේ.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ සතියේ පැවැත්වෙන නව රජයේ මංගල කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙනවා. එය අමාත්‍ය මණ්ඩලයේ සම්මත කරගත් පසු ලබන මස අගවන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර 3/2ක බහුතර ඡන්දයෙන් සම්මත කර ගැනීමටයි රජයේ මූලික අරමුණ වන්නේ.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීම සමග 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් බල රහිත කෙරෙන අතර ඒ මගින් කිසිසේත් 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය යළි බලාත්මක නොවන බව රජය පවසනවා.

‘මෙය ඉතාම පැහැදිලිව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් රාජ්‍ය පාලනය තුළ ඇතිකර ඇති බරපතළ අර්බුදය කඩිනමින් විසදා ගැනීමට ගන්න පියවරක්. තව දුරටත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සමග ආණ්ඩුවට ඉදිරියට යාමට බැහැ. අනෙක් අතට පසුගිය මහ මැතිවරණයේදී 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර ජනාධිපතිවරයා ශක්තිමත් කිරීම සදහා ජනතාව විසින් විශාල ජනවරමක් ලබාදී තිබෙනවා. අපි ආණ්ඩුවක් ලෙස එම ජනවරමට ගරු කළ යුතුයි‘ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් සදහන් කළා.

මේ අතර ජාතික සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා කියන්නේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් වැඩියෙන්ම බලාපොරොත්තු වන්නේ බැසිල් රාජපක්ෂ මහතාව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන ඒම බවයි.

‘19 මගින් ආණ්ඩුව කියන ආකාරයේ බරපතළ දේශපාලන අර්බුදයක් නිර්මාණය වෙන්නේ නැහැ. අපිට අවසාන කාලයේ එවැනි තත්ත්වයකට මුහුණදීමට සිදු වුණේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර පැවැති බරපතළ බල අරගලය නිසයි. ඒත් වත්මන් ආණ්ඩුව තුළ එවැනි ජනාධිපති – අගමැති බල අරගලයක් ඇතිවීමට කිසිම ඉඩක් නැහැ. ඒ නිසා ආණ්ඩුකරණයේ ගැටලු ඇතිවීම නිසා 19 අහෝසි කරනවා කියන කතාව කොළේ වසා ගැසීමක්. මෙතැන තියෙන්නේ ඉතාම පැහැදිලිව ආණ්ඩුවට හිසරදයක් වෙලා තිබෙන, විය හැකි ස්වාධීන කොමිෂන් සභා, තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම අහෝසි කිරීමයි. ඒ වගේම ද්විත්ව පුරවැසියෙක් වන බැසිල් රාජපක්ෂ මහතාව ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට ගෙන ඒමත් මූලික අරමුණක්‘ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකට පිළිතුරු දෙමින් දෙමළ ජාතික සන්ධානයේ ජ්‍යෙෂ්ඨයෙකු පැවසුවේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට තමන් සහයෝගය ලබා නොදෙන බවයි.

‘අපි සහාය නොදුන්නා කියා ආණ්ඩුවට කිසිම ගැටලුවක් නැහැ. ඒත් උතුරේ දමිළ ජනතාවගේ කිසිම නියෝජනයක් නැතිව 19 වැනි සංශෝධනය අහෝසි කර 20 වැනි සංශෝධනය සම්මතකර ගැනීම අනාගතයේදී බරපතළ ප්‍රතිවිපාක ඇති කිරීමට හේතුවක් වේවි. මොකද ව්‍යවස්ථාව කියන්නේ එක් ජන වර්ගයකගේ, සිංහල බෞද්ධයින්ගේ තනි අයිතියක් නෙමෙයි. මේ ආණ්ඩුවට සුළුජාතික නියෝජනයක් නැති නිසා එය බරපතළ ගැටලුවක් වේවි‘

මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය පැහැදිලි කළ සමන්ත විද්‍යාරත්න මහතා පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණ කිසිසේත් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහාය ලබා නොදෙන බවයි.

‘මේ යන්නේ අපි කියාපු පාරේ. ඒ කියන්නේ ස්වාධීන කොමිෂන් සභා අහෝසි කරමින් ඒකාධිපති පාරේ. අපිට මේකට කිසිසේත් එකග විය නොහැකියි‘ සමන්ත විද්‍යාරත්න මහතා පැවසුවා.

සටහන – තුෂාර වල්ගම

RSL

Related Posts