හිටපු ජනපති සිරිසේන ලෝක වාර්තාවක් තියලා !
මහ බැංකු බැදුම්කර වංචාවේ ප්‍රධාන සැකකරු වන හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීම වෙනුවෙන් ඉදිරිපත් කළ ලිපිලේඛන සඳහා අත්සන් 25,000ක් පමණ යෙදීමට තමන්ට සිදු වූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොළොන්නරුවේ පැවැති මාධ්‍ය හමුවකදී හෙළි කළේය.
පසුගියදා පුවත්පතක පළ වු පුවතක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මෙසේද පැවසීය.
“වෝහාරික විගණනය ජනතාව දැනගත්තේ මං පත් කළ කොමිසමේ වාර්තාවෙන්. මෙම වාර්තාව තුළ ප්‍රධාන වගඋත්තරකරු අර්ජුන් මහේන්ද්‍රන්. මම 2019 දි සිංගප්පුරු අගමැතිව පෞද්ගලිකව හම්බවුණා. එහිදී මම කිව්වා සියලු ලිපි ලේඛන එවලා තියෙනවා, අර්ජුන් මහේන්ද්‍රන්ව ලංකාවට භාරදෙන්න කියලා ඉල්ලීමක් කළා. මහේන්ද්‍රන් ගෙන්වා ගන්න නීතිපති දෙපාර්තමේන්තුව හදපු ලිපිවලට මට අත්සන් 25,000ක් ගහන්න වුණා. ඒ නිසා අත්සන් කළ තුන්වැනි දවසේදි අතේ දියපට්ට ආවා. ජනාධිපති විදිහට මම අර්ජුන මහේන්ද්‍රන් ගෙන්වාගන්න අත්සන් ගැහුවා..ඒ විදිහේ වැඩ කොටසක් මම කළා.”
හිටපු ජනපතිවරයාගේ මේ ප්‍රකාශයට ප්‍රතිකාර දක්වමින් බොහෝ දෙනකු ප්‍රකාශ කළේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනපතිවරයාගේ මේ අත්සන් 25,000 කතාව ගිනිස් වාර්තා පොතට යන අත්සන් ගැසීමක් බවයි.
‘ඔහු කළ බොහෝ වැඩ ගිනිස් වාර්තා තමයි. හැට දෙලක්ෂයක් ඡන්ද අරන් ඒ ඡන්ද දායකයින්ට පිටුපෑවා. තමන්ගේ පරම දේශපාලන හතුරා ලෙස සලකපු මහින්ද රාජපක්ෂ මහතාව අගමැති කළා. තමන් බලයට ගෙන පක්ෂ නායකයාට කළ හැකි සෑම අපහසයක්ම කළා. ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝණය කළා. පොළොන්නරුවට බිලියන දහස් ගාණක් වැය කළා. අවසානයේ ලංකාවේ පැරණිම හා ප්‍රබලතම පක්ෂය වූ ශ්‍රීලනිපය විනාශ කළා. දැන් නැවත පාර්ලිමේන්තුවට එන්න සිහින දකිනවා. මේ සේරම එකතු කළ විට සිරිසේන මහතාගේ නම ඉදිරියේ ලෝක වාර්තා එකක් නෙමෙයි සීයක් විතර ලියවෙනවා‘ අප කළ විමසීමකට පිළිතුරු දෙමින් බොහෝ දෙනකු කළ ප්‍රකාශවල පොදු හරය විය.

