ශ්‍රී ලංකා දකුණු කොරියානු අග්‍රාමාත්‍යවරුන් අතර දුරකථන සාකච්ඡාවක්

Spread the love

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ දකුණු කොරියානු අග්‍රාමාත්‍ය චුන්ග් සයි-කියුන් මහතා අතර අද (20) දින පෙරවරුවේ දුරකථන සාකච්ඡාවක් පැවැත්විණි.

අධ්‍යාපන, සංචාරක හා නව ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් දෙරටේ අග්‍රාමාත්‍යවරු මෙහිදී සාකච්ඡා කළහ.

අන්‍යෝන්‍ය අවබෝධය මත ද්විපාර්ශිකව උනන්දුවක් දක්වන අංශ ගණනාවක් පිළිබඳව අවධානය යොමු කළ අග්‍රාමාත්‍යවරුන් දෙපළ දෙරට අතර සබඳතා වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාවය ගැන විශ්වාසය පළ කළහ.

පසු ගිය මහ මැතිවරණයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සුබ පැතුම් එක් කළ දකුණු කොරියානු අග්‍රාමාත්‍ය චුන්ග් සයි-කියුන් මහතා, ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශ්වික වශයෙන් සබඳතා තවදුරටත් ඉදිරියේදී ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බව පැවසීය.

කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (KOICA) දැනටමත්, සහයෝගීතාව ලබා දෙන ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ද රාජ්‍ය නායකයින් දෙපළ මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කළහ.

“මෙම ව්‍යාපෘතිය පුළුල් කිරීම සඳහා අපට අඛණ්ඩව සහයෝගයෙන් කටයුතු කළ හැකි බව බලාපොරොත්තු වන්නේ” යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

“කොවිඩ් – 19 වසංගත තත්ත්වය පාලනය වී ගුවන් ගමන් යථා තත්ත්වයට පත් වූ විගස, ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සඳහා කොරියානු ආයෝජකයන් දිරිමත් කිරීමට සහාය ඉල්ලා සිටින” බව ප්‍රකාශ කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කොරියාව ඔස්සේ ශ්‍රී ලංකාවට ක්‍රියාත්මක සංචාරක අවස්ථා  ඉහළ දැමීමේ  අවශ්‍යතාව  පෙන්වා දුන්නේය.

කොවිඩ් -19 තත්ත්වය පාලනය වූ වහාම, ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස අග්‍රාමාත්‍ය රාජපක්ෂ මහතා දකුණු කොරියානු අග්‍රාමාත්‍ය චුන්ග් සයි-කියුන් මහතාට ආරාධනා කළ අතර දකුණු කොරියානු අග්‍රාමාත්‍යවරයා මීට පෙර කිසි දිනෙක ශ්‍රී ලංකාවට නොපැමිණි බව සඳහන් කරමින් මෙරට සංචාරය කිරීම සඳහා කැමැත්ත පළ කළේය.

Tags: