ශ්‍රී ලංකාවේ බන්ධනාගාර මනුෂ්‍යයන්ට ‘නුසුදුසුයි – සම්පූර්ණ හෙළිදරව්ව !
- RSL
- December 16, 2020
- පුවත් සහ වාර්තා, විමර්ශන
- featured
- 0 Comments
පිළිගත් ප්රමිතීන් සපුරාලීමෙහි ලා අසමත්ව ඇති, යල් පැන ගිය ශ්‍රී ලංකා බන්ධනාගාර පද්ධතිය වහා ප්‍රතිසංස්කරණය කළ යුතු බව නවතම අධ්‍යයන වාර්තාවක් පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් පළමු වරට ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය පිළිබඳ කරන ලද දීප ව්‍යාප්ත අධ්‍යයනයේ ඒ බව සඳහන් වේ.
එකී විෂයට අදාළ තොරතුරු හිඟ වීම මෙන්ම බන්ධනාගාර පද්ධතිය, ඒවායේ තත්ත්වය සහ සිරකරුවන්ට සලකන ආකාරය සම්බන්ධයෙන් පවතින මහජන කතිකාව අඩු වීම යන කරුණු කෙරෙහි අවධානය යොමු කර ඉහත කී අධ්‍යයනය සිදු කළ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.
එමෙන්ම එකී අධ්‍යයන වාර්තාව ප්‍රකාශයට පත්ව ඇත්තේ කොරෝනා වෛරස් පැතිරීම හමුවේ මහර, වැලිකඩ සහ අනුරාධපුර වැනි බන්ධනාගාරයන්හි ප්රචණ්ඩ ක්‍රියා සහ විරෝධතා හටගත් පසුබිමකදීය. අදාළ අධ්‍යයනයේ අඩංගු සොයා ගැනීම්, නොවැම්බර් 29 වෙනිදා මහර බන්ධනාගාරයේ හට ගත් කලහකාරී තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් අතුරු වාර්තාවේ නිර්දේශ හා සමපාත වීම ද විශේෂත්වයකි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සිය අධ්‍යයනය සිදු කිරීමේදී රටපුරා පිහිටි බන්ධනාගාර 20 ක් පරීක්ෂාවට ලක් කර ඇත. බන්ධනාගාර, රිමාඩ් බන්ධනාගාර සහ වැඩ කඳවුරු ඊට ඇතුළත්ය. එහිදී රැඳවියන්, බන්ධනාගාර බලධාරීන් මෙන්ම රජයේ ආයතන, ස්වාධීන සහ රාජ්‍ය නොවන කණ්ඩායම් ඇතුළු වෙනත් පාර්ශව ද සම්මුඛ සාකච්ඡාවට බඳුන් කර තිබේ.
2018 අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ කරන ලද අධ්‍යයනය සඳහා බන්ධාගාර දෙපාර්තමේන්තු නිලධාරීන්ගෙන් යහපත් ප්‍රතිචාර මෙන්ම ඊට ඔවුන්ගේ සහාය ද ලැබුණු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සිය අධ්‍යයන වාර්තාවේ සඳහන් කර ඇත.
අධ්‍යයනයේ ප්‍රධාන සොයා ගැනීම් තුනකි:
- බන්ධනාගාර තුළ නියමිත සීමාව ඉක්මවා සිරකරුවන් රඳවා සිටීම සහ සම්පත් අවම වීම
- නිවැරදි කිරීමේ/ පුනරුත්ථාපනය කිරීමේ ආකෘතියක් වෙනුවට නිවැරදි කිරීමේ/ දඬුවම් පැමිණවීමේ ක්‍රමයකට බන්ධනාගාර තදින් අනුගතව සිටීම
- අඩුපාඩුකම් පිළිබඳ බලධාරීන් හොඳින් දැනුවත් අතර ඔවුන් වෙනසකට සූදානම්ය

බන්ධනාගාර තුළ තත්ත්වය සහ සිරකරුවන්ට සලකන ආකාරය
බන්ධනාගාර වාට්ටුවල තත්ත්වය: එක් සිරකරුවෙකු සඳහා ඇති ඉඩ, වාතාශ්‍රය, ආලෝකය සහ උෂ්ණත්වය සම්බන්ධයෙන් පවතින පිළිගත් ප්‍රමිතීන්ට අනුගත නොවන බව අධ්‍යයනයෙන් හඳුනා ගෙන තිබේ. එමෙන්ම බොහෝ විට වාට්ටු මනුෂ්‍ය වාසයට නුසුදුසු මට්ටමේ පවතින බව අධ්‍යයන වාර්තාවේ දැක්වේ. සෑම බන්ධනගරයකම පවතින අධික තදබදය පමණක් නොව දශක ගණනාවකට පෙර ඉදි කරන ලද බන්ධනාගාර ජරාවාස තත්ත්වයේ පැවතීම ද ඊට හේතු වී ඇති බවත් එමගින් පෙන්වා දෙයි.
රැඳවියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින ගැටලු පැරණි බන්ධනාගාර තුළ පමණක් නොව අලුතින් ඉදි කරන ලද බන්ධනාගාර තුළ ද දක්නට ඇති බව හඳුනාගෙන තිබේ.
“වාට්ටුවල පවතින අධික තදබදය හමුවේ නිදා ගැනීමට ඉඩක් නොමැතිකම හේතුවෙන් අලුතින් පැමිණි රිමාන්ඩ් සිරකරුවන්ට රාත්‍රිය පුරා සිටගෙන සිටීමට සිදු වේ, නැතහොත් වැසිකිලි අසල හෝ ඒවා ඇතුළත නිදා ගැනීමට ඔවුන්ට සිදුවේ,”

මහර බන්ධනාගාරයේ හටගත් කලහකාරී තත්ත්වය පිළිබඳ සොයා බැලීම සඳහා පත් කරන ලද පංච පුද්ගල කමිටුව නිකුත් කළ අතුරු වාර්තාවේ දැක්වෙන පරිදි ඒ වන විට රැඳවිය හැකි සිරකරුවන් ප්‍රමාණය මෙන් තුන් ගුණයක් එම බන්ධනාගාරයේ රඳවා සිට ඇති බව හෙළි වේ.
“සිද්ධිය සිදු වූ දින දහවල් කාලයේ කොවිඩ්-19 වැළඳුනු රෝගීන් විශාල සංඛ්‍යාවක් රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින බවට රැඳවියන්ට දැන ගැනීමට ලැබී ඇති අතර රිමාන්ඩ් බන්ධනාගාරයේ පැවති දැඩි තදබදය නිසාත් රැඳවියන් අතර උණ රෝගය පැතිරී තිබීම නිසාත් ඒ නිසා ඇති වූ ජීවිත අවදානම මත රැඳවියන් දැඩි නොසන්සුන්තාවයට පත්ව ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් ඉල්ලීම් කරමින් උද්ඝෝෂණ කරන්නට පටන් ගැනීම සාධාරණ උද්ඝෝෂණයක් ලෙස නිරීක්ෂණය වේ,” යනුවෙන් අදාළ කමිටු වාර්තාවේ සඳහන් වේ.
“නිලධාරීන්ගෙන් කඩිනම් විසඳුම් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් එම උද්ඝෝෂණය දැඩි අන්දමින් පවත්වාගෙන ගිය බවට නිරීක්ෂණය වේ,” යනුවෙන් එහි වැඩිදුරටත් දැක්වේ.
ආහාර
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම කළ අධ්‍යයනයේදී අනුරාධපුර බන්ධනාගාරය හැර සෙසු සියලුම රිමාන්ඩ් බන්ධනාගාරවල සිටි රැඳවියෝ තමා ට ලබා දෙන ආහාර සම්බන්ධයෙන් පැමිණිලි කර ඇත. එම ආහාර “රසක් නැති සහ දියාරු” බවින් යුක්ත අතර බොහෝ විට පිසුණු නැති බත් ලබා දෙන බවත් ඔවුන් පවසා තිබේ.
සාමාන්‍යයෙන් මුළුතැන් ගෙයි කටයුතු සඳහා යොදවන ලද සිරකරුවන්ට ආහාර පිසීම සම්බන්ධයෙන් පෙර අත්දැකීම් නොමැති බව මානව හිමිකම් කොමිසමට දැන ගැනීමට ලැබී ඇති අතර ඒ හේතුවෙන් ආහාරවල ගුණාත්මකභාවයට අනිවාර්ය බලපෑමක් සිදුවන බව නිරීක්ෂණය කර ඇත. පවතින නීතියට අනුව මුළුතැන් ගෙය සෞඛ්‍ය නිලධාරීන්ගේ පරීක්ෂාවට භාජනය විය යුතු වුව ද එය එසේ නොවන බවත් එබැවින් ආහාර සැකසීමේ ප්‍රමිතිය පරීක්ෂාවට ලක් නොවන බවත් අධ්‍යයන වාර්තාවේ දැක්වේ.
මේ අතර මහර බන්ධනාගාරයේ හටගත් කලහකාරී තත්ත්වය පිළිබඳ සොයා බැලීම සඳහා පත් කරන ලද කමිටුවේ නිර්දේශ අතර: “දෙනු ලබන ආහාරවල තත්ත්වය අනුභව කිරීමට සුදුසු ආකාරයට පවත්වාගෙන යාමට පියවර ගත යුතු බව” දක්වා තිබේ.
ජලය, සනීපාරක්ෂක පහසුකම් සහ පිරිසිදුභාවය

බන්ධනාගාරවල පවතින දැඩි තදබදය මෙන්ම දැනට සිටින රැඳවියන් සංඛ්‍යාවට සරිලන පරිදි නිර්මාණය නොවුණු යල් පැන ගිය ගොඩනැගිලි, රැඳවියන්ට ප්‍රමාණවත් පරිදි ජලය ලබා ගැනීමට සහ සනීපාරක්ෂක පහසුකම් වෙත පිවිසීමට බාධාවක් වී ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සිය අධ්‍යනයෙන් පෙන්වා දෙයි.
“රාත්‍රී කාලයේ සිර මැදිරි අගුළුලන අතර ඒවා තුළ වැසිකිලි පිහිටා නොමැත. එබැවින් සිරකරුවන්ට ශරීර කෘත්‍ය සිදු කිරීමට පිටතට යෑමේ හැකියාවක් නොමැති බැවින් ඔවුහු ඒ සඳහා ප්ලාස්ටික් බකට්ටු සහ පොලිතින් මළු භාවිත කරති. එම බකට්ටු හෝ මළු රාත්‍රිය පුරා සිරමැදිරි ඇතුළත තබා ගැනීමට සිදු වේ. එක් සිර මැදිරියක වාසය කරන රැඳවියන් එක් බකට්ටුවක් හවුලේ භාවිත කරන අතර බොහෝ විට අලුතින් පැමිණෙන රැඳවියන්ට පසුදා උදෑසන ඒවා පිරිසිදු කිරීමේ කාර්යය පැවරෙනු ඇත.”
තවද ප්‍රතිකාර සහ ඖෂධ ලබා ගැනීමේ පහසුකම්, ඥාතීන් ඇතුළු බාහිර සමාජය සමග සන්නිවේදනය, සිරකරුවන්ගේ දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය, රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් අතර සම්බන්ධය, විනය සහ දඬුවම් ලබා දීම, බන්ධනාගාර තුළ සිදුවන මරණ සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් සිදු කරන ලද අධ්‍යයනයේ දීර්ඝ වශයෙන් කරුණු සඳහන් වේ.
බී.බී.සී සන්දේශය ඇසුරිණි

