වෛද්‍ය පරීක්ෂණ වාර්තා ලබාගැනීමේ තදබදය මඟහරවා ගැනීම පිණිස එම්.බී.බී.එස්. උපාධිධාරි වෛද්‍යවරුන් 50ක් බඳවා ගැනීමට අනුමැතිය

Spread the love

ජාතික වෛද්‍ය ප්‍රවාහන අංශයේ පවතින වෛද්‍ය පරීක්ෂණ වාර්තා ලබාගැනීමේ තදබදය මඟහරවා ගැනීම පිණිස ලබාගත් කැබිනට් අනුමැතිය මත එම්.බී.බී.එස්. උපාධිධාරි වෛද්‍යවරුන් 50ක් ඉදිරි මාසය ඇතුළත බඳවා ගැනීමට පියවර ගන්නා බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

නවීකරණය කරන ලද ජාතික ප්‍රවාහන ආයතනයේ තෙවැනි මහල විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.
එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ අමාත්‍යවරයා රියැදුරු පරීක්ෂණවලට පෙනී සිටීමට පැමිණෙන ජනතාවට අවශ්‍ය පහසුකම් ඉතාමත් අවම මට්ටමක පවතින මෙම ස්ථානය නවීකරණය කිරීමට හැකිවීම සතුටට කරුණක්. ඒ වගේම මෙම නවීකරණ කටයුතු කොළඹට පමණක් සීමා නොකොට ප්‍රාදේශීය මට්ටමේ වෛද්‍ය ප්‍රවාහන ආයතනද නවීකරණය කළ යුතුයි.

ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරයෙන් ලබාගැනීමට දැනටමත් පියවර ගෙන තිබෙනවා. එමෙන්ම මෙම ආයතනයේ සේවක හිඟය මඟ හැරවීම සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය හා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව දැනුවත් කර ඇති නිසා ඉදිරි දෙමස තුළ එම ප්‍රශ්නයටද විසඳුම් ලැබෙනු ඇත.

අද රාජ්‍ය සේවය පවත්වාගෙන යෑමට විගණන පනත විශාල බාධකයක්ව තිබෙනවා. මේ පනත නිසා රාජ්‍ය නිලධාරීන් තීරණ ගැනීමට බියකින් පසුවෙනවා. නමුත් නිවැරැදි තීරණ ගැනීමට කිසිවිටෙක බියවිය යුතු නැහැ. රටකට විගණනය අත්‍යවශ්‍යයි. නමුත් සංවර්ධනය කඩාකප්පල් වන ලෙස මෙම විගණන ක්‍රියාවලිය සිදුවීම තුළින් රටේ දියුණුවට විශාල ප්‍රශ්න ඇතිවීමට ඉඩ තිබෙනවා. මේ පිළිබඳව රජයක් ලෙස සියලු දේශපාලනඥයන් සැලකිලිමත් විය යුතුයි.

මෙම ආයතනය තුළ සේවක තෘප්තිමත්භාවය ඇති කිරීම ඉතා අමාරු කාර්යයක්. ඊට හේතුව මෙය විසිරී තිබෙන ආයතනයක් වීමයි. මෙම ආයතනයේ සේවයට බැඳෙන සේවකයන් ඕනෑම ස්ථානයක සේවය කිරීමට බැඳී සිටිනවා. එමෙන්ම ආයතනය හා සේවකයන් තුළ අනන්‍යතාවක් ඇතිවන පරිදි නිල ඇඳුමක් ලබාදිය යුතු යැයි මම යෝජනා කරනවා.

එය අගෝස්තු මස 1 වැනිදා සිට බලපාන පරිදි ලබාදෙන ලෙසත් සභාපතිවරයාට උපදෙස් දෙනවා. මේ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට මගේ අනුමැතිය ලබා දෙනවා.

RSL

Related Posts