වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානියාගෙන් ‘ආන්දෝලනාත්මක’ ප්‍රකාශයක්

Spread the love

මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිත කොවිඩ් පොකුරෙන් හමුවන ආසාදිතයින්ගේ ශරීරයේ අන්තර්ගත වෛරස් ප්‍රමාණය මීට පෙර වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින්ගේ ශරීරයේ අන්තර්ගත වූ වෛරස් ප්‍රමාණයට වඩා වැඩි බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේය.

අද (07) දින සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී සමරවීර මහතා මේ බව හෙළි කළේය.

එහිදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානියා මෙසේ ද ප්‍රකාශ කළේය.

“මෙරටින් මීට පෙර හමු වූ කොවිඩ් පොකුරුවල PCR පරීක්ෂණ සිදු කිරීමේදී ඔවුන්ගේ තිබුණු වෛරස් ප්‍රමාණය තිබුණේ පහළ මට්ටමක. නමුත් මෙතනදී හමුවන රෝගීන්ගේ වෛරස් ප්‍රමාණය වැඩියි. එතන තියෙන අවධානම තමයි මේ වෛරස් ප්‍රමාණය වැඩි නම් තවත් කෙනෙකුට පැතිරෙන්න තියෙන අවධානමත් වැඩිවීමයි. බස් එකේ ගිහින් තවත් අයට බෝ වුණාද කියන එක අපි දන්නේ නෑ.” 

මෙහිදී මිනුවන්ගොඩ පොකුරේ මුල් රෝගී කාන්තාව ගැන අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය සුගත් සමරවීර මහතා,

“සැප්තැම්බර් 20 වනද සිටම ස්වසන රෝග, මෙවැනි සමාන රෝග ලක්ෂණ තිබුණු අය හිටියයි කියල වාර්තා වෙනවා. සමහර විට ඊටත් සතියකට දෙකකට කලින් වෙන්න පුළුවන්, මේ රෝග ව්‍යාප්තිය පටන් අරගෙන තියෙන්නේ. මේ කාන්තාව පළමුවන රෝගියා විදියට අපි හදුනාගත්තට රෝගය හැදුනු පළමු රෝගියා එයා නෙමෙයි. රෝගය හැදිච්ච පිරිසක් ඉන්නවා ඒ ආයතනයේ. මුළු පොකුරේම තොරතුරු හොයාගෙන තමයි මේකේ මුලාශ්‍රය හොයාගන්න පුළුවන් වෙන්නේ. එක පුළුවන් වෙන්නත් පුළුවන් බැරි වෙන්නත් පුළුවන්.

මෙහිදී ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කිරීමට ද වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානියා පියවර ගත්තේය.

‘ මේ අවස්ථාවේදී ජනතාවට විශාල වගකීමක් තිබෙන ආරක්ෂාව සම්බන්ධයෙන්. ඔවුන් සෞඛ්‍ය අංශ විසින් ලබා දෙන උපදෙස් නිසි පරිදි අනුගමනය කළ යුතුයි. ඒ වගේම තමයි බලධාරීන් අතින් ද මෙය ගිලිහි ගියහොත් ඉන්දියාව මෙන් මෙය ඉතාමත් බරපතල තත්ත්වයකට මුහුණ දීමට අපට සිදුවන එක නතර කිරීමට හැකියාවක් නැහැ‘

Tags: