ලංකාවේ තරුණ පරපුර සහ මානසික රෝග – අලුත්ම හතුරා ගංජා සහ ඉන්ටර්නෙට්
- RSL
- December 2, 2020
- පුවත් සහ වාර්තා, සෞඛ්‍යය
- featured
- 0 Comments
ශ්‍රී ලංකාවේ තරුණ පිරිස් අතර ශීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතින මානසික රෝගය ලෙස ‘Cannabis Induced Psychosis’ නමැති තත්ත්වය හඳුනාගෙන ඇති බව වවුනියාව රෝහලේ මානසික සෞඛ්‍ය ඒකකයේ වෛද්‍ය මයුර සන්නසූරිය පෙන්වා දෙයි.
එමෙන් ම, වත්මන් තරුණ පරපුර සීමාව ඉක්මවා ඉන්ටර්නෙට් වෙත නැඹුරු වීම ද මානසික ගැටලු වැඩි වීමට හේතුවක් වී ඇති බව වෛද්‍ය මයුර සන්නසූරිය පෙන්වා දෙයි.
වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, සංවර්ධනය වෙමින් පවතින රටක් වන ශ්‍රී ලංකාවේ තරුණයන් වර්තමානය වන විට ගංජා, මත්කුඩු, මත්පෙති හා හෙරොයින් භාවිතයට වැඩි වශයෙන් නැඹුරු වී ඇති බව ය.
එවැනි මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් මොළයට ඇති කරන අහිතකර බලපෑම් මත තරුණයන් දිනපතා මානසික රෝග වෙත ගොදුරු වීමේ අවදානමක් පවතින බව ඔහු පෙන්වා දෙයි.
මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් මානසික රෝගවලට ගොදුරු වන තරුණයන් සංඛ්‍යාව ශ්‍රී ලංකාව තුළ තුළ දිනෙන් දින ඉහළ යමින් පවතින බව ද වෛද්‍ය සන්නසූරිය සදහන් කළේ ය.
මත්ද්‍රව්‍ය භාවිතයට අමතරව ඉන්ටර්නෙට් හා සමාජ ජාල වැරදි ලෙස භාවිතය තුළින් ද තරුණ පිරිස් වැඩි වශයෙන් මානසික රෝග වෙත ගොදුරු වීමේ අවදානමක් මතුව ඇති බව කී වෛද්‍යවරයා ඒ හේතුවෙන් මානසික ආතතිය, විශාදය, කාංසාව, භින්නෝන්මාදය වැනි තත්ත්වයන් විශාල වශයෙන් වාර්තා වන බව වෛද්‍යවරයා සඳහන් කළේ ය
ඔහු පවසන පරිදි තරුණයන් අතර මානසික රෝග හට ගැනීමේ ප්‍රවණතාව වැඩි වීම හේතුවෙන් පවුල සහ සමස්ත සමාජය ම දැඩි අවුල්කාරී තත්ත්වයකට පත්ව ඇති අතර ඒ තුළින් සමාජීය හා ආර්ථික ගැටලු රැසක් පැන නැගී තිබේ.
දෙමව්පියන් සහ තරුණ දරුවන් අතර සබඳතා දුරස්වීම, සම වයස් කණ්ඩායම්වල පෙළඹවීම, තරුණ පිරිස් ඉලක්ක කර ගනිමින් සිදුවන විෂමාචාර ප්‍රචාරයන් සහ තරුණ කණ්ඩායම් තනි වීම වැනි කරුණු රෝගී තත්ත්වයන්ට ගොදුරු වීමට වැඩි වශයෙන් බලපා තිබේ.
ලෝක මානසික සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව මානසික ගැටලුවලින් 50% ක ප්‍රතිශතයක් ආරම්භ වන්නේ, වයස අවුරුදු 14 කාල සීමාවේදී ය.

නිසි වෛද්‍ය උපදෙස් ලබා නොගැනීම, මානසික සෞඛ්‍ය සායන වෙත යොමු වීමට ඇති අකැමැත්ත, මානසික සෞඛ්‍ය කෙරෙහි නිසි අවධානයක් යොමු නොකිරීම සහ නොදැනුවත්කම යන කරුණු හේතුවෙන් අදාළ රෝගී තත්ත්වයන් උත්සන්න වන බව වෛද්‍ය මයුර සන්නසූරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ
“රටේ පවතින ආර්ථික ගැටලු, තරුණ විරැකියාව හා තරුණ කණ්ඩායම් අතර පවතින නොයෙකුත් අපචාර ක්‍රියා හේතුවෙන් ද මානසික ගැටලු උද්ගත වී තරුණ කණ්ඩායම් ජීවිත අහිමි කර ගැනීමේ තත්ත්වයන්ට පවා පත්ව තිබෙනවා. තරුණ පිරිස් හෝ වෙනත් පිරිස් වෙත කිසියම් මානසික ගැටලුවක් පවතින්නේ නම් වෛද්‍ය උපදෙස් වෙත යොමු කිරීම තුළින් මානසික රෝගී තත්ත්වයන්ගෙන් මිදීමට හැකියාව ලැබෙනවා” ඔහු අවසන් වශයෙන් දුන් උපදේශය යි.
Text copied by bbc sandesaya

