යුරෝපය ‘පරිසමාප්ත’ කුණාටුවක් කරා…

Spread the love

ස්ලේවෝයී ශිෂෙක් ලියූ “වසංගතය! කොවිඩ් 19 ලොව සසල කරයි” කෘතියේ අන්තර්ගතය සරල සිංහලෙන් – 04 වන කොටස

හැඳින්වීම 

ශිෂෙක් “Pandemic!” කෘතිය ආරම්භ කරන්නේ දේශපාලන ආර්ථිකය නම් විෂය ක්ෂේත්‍රය තුළින් බව මම පසුගිය ලිපියේදී පෙන්වා දුන්නෙමි. ඔහු මේ කෘතියේ තෙවන පරිච්ජේදයේදී දේශපාලන ආර්ථිකයේ සිට කෙලින්ම මාරු වන්නේ ජාත්‍යන්තර සම්බන්ධතා විෂය ක්ෂේත්‍රයටය. ඒ මිනිස් වර්ගයාගේ සාමූහික අනාගතයට අදාළ වැදගත් ප්‍රශ්නයක් මතු කරමින්ය. එනම්, කොරෝනා වසංගතය සහ ඒ ඇසුරින් නිර්මාණය වන ගැඹුරු අර්බුදය යුරෝපීය දේශපාලනය කෙරෙහි කෙසේ බලපානු ඇත්ද යන ප්‍රශ්නයයි.

සැබවින්ම ඔහු මතු කරන ප්‍රශ්නය මේ මොහොතේදී අතිශයින්ම තීරණාත්මකය. මන්ද යත්, දැන් එක්සත් ජනපදයේ නායකත්වය යටතේ පැවති ගෝලීය පර්යාය බිඳ වැටෙමින් තිබීම නිසාත් චීනය සහ රුසියාව මුල් කොටගත් නව බල කඳවුරක නැගීම පිළිබඳව බොහෝ විද්වතුන්ගේ අවධානය යොමුව තිබීම නිසාත්ය.

අන්තෝනියෝ ග්‍රාම්ස්චිගේ ප්‍රකාශයක් මේ තත්ත්වයට ගලපා කිව හොත්, “පැරණි ලෝක පර්යාය මිය යමින් තිබුණද, නව පර්යාය තවම නිර්මාණය වී නොමැත.”  

මෙම අවිනිශ්චිත කාල පරිච්ජේදය තුළදී අප හමුවේ ඇති බරපතල ගැටළුවක් වන්නේ ජාත්‍යන්තර සම්බන්ධතා විෂය ක්ෂේත්‍රයේ සමාරම්භක චින්තකයෙකු වූ හාන්ස් ජේ. මෝගන්දෝගේ පෙර දැක්මක් නිරුවත් සත්‍යය බවට පරිවර්තනය වේද යන්නයි.

මොගන්දෝ රාජ්‍යයන් අතර සබඳතා තේරුම් කිරීම සඳහා තෝමස් හොබ්ස් විසින් ඉදිරිපත් කරන ලද “සොබාවික තත්ත්වය” පිළිබඳ සංකල්පය යොදා ගත්තේය.

හොබ්ස්ට අනුව, සමාජ ගිවිසුමක් නොහොත් රාජ්‍යයක් බිහිවීමට පෙර පැවති “සොබාවික තත්ත්වය” වනාහී අරාජක වූවකි; කිසිදු නායකත්වයකින් තොර වූවකි; ඒ තුළ සියල්ලන් මෙහෙයවීමට ලක් වූයේ ඔවුනගේ ස්වාභිලාෂයන්ගෙනි; එබැවින්, එය “සියල්ලන් සියල්ලන්ට එරෙහි යුද්ධයක්” බඳු විය; ඒ තුළ ජීවිතය හුදෙකලා, දරිද්‍ර, කෙටි සහ රෞද්‍ර වූවකි. මිනිසුන් එම අනාරක්ෂිත දරිද්‍ර තත්ත්වයෙන් අත් මිදෙන්නේ සමාජ ගිවිසුමකට එළැඹ පරමාධිපති බලය සහිත පාලකයෙකු පත් කර ගැනීමෙනි. 

මෝගන්දෝගේ අදහස වූයේ නූතන ජාතික රාජ්‍යයන් අතර පවතින්නේද හොබ්සියානු අරාජක තත්ත්වයම බවයි. ඒ තුළ සෑම රාජ්‍යයක්ම මෙහෙයවීමට ලක් වන්නේ ස්වකීය ජාතික අභිලාෂයන් සහ බල වුවමනාවන් මගිනි. එබැවින් ජාත්‍යන්තර පද්ධතිය තුළ කිසියම් හෝ ස්ථාවරත්වයක් ගොඩ නගා ගත හැක්කේ එක්කෝ මහා බලවත් රාජ්‍යයක ආධිපත්‍ය යටතේය. නැතිනම්, රාජ්‍යයන් අතර යම් සංධාන ගොඩ නගා ගැනීමෙන් තැනෙන බල තුලනයක් මගිනි. නමුත්, එවන් ස්ථාවරත්වයක් වුව තාවකාලිකය. පවතින මහා බලවතාගේ පරිහාණිය සමග, නැතිනම් පවත්නා බල තුලනය බිඳ වැටීම සමග අප යළිත් හොබ්සියානු අරාජකත්වය කරා ඇද වැටීමට හැකිය.

දැන් අප ඉදිරියේ පවතින්නේ ඉහත කී ආකාරයේ අසාර දර්ශනයක්ද? ඇමෙරිකා එක්සත් ජනපදය මුල් කොටගත් ලිබරල් ජාත්‍යන්තර පර්යාය සහමුලින්ම බිඳ වැටෙනු ඇත්ද? අපගේ අනාගතය චීනයද? මේ ප්‍රශ්න පසුගිය දශකය තුළ බොහෝ ගෝලීය බුද්ධිමතුන්ගේ අවධානයට ලක්ව තිබේ. 

එසේම, එම සංවාදය තුළදී ලොව ප්‍රමුඛ වාමාංශික බුද්ධිමතුන් කිහිප දෙනෙකුම යම් සාධනීය අපේක්ෂාවක් රඳවා ගත් කලාපීය එකතුවක් තිබුණේ නම් ඒ යුරෝපා සංගමයයි. යුරෝපා සංගම් ව්‍යාපෘතියේ ගැබ්ව ඇති නව-ලිබරල් ආර්ථික දැක්ම ඔවුනගේ විවේචනයට ලක් වූ බව අමුතුවෙන් කිව යුතු නොවේ.

නමුත්, ඔවුනගේ එකඟතාව වූයේ දහ අට වන සියවසේදී ඇරඹි ප්‍රබුද්ධතා චින්තනයේ විමුක්තිවාදී අංග (එනම් පුද්ගල සහ සමාජ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතීන්, සමානාත්මතාව සහ නිරාගමිකවාදය යනාදිය) ආරක්ෂා කිරීම සඳහා යුරෝපීය විවේචක ජන සමාජයේ ඒකාග්‍රතාව වැදගත් වන බවයි. බ්‍රසල්ස් මුල් කොට ගත් යුරෝපීය ධනේශ්වර ව්‍යාපෘතිය ප්‍රතික්ෂේප කරන අතරම ඔවුහු “වෙනස් යුරෝපයක්” පිළිබඳව අපේක්ෂා දැල්වූහ. 

මෙහි ප්‍රමුඛයෙකු වන්නේ ලෝකයේ සොක්‍රටීස්, ප්ලේටෝ සහ ඇරිස්ටෝටල් විසූ ප්‍රදේශයෙන්ම පැමිණි සමකාලීන චින්තකයෙකු සහ දේශපාලන සංවිධායකයෙකු වන යානීස් වරූෆකීස්ය (Yanis Varoufakis)

යානීස් වරූෆකීස්

ග්‍රීසියේ පළමු සිරිසා ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයා වූ ඔහු “යුරෝපය සඳහා ප්‍රජාතන්ත්‍රවාදය” (DiEM2025) නමැති නව දේශපාලන පෙරමුණක් ගොඩ නගා ගෙන යුරෝපා සංගම් මැතිවරණයට පවා ඉදිරිපත් වූයේ මෙම වෙනස් යුරෝපයක් පිළිබඳ අරමුණ පෙරදැරිවය.

ඔහු වාමාංශික පාර්ශවයෙන් “බ්‍රෙක්සිට්” ව්‍යාපාරයට එරෙහි වූවෙකි. පශ්චාත් මාක්ස්වාදී ශන්තාල් මූෆ්ද ඇයගේ “Agonistics” (2013) කෘතියේදී බහු-කේන්ද්‍රීය ලෝක පර්යායක් ගැන කතා කරන විට යුරෝපීය ප්‍රගතිශීලී දේශපාලනය පිළිබඳව සුබවාදී අපේක්ෂාවක් ප්‍රකට කර තිබේ.

යර්ගන් හබර්මාස් යුරෝපීය ප්‍රබුද්ධත්ව ව්‍යාපෘතියේ විමුක්තිවාදී උරුමයන් වෙනුවෙන් තිරසාරව පෙනී සිටින ෆ්‍රෑන්ක්ෆර්ට් න්‍යායවේදියෙකි. ශිෂෙක්ද ඔහුගේ මෑතකාලීන දේශපාලන අදහස් දැක්වීම්වලදී මෙම යුරෝපා ප්‍රබුද්ධත්වය කෙරෙහි වන පක්ෂපාතීත්වය නොසඟවා හෙළිදරව් කොට තිබේ. 

නමුත්, කොරෝනා වසංගතය යුරෝපයට පැමිණියේ අන්ත දක්ෂිණාංශික ජාතිකවාදයේ රැල්ල හමුවේ සමස්ත යුරෝපා සංගම් ව්‍යාපෘතියම අර්බුදයට ලක් වෙමින් පැවති සංධර්භයක් තුළය. දැන් චීනය සහ රුසියාව ඊනියා කොරෝනා රාජ්‍ය තාන්ත්‍රිකත්වය ඔස්සේ ඉතාලිය ඇතුළු යුරෝපා දම්වැලෙහි දුර්වලම පුරුක් වෙත ප්‍රවේශ වෙමින් සිටී.

අනෙක් අතින් කොරෝනා අර්බුදයට සාමූහිකව මුහුණ දීමට යුරෝපා සංගමය අසමත් වූ ආකාරය දැක කලකිරුණු ස්වරයෙන් මෑතකදී වරූෆකීස් පවා ප්‍රකාශ කළේ යුරෝපා සංගම් ව්‍යාපෘතිය ගැන දැන් කිසිදු බලාපොරොත්තුවක් තබා ගත නොහැකි බවයි. මින් ඉදිරියට යුරෝපීය ඒකාග්‍රතාවට සිදු වනු ඇත්තේ කුමක්ද? එය අනාගත ලෝක ක්‍රමයේ ස්වරූපය තීරණය වීමට බලපාන ඉතාම කේන්ද්‍රීය ප්‍රශ්නයක් බව ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ විද්වත්හු පවසති.  

පහත පළ වන පරිච්ජේදයේදී ශිෂෙක් ඉදිරිපත් කරන්නේ ඉහත ප්‍රශ්නයට අදාළ වැදගත් නිරීක්ෂණ කිහිපයකි. (මේ පරිච්ජේදය සඳහා තරමක දීර්ඝ හැඳින්වීමක් ලිවීමට මා අදහස් කළේ ඔහුගේ විශ්ලේෂණයේ සමකාලීන දේශපාලන වැදගත්කම අවධාරණය කිරීම ප්‍රයෝජනවත් වනු ඇතැයි හැඟුණු බැවිනි).

තුන්වන පරිච්ජේදය 
යුරෝපය පරිසමාප්ත කුණාටුවක් කරා…


‘පරිසමාප්ත කුණාටුවක්’ ඇති වන්නේ විසම තත්ත්වයන්ගේ දුලබ ඒකාබද්ධ වීමක් මගිනි; එයින් නිමැවෙන්නේ ඉතාම දරුණු ප්‍රචණ්ඩත්වයකි. එවන් විටෙකදී කුණාටුවට සම්බන්ධ බලවේගවල සහක්‍රියාවෙන් මුදා හරිනු ලබන්නේ ඉමහත් ශක්තියකි. එම ශක්තිය එම බලවේගවල තනි තනි ශක්තීන්ගේ එකතුවටත් වඩා වැඩිය.

පරිසමාප්ත කුණාටුව යන යෙදුම ජනප්‍රිය කරන ලද්දේ සෙබස්තියන් යුන්ගර් විසින් පළ කරන ලද කෘතියක් මගිනි. එය 1997 වසරේ සිට ප්‍රබන්ධ නොවන කාණ්ඩය යටතේ වැඩිම අළෙවියක් සහිත කෘතියක් විය. එය ලියැවී ඇත්තේ කුණාටුවකට බලපාන සාධකවල ඉතාම දුලබ ඒකාබද්ධ වීමක් (එනම් වසර සියයකට එක් වරක් සිදු වන ඒකාබද්ධ වීමක්) මගින් 1991 වසරේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළ තීරයේ ඇති වූ කුණාටුවක් ගැනය.

එහිදී මහා විල් කෙරෙන් පැමිණි අධි පීඩනයක් විසින් නෝවා ස්කොෂියා වෙරළ තීරය අද්දර පිහිටි සේබ්ල් දූපත්වලට ඉහළින් කුණාටු මාරුතයක් නිර්මාණය කෙරිණ; එය කැරිබියානු ප්‍රදේශයෙන් පැමිණි චණ්ඩ මාරුතයක් සමග එක් විය. යුන්ගර්ගේ වාර්තාවෙන් අවධානය යොමු වූයේ මෙම කුණාටුවට හසුවූ අන්ද්‍රේය ගේල් නමැති මාළු අල්ලන බෝට්ටුවක සිටි පිරිස ගැනය. එම බෝට්ටුව රුදුරු රළ පහරට හසුව අතුරුදන්ව ගියේය. 

සමකාලීන කොරෝනා වසංගතයේ ගෝලීය ස්වභාවය හේතු කොටගෙන “දැන් අප සියලු දෙනාම සිටින්නේ එකම බෝට්ටුවේ” යැයි කියන්නට අප පෙළඹේ. නමුත්, යුරෝපය නමැති බෝට්ටුව අනෙක් ඒවාට වඩා වේගයෙන් අන්ද්‍රේය ගේල්හි ඉරණම කරා ළඟා වන බවට ඉඟි කෙරෙන සංඥා පවතී.

යුරෝපයට ඉහළ අහසේ කුණාටු තුනක් ගොණු වෙමින්ද ඒවායෙහි බලයන් ඒකාග්‍ර කර ගනිමින්ද සිටී. පළමු කුණාටු දෙක යුරෝපයට පමණක් සුවිශේෂ වූ ඒවා නොවේ. එනම් කොරෝනා වසංගතයේ සෘජු භෞතික බලපෑම (නිරෝධානය, දුක් පීඩා සහ මරණය) සහ එහි ආර්ථික බලපෑම්ය. දෙවැන්න ලොව සෙසු ප්‍රදේශවලට වඩා යුරෝපය තුළ දරුණු වනු ඇත. ඒ යුරෝපා මහද්වීපයේ ආර්ථිකය දැනටමත් එක තැන පල් වන බැවින් සහ යුරෝපය ලොව සෙසු පෙදෙස්වලට වඩා ආනයන අපනයන මත රඳා පැවතීම නිසාය. නිදසුනක් ලෙස ජර්මානු ආර්ථිකයේ කොඳු නාරටිය වන්නේ කාර් නිෂ්පාදනයයි. ජර්මනියෙන් චීනයට සුඛෝපභෝගී කාර් රථ අපනයනය කිරීම දැනටමත් ඇණ හිට තිබේ. 

රුසියානු ජනාධිපති පුටින් සහ තුර්කි ජනාධිපති එර්දොගන්

ඉන්පසුව ශිෂෙක් ඉහත කී කුණාටු දෙකට තවත් එකක් එකතු කරයි; එය ඔහු හඳුන්වන්නේ “පුටොගන්” වෛරසය යනුවෙනි. (මෙය ඔහු රුසියානු ජනාධිපති පුටින්ගේ සහ තුර්කි ජනාධිපති එර්දොගන්ගේ මුල් නම් එකතු කොට සකසා ගත් උපහාසාත්මක යෙදුමකි!) මෙය වටහා ගැනීමට වත්මන් තුර්කි, රුසියානු සහ සිරියානු සබඳතාවල ස්වරූපය මදක් විමසා බැලිය යුතුය.

සිරියාවේ බෂාර් අල් අසාද්ගේ පාලන තන්ත්‍රයට රුසියාවේ සෘජු සහාය හිමි වේ; එම පාලන තන්ත්‍රය සමග සටන් වදින කැරළිකරුවන්ට තුර්කියේ සහාය හිමි වේ. මේ දෙපිරිස අතර අතර ගැටුම් ඉමහත් ප්‍රචණ්ඩත්වයක් ජනනය කරයි. මේ දෙපාර්ශ්වයම (එනම් රුසියානු සහ තුර්කි පාර්ශව) අවතැන් වී සිටින මිලියන ගණනාවක ජනයාගේ දුක් පීඩාවන් තම දේශපාලන ලාභ ප්‍රයෝජන වෙනුවෙන් අනුකම්පා විරහිතව ගසා කමින් සිටී.

තුර්කිය දහස් ගණනක සංක්‍රමණික ජනයාව ග්‍රීසියේ දේශ සීමාවට ප්‍රවාහණය කරමින් ඔවුන්ව යුරෝපය වෙත පිටව යාමට පොළඹවන විට එර්දොගන් එය යුක්ති සහගත කළේ ප්‍රයෝජ්‍යතාවාදී මානුෂික හේතූන් ඉදිරිපත් කරමින්ය. ඔහු පැවසුවේ තව දුරටත් ඉහළ නගින සරණාගතයන් ප්‍රමාණය දරා ගැනීමට තුර්කියට හැකියාවක් නොමැති බවයි. 

ශිෂෙක්ට අනුව, එර්දොගන් ඉදිරිපත් කළ මෙම හේතු දැක්වීම වනාහී  ලොමු දැහැගන්වන නරුමවාදයකට සාක්ෂියකි. එයින් නොතකා හැරෙන්නේ තුර්කියද සිරියානු සිවිල් යුද්ධයේ එක් පාර්ශවයකට එරෙහිව අනෙක් පාර්ශවයට සහාය දීමෙන් එයට සහභාගී වූවාය යන කාරණයයි; එබැවින් එර්දොගන්ගේ තුර්කිය සරණාගත ප්‍රශ්නයට බරපතල ලෙස වග කිව යුතුය යන කාරණයයි. නමුත්, දැන් තුර්කියට අවශ්‍ය වනුයේ සරණාගත ප්‍රශ්නයේ බර යුරෝපය විසින්ද දරනු ලැබීමටය. එනම්, තුර්කියේ අනුකම්පා විරහිත දේශපාලනය වෙනුවෙන් යුරෝපය වන්දි ගෙවිය යුතුය.  

සිරියාවේ කුර්දිවරුන්ගේ අර්බුදයට ඇති ව්‍යාජ “විසඳුම” වන්නේ තුර්කියට සහ රුසියාවට තමන් සතු ප්‍රදේශ පාලනය කළ හැකි ආකාරයට ඒ දෙරටම සාමය ප්‍රකාශයට පත් කිරීමය. නමුත්, දැන් ඒ විසඳුමද බිඳ වැටෙමින් තිබේ. නමුත්, රුසියාව සහ තුර්කිය සිටින්නේ යුරෝපය වෙත පීඩනය එල්ල කළ හැකි හොඳම තත්ත්වයකය. ඒ දෙරට තෙල් සැපයුම සේම සරණාගතයන් ගලා යාමද පාලනය කරයි. එබැවින් ඔවුනට ඒ දෙකම යුරෝපය ප්‍රාණ ඇපයට ගැනීමේ මාධ්‍යයන් ලෙස භාවිත කළ හැකිය.

ශිෂෙක් පවසන්නේ වරෙක ගැටෙමින්ද, තවත් වරෙක සංධානගත වෙමින්ද, යළිත් ගැටුමට අවතීර්ණ වෙමින්ද එර්දොගන් සහ පුටින් විසින් කෙරෙන මෙම යක්ෂ නර්තනයෙන් අප මුලා නොවිය යුතු බවයි. මේ අන්ත දෙකම සිරියානු ජනයාගේ ජීවිත බිල්ලට ගනිමින් කරන එකම භූ-දේශපාලනික ක්‍රීඩාවක කොටස්ය.

තුර්කිය සහ රුසියාව යන දෙපාර්ශවයම සිරියානු ජනයාගේ දුක් පීඩාවන් ගණනකට නොගන්නවා පමණක් නොවේ; ඔවුන් ඉතාම සක්‍රීයව එම පීඩාවන් ගසා කමින් සිටී. මෙහිදී නෙත් පැහැර ගන්නා කාරණයක් නම් එකම දේශපාලන බලාධිකාරයක අනුවාදයන් දෙකක් ලෙස හැමවිටම පෙනී සිටින පුටින් සහ එර්දොගන් යන දෙදෙනාගේ සමරූපතාවයි; මේ දෙදෙනාගේ සම්මිශ්‍රිත චරිතය අපට “පුටොගන්” ලෙසින් හැඳින්විය හැකිය. 

වත්මන් අර්බුදයට වැඩියෙන් වග කිව යුත්තේ එර්දොගන්ද නැතහොත් පුටින්ද යන ප්‍රශ්නය විමසීමේ ක්‍රීඩාව අප නැවැත්විය යුතුය. දෙදෙනාම එක සේ දුෂ්ටය; ඔවුනට ලැබිය යුත්තේ ඔවුනගේ ගති සොබාවයට උචිත සැලකුම්ය; ඔවුන් තම අරමුණු ඉටු කර ගැනීම සඳහා මිලියන් ගණනක ජනතාවකගේ දුක් පීඩා අනුකම්පා විරහිතව භාවිත කරමින්ද රටක් විනාශ කරමින්ද  සිටින යුද අපරාධකරුවන්ය.

එක්සත් යුරෝපය වනසා දැමීමද ඔවුනගේ අරමුණු අතර වේ. තවද, ඔවුන් දැන් මෙය සිදු කරමින් සිටින්නේ ගෝලීය වසංගතයක සංධර්භය තුළය. අන් කවරදාටත් වඩා ගෝලීය සහයෝගීතාව වහාම අවශ්‍ය වී තිබෙන තත්ත්වයක් තුළය. මෙමගින් ඇති කෙරෙන භීතිය ඔවුන් තම මිලිටරි අරමුණු ඉටු කර ගැනීමේ මාධ්‍යයක් ලෙස භාවිත කරයි. යුක්තිය පිළිබඳ අවම හැඟීමක් හෝ ඇති ලෝකයක ඔවුන් සිටිය යුත්තේ ජනාධිපති මන්දිර තුළ නොව හේග්හි ජාත්‍යන්තර අපරාධ පිළිබඳ අධිකරණ ශාලාව තුළය.                   

කුණාටු තුනක් ඒකාබද්ධ වීමෙන් පරිසමාප්ත කුණාටුවක් තැනෙන්නේ කෙසේදැයි දැන් අපට විමසා බැලිය හැකිය. තුර්කිය විසින් සංවිධානය කෙරෙන සරණාගත රැල්ලක් මෙම කොරෝනා වසංගත කාලය තුළදී විශාල ව්‍යසනකාරී ප්‍රතිපල සහිත එකක් වනු ඇත. මේ දක්වා කොරෝනා වසංගතය සම්බන්ධයෙන් ඇති එක් යහපත් දෙයක් නම් (එය ගෝලීය සහයෝගීතාවක අවශ්‍යතාව ගැන අපව තියුණු ලෙස දැනුවත් කොට තිබේය යන මූලික කාරණයට අමතරව) එහි වගකීම සංක්‍රමණිකයන් හෝ සරණාගත ජනයා මත පටවනු ලැබ නොතිබීමයි. වර්ගවාදය වැඩි වශයෙන් ක්‍රියාත්මක වන්නේ තර්ජනය ප්‍රභවය ලබන්නේ ප්‍රාචීන අනෙකා කෙරෙන් යැයි සැලකීම තුළය (ශිෂෙක් මේ හඟවන්නේ චීනය කෙරෙහි එල්ල කෙරෙන චෝදනා බව පැහැදිලිය – පරිවර්තක).          
නමුත්, ඉහත කී අර්බුද දෙක එකිනෙක හා මිශ්‍ර වුව හොත්, සරණාගතයින් වසංගතය පැතිරීම හා සම්බන්ධ කොට දකිනු ලැබුවහොත්, එවිට ජනප්‍රිය වර්ගවාදීන්ට ඔවුනගේ ස්වර්ණමය යුගය උදා වනු ඇත (ඇත්ත වශයෙන්ම සරණාගතයින් කඳවුරු තුළ තදබදයක් සහිතව වාසය කරන බැවින් ඔවුන් අතර වෛරසය ආසාදනය වීම පැතිර යාමට වැඩි ඉඩක් තිබේ). එවිට වර්ගවාදීන්ට විදේශිකයින් පළවා හැරීම සාධාරණීකරණය කිරීමට “වෛද්‍ය විද්‍යාත්මක” හේතුවක් ලැබෙනු ඇත.

සරණාගතයින්ට ඉඩ සැලසීමේ සානුකම්පිත ප්‍රතිපත්තීන් පහසුවෙන්ම භීතියේ සහ කලබලකාරීත්වයේ ප්‍රතිචාර ජනනය කරනු ඇත. හංගේරියානු අගමැති වික්ටර් ඔර්බන් මෑතකදී කළ කතාවකදී සඳහන් කළ පරිදි, හංගේරියාව සමස්ත යුරෝපයටම අනුකරණය කරන්නට සිදු වන ආදර්ශය බවට පත් විය හැකිය (වික්ටර් ඔර්බන්ගේ හංගේරියාව යුරෝපා සංගමය තුළ ඉතාම දැඩි ලෙස සංක්‍රමණ-විරෝධී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන රාජ්‍යයකි – පරිවර්තක). 

මෙම ව්‍යසනය වළක්වා ගැනීම සඳහා කළ යුතු පළමු දෙය දැනටමත් කළ නොහැක්කකි; එනම්, යුරෝපයේ මෙහෙයුම්මය එක්සත් භාවය ශක්තිමත් කිරීම සහ විශේෂයෙන්ම ප්‍රංශය සහ ජර්මනිය අතර සම්බන්ධීකරණය වර්ධනය කිරීමය. යුරෝපය සරණාගත අර්බුදය සමග ගණුදෙණු කළ යුත්තේ එම එක්සත් භාවය මත පදනම් වීය.

මෑතක පැවති රූපවාහිනී විවාදයකදී  Die Linke (මෙහි අර්ථය “වම” යන්නයි – පරිවර්තක) නමැති ජර්මානු වාමාංශික පක්ෂයේ ප්‍රධාන චරිතයක් වන ග්‍රේගො ජීසි සංක්‍රමණ-විරෝධී කථිකයෙකුට කදිම පිළිතුරක් ලබා දුන්නේය; එම කථිකයා ආක්‍රමණශීලී ලෙස අවධාරණය කළේ “අප තුන්වන ලෝකයේ රටවල දරිද්‍රතාව සම්බන්ධයෙන් වග කිව යුතුය යන හැඟීම ඇති කර නොගත යුතුය” යන්නයි.

ඔහු තර්ක කළේ ඔවුනට උදව් කිරීමට මුදල් වියදම් කිරීම වෙනුවට තම රාජ්‍යයන් තමන්ගේ පුරවැසියන්ගේ සුභසාධනය පිළිබඳව පමණක් වග කිව යුතු බවයි. ජීසිගේ පිළිතුරේ හරය වූයේ යුරෝපයේ අප තුන්වන ලෝකයේ රටවල දුගී ජනයා පිළිබඳ වගකීම භාර නොගෙන ක්‍රියා කරන්නේ නම්, ඔවුනට යුරෝපය කරා පැමිණීම හැර අන් තෝරා ගැනීමක් නොමැති වනු ඇති බවයි. (ඒ සංක්‍රමණ-විරෝධී මනෝභාවය තුළ රෞද්‍ර ලෙස විරුද්ධ වන දෙයමය).           

යුරෝපය කරා පැමිණෙන සරණාගතයින්ව ඉවසීම සහ ඔවුනට සහයෝගීතාව දැක්වීම තදින්ම අවධාරණය කළ යුත්තකි. එය තීරණාත්මකය. ඒ අතරම සරණාගතයින් ගලා ඒම ආශ්‍රිත අපහසුතා සමග ගණුදෙණු කිරීමේදී ජීසිගේ තර්ක පිළිවෙල වඩා පලදායක වන සෙයකි. එය වියුක්ත මානව හිතවාදය වෙත හෝ උදාරත්වය වෙත ආයාචනා කිරීමට වඩා පලදායකය.

එසේම, දුගී රටවල පවතින දුක් පීඩා රැසක් නිර්මාණය වී ඇත්තේ යුරෝපීය වර්ගවාදයේ සහ යටත් විජිතවාදයේ ප්‍රතිපලයක් ලෙසින්ය යන ප්‍රතික්ෂේප කළ නොහැකි කාරණයෙන් පැන නගින වරදකාරී හැඟීමට ආයාචනා කිරීමට වඩා එය පලදායකය. පවත්නා ක්‍රමයම මානුෂික මුහුණුවරක් සහිතව පවත්වා ගැනීමේ තර්ක පිළිවෙලක් යනු කිසිවක්ම වෙනස් නොකරන ආකාරයේ මං මුළා වූ ක්‍රියා මාර්ගයකි. ඊට වඩා දෙයක් අද අවශ්‍යය.  

පරිවර්තනය: සුමිත් චාමින්ද  
Tags: