මේක බොරුවෙන් ඉපදුණු, බොරුවෙන් පාලනය ගෙන යන ආණ්ඩුවක් – JVP
- RSL
- May 26, 2020
- උණුසුම් පුවත්, දේශපාලන, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
කෙරෝනා වසංගතය හේතුවෙන් විවිධ අංශවලට අයත් සේවකයින් ලක්ෂ 11කට අධික පිරිසකගේ රැකියා අහිමි වීමේ අවධානමක් වර්ධන වෙමින් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (26) ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී හෙළි කළා.
වත්මන් ආර්ථික – දේශපාලන කාරණා ගැන ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය පැහැදිලි කරමින් සහ ආණ්ඩුවේ ක්‍රියා මාර්ග දැඩිව විවේචනය කරමින් අනුර කුමාර දිසානායක මහතා කළ කතාව කිසිදු සංස්කරණයකින් තොරව පහත පළ වෙනවා.
මේවෙලාවේ ආර්ථිකයේ මතුවී තිබෙන තත්වයත් එය තව තවත් පීඩාවක් බවට පත් කරමින් ආණ්ඩුව විසින් ගෙන තිබෙන තීන්දු පිළිබඳවත් අපේ විරෝධය පළකරමින් ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට අපේක්ෂා කරනවා.
මෙම වසංගත තත්වය හේතුවෙන් සාමාන්‍ය ජන ජීවිතය විශාල ලෙස අඩාල වීමකට ලක්ව තිබෙනවා. ජනතාවගේ ආදායම් මාර්ග ඇහිරී තිබෙනවා. ආදායම් මාර්ග විශාල ප්‍රමාණයක් කඩා වැටී තිබෙනවා. එදිනෙදා ජීවත්වීමට කරන ලද අවිධිමත් රැකියා විශාල ප්‍රමාණයක් අහිමි වී තිබෙනවා. මෙම තත්වය තුළ පොදුවේ රටේ ජනතාව ආර්ථිකමය වශයෙන් විශාල පීඩාවක්ට ලක්ව තිබෙනවා.
කර්මාන්ත ක්ෂේත්රයේ 25%කට රැකියා අහිමි විය හැකි බව දැනට සමීක්ෂණ වාර්තා මගින් එළිදරව් වී තිබෙනවා. 2018 රැකියාවල නියුක්ත වී සිටි ප්‍රමාණය දසමග සසඳා බැලුවහොත් එය 365,980ක්. ඒ අනුව 366,000 පමණ කර්මාන්ත ක්ෂේත්රයේ රැකියා අහිමි වීමේ අනතුරක් තිබෙනවා. ඒ වගේම ඉදිකිරීම් ක්ෂේත්රයේ 25%කට රැකියා අහිමි විය හැකි බව කියනවා. ආසන්න වශයෙන් 178,000කට රැකියා අහිමි වීමේ අනතුරක් තිබෙනවා. ඒ අනුව ගත්තොත් සියලු ක්ෂේත්රයන්හි මෙම වසර තුළ රැකියා අහිමි වීම 11,13,000 ඉක්මවන බවට වාර්තා ඉදිරිපත් වී තිබෙනවා.
මේ වන විටත් ඇඟලුම් ක්ෂේත්රයේ කාර්යාල හා සාප්පු ක්ෂේත්රයේ ලක්ෂ 2කට වඩා රැකියා අහිමි වී තිබෙනවා. උදාහරණයක් ලෙස ගත්තොත් මාස 06ට වඩා අඩුවෙන් වැඩකරන ලද බොහෝ අයගේ රැකියා නතරකොට තිබෙනවා. ඒ වගේම මෑන්පවර් ආයතන මගින් රැකියාවලට ගත් අයගේ රැකියා නතර කොට තිබෙනවා.
කොන්ත්‍රාත් පදනමින් ගත් අයගේ රැකියා නතර කොට තිබෙනවා. රැකියා කරන බොහෝ තැන්වල වැටුපෙන් අඩක් ලබා දෙන්න තීරෙණය කොට තිබෙනවා. වැඩකරන සේවක සංඛ්‍යාව අඩකින් අඩුකොට වැටුපින් අඩක් ලබාදීමට තීරණය කොට තිබෙනවා. එම නිසා රැකියාවල නියැළුණු බොහෝ අයගේ ආර්ථිකයට විශාල බලපෑමක් මේ වන විටත් සිදුවී හමාරයි. ඒ වගේම ගත්තොත් පාරේ එළවළු තබාගෙන විකුණූ. සැලුන් ආයතනයක් පවත්වාගෙන ගිය, ලොන්ඩරියක් පවත්වාගෙන ගිය සමාන්‍ය ආදායම් සහිත බොහෝ දෙනාගේ ආදායම් මාර්ග ඇහිරී තිබෙනවා. ජනතාව ඉදිරියේදී ජීවිතය පවත්වාගෙන යාමේ අනතුරකට මුහුණ දී සිටිනවා.
සහන දිය යුතු ජනතාවට ආණ්ඩුව බදු ගහනවා
දැන් ආණ්ඩුවක් විසින් කළ යුත්තේ කුමක්ද? මෙම පීඩාවට පත්ව සිටින ජනතාවගේ අත්‍යාවශ්‍ය භාණ්ඩ, ආහාරපාන, ඇඳුම්පැළඳාුම් ආදීය සාධාරණ මිලකට ලබාදීමට ආණ්ඩුව කටයුතු කළ යුතුව තිබෙනවා. නමුත් ආණ්ඩුව සිදු කරමින් තිබෙන්නේ, ජනතාවට සහන ලබාදෙනවා වෙනුවට එම පීඩාවට පත් ජනතාව තවත් පීඩනයට පත් කිරීමයි. ඒ වෙනුවෙන් ආණ්ඩුව නව බදු ප්‍රතිපත්තියක් එළිදක්වනු ලැබුවා.
විශේෂයෙන් අපි දන්නවා ලෝක වෙළඳපොළේ අඩුම අගයට බොරතෙල් හා පිරිපහදු කළ තෙල්වල මිල පහත බැස තිබෙනවා. මීට අවුරුදු 25-30ක් සංසන්දනය කර බැලුවොත් මේ වන විට අඩුම මිල වාර්තා වී තිබෙනවා. එහෙත් ආණ්ඩුව මිල අඩුවීමේ වාසිය ජනතාව ලබාදෙන්නේ නැහැ. අද ගත්තත් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල අනුව ආණ්ඩුවේ බදු ආදායමත් සහිතව හරි අඩක මිලකට ලබා දිය හැකිව තිබෙනවා. රු. 104ක් වූ ඩීසල් බදු ආදායමත් සහිතව හරි අඩකට ලබා දිය හැකියි. එහෙත් ඒ වෙනුවට ආණ්ඩුව කරමින් තිබෙන්නේ තව තවත් තෙල් මත බද්ද වැඩි කරමින් ජනතාවට ලබා දිය යුතු සහනය ආණ්ඩුවට ලබා ගනිමින් සිටීමයි.
තෙල් මිල අඩු වීමේ වාසිය ගසා කනවා
තෙල් මිල අඩුවීමේ වාසියක් ලැබුණොත් එය ආර්ථිකයේ සෑම ක්ෂේත්රයකටම පැතිරෙනවා. උදාහරණයක් ගත්තේ ධීවර කාර්මිකයන්ට එය සහනයක් බවට පත් වෙනවා. ගොවි ජනතාවට බිම සකස් කිරීම සඳහා උපයෝගී කර ගන්නා යන්ත්‍රසූත්‍රවලට තෙල් මිල අඩුවීම වාසියක් බවට පත් වෙනවා. පොදු ජනතාවට පොදු ප්‍රවාහන සේවා උපයෝගී කර ගන්නවා. තෙල් මිල අඩුවීමෙන් ප්‍රවාහන වියදමන් පංගුවක් ඉතිරි කරනවා. ඒ වගේම භාණ්ඩ හා සේවා බෙදාහැරීමේදී එම ආයතනවලට තෙල් මිල අඩුවීමෙන් වාසියක් සැලසෙනවා. ඒ වාසිය ජනතාවට ලබා ගත හැකියි. තෙල් මිල අඩුවීමේ වාසිය ජනතාව අතර පැතිරෙනවා. සත්‍යය වන්නේ එයයි. එහෙත් ආණ්ඩුව කරන්නේ ජනතාව පිළිබඳ කිසිදු සැලකිල්ලක් නොදක්වා එය ආණ්ඩුවේ අමතර ආදායමක් බවට පත් කරගෙන තිබෙනවා.
ඔබට මතක ඇති පසුගිය මාර්තු 17වැනිදා ගෝඨාභය රාජපක්ෂ ජනතාව ආමන්ත්‍රණය කර කිවුවා, තෙල් මිල අඩුවීමේ වාසිය සැමන් හා පරිප්පු මගින් ලබා දෙන බව. ඔහු අමුතු සූත්‍රයක් ඉදිරිපත් කළා. අපේ රටේ කාටවත් තෙල් මිලත් පරිප්ප හා සැමන් මිල අතරත් සබඳතාව තේරුම් ගන්න පුළුවන් වුණේ නැහැ. සැමන් ටින් එකක් රු. 100කටත් පරිප්පු කිලෝ එකක් රු. 65කට ලබා දෙන බවත් ඔහු කිවුවා. ඒත් අප්‍රේල් මාසයේ 30වැනිදා වනවිට දින 40ක් ඇතුළත එම පාලන මිල ඉවත් කළා. ඒවායේ මිල ගණන් නිදැල්ලේ ඉහළ යාමට ඉඩදුන්නා. ඒ නිසා රු. 130 පමණ ගාණකට පරිප්පුවල මිල ඉහළ ගියා. සැමන් ටින් එකක් රු. 230ක මිලක් දක්වා ඉහළ ගියා.
මෙසේ තිබියෙදී ආණ්ඩුව පසුගියදා, මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා විසින් නැවතත් පරිප්පුවලට රු. 10ක බද්දක් ඇතුල් කළා. සහනය ජනතාවට දෙනවා වෙනුවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මත පනවමින් සිටිනවා. ජනතාව ආහාරපාන අත්හරින්නේ අනිතිමටයි. පරිප්පු, සැමන්. බී ළුෑණු, සුදු ළුෑණු, අර්තාපල් ආදී අත්‍යාවශ්‍ය ආහාරපාන මිලදී ගන්නවා. ආණ්ඩුව ඒ අත්‍යාවශ්‍ය ආහාරපාන මත බදු පැනවීමට කටයුතු කළා. සුදු ළුෑණුවටල රු. 50ක්, සීනි කිලෝ 01ට රු. 50ක්, බී ළුෑණු කිලෝ 01ට රු. 50ක් ආදී විශාල ලෙස පැනවීමක් ආණ්ඩුව විසින් සිදු කළා.
බදු ගහලා දේශීය නිෂ්පාදන ගැන කතා කිරීම අලුත් දෙයක් නෙමේ
මේ බදු පැනවීම වෙනුවෙන් ප්රශස්ති ගායනා කළ අය කිවුවේ ආණ්ඩුව දේශීය නිෂ්පාදනය වැඩි කිරීම වෙනුවෙන් මෙම බදු පැනවීම් සිදු කර ඇති බවයි. මේක අලුත් දෙයක් නෙමෙයි. හැම ආණ්ඩුවක්ම අත්‍යාවශ්‍ය භාණ්ඩ මත බදු පැනවූවාට පසු කිව්වේ දේශීය නිෂ්පාදනය දිරි ගැනීම සඳහා ආනයන බදු වැඩි කරන ලද බවයි. උදාහරණයක් විදිහට පරිප්පු බදු වැඩි කිරීම කරන්නේ දේශීය පරිප්පු නිෂ්පාදනය වැඩි කරන්නද? අපි දන්නවා මයිසූර් පරිප්පු අපේ රටේ නිෂ්පාදනය කරන්නේ නැහැ.
කාට හරි තර්ක කරන්න පුළුවන් පරිප්පු වෙනුවට කව්පි, මුං ඇට වගේ භෝග වගා කළ හැකි බව. පරිප්පුවලට ආදේශ ලෙස එම ධාන්‍ය පාවිච්චි කළ හැකි බව. එහෙත් සැබැවින්ම සිදුවී තිබෙන්නේ කුමක්ද? 2018 වසරේ කවුපි කිලෝ ලක්ෂ 81ක් පිටරටින් ආනයනය කර තිබෙනවා. ඒ අනුව කවුපිත් ආනයන භාණ්ඩයක්. ඒ වගේම ලොකු ළුෑණුවලට බදු පැනවීම සිදු වන්නේ මෙරට අස්වැන්න නෙළන කාලයටයි.
කාට හරි කියන්න පුළුවන් එය සාධාරණ බව. එහෙත් අද මෙරට කිසිදු තැනක ලොකු ළුෑණු අස්වැන්නක් නෙළන්නේ නැහැ. අද දඹුල්ලේ ලොකු ළුෑණු වගා කරන අවස්ථාවයි. අස්වැන්න එන්නේ අගෝස්තු මාසයේදීයි. එසේනම් මේ බදු පනවන්නේ ලොකු ළුෑණු ගොවියා ආරක්ෂා කරගන්න නෙමෙයි. 2018 වසරේ ලොකු ළුෑණු මෙටි්රක් ටොන් 246,000ක් පිටරටින් ආනයනය කර තිබෙනවා. ඒ වගේම මිරිස් කුඩු සඳහා බදු පනවා තිබෙන්නේ මිරිස් ගොවියා ආරක්ෂා කරගන්නද? අපි දන්නවා වියළි කලාපයේ යල කන්නයේ මිරිස් වගා කරනවා. දැන් මිරිස් වගා කරන කාලයයි. එයට බදු පනවා තිබෙනවා. මේ බදු පැනවීමේ අරමුණ අපේ රටේ දේශීය නිෂ්පාදකයා දිරි ගැන්වීම නොමෙයි. ආණ්ඩුව තවත් බදු මුදල් එකතු කර ගැනීම වෙනුවෙනුයි.
රාජ්‍ය සේවකයින්ගේ වැටුප යළි ආණ්ඩුවට ගන්න හැටි
සීනි කිලෝවකින් ආණ්ඩුව තිබුණු බදුවලට තවත් රු. 50ක් එකතු කරගන්නවා. ළුෑණු කිලෝ 01ක් ගත්තොත් තිබුණු බදුවලට අමතරව තවත් රු. 50ක් ගන්නවා. ආණ්ඩුව උත්සාහ කරමින් තිබෙන්නේ, ආණ්ඩුව මුහුණ දී තිබෙන මූල්‍ය අර්බුදය ජනතාව මත පටවා එම මුදල් සෙවීමේ මාර්ගයක් බවට පත් කරගැනීමයි. මේ සඳහා ඔබට මතක ඇති ආණ්ඩුව උත්සාහයක් දැරුවා, රාජ්‍ය සේවකයින්ගේ වැටුපෙන් භාගයක් මේ මාසයේ ලබා දෙන්න කියලා. ඒ. භාණ්ඩාගාරයට මුදල් ඉතිරි කර ගැනීමටයි. එහෙත් රාජ්‍ය සේවකයින් ඒකට සුභදායී ප්‍රතිචාරයක් දැක්වූයේ නැහැ. ඒ නිසා ආණ්ඩුව ඔවුන්ගේ වියදම්වලින් භාගයක් තමන් අතට එකතු කර ගැනීමට තීරණය කොට තිබෙනවා, මෙම බදු බර පැටවීම වෙන කිසිවක් නෙමෙයි, පැහැදිලිවම මුදල් ඉපයීමේ මාර්ගයක්.
ඒ වගේම මේ දිනවල විදුලි බිල හා ජල බිල පිළිබඳව ප්‍රශ්නයක් මතුවී තිබෙනවා. මා සතුව තිබෙනවා, ජල බිල් කිහිපයක්. ඔහුට මාර්තු මාසයේ ජල බිල රු. 451යි. මාස දෙකක් ජනතාව නිවසේ රැඳවීම හේතුවෙන් අප්‍රේල් හා මැයි මාසයේ ජල බිල ඉහළ ගියා. හැබැයි ඔවුන් කළේ කුමක්ද? මාර්තු මාසයේ ජල බිලම අප්‍රේල් මාසයට දැම්මා. දැන් ඔවුන් මැයි දමාසයට බිලක් එවනවා රු. 7656ක් වශයෙන්. රු. මාර්තුවල රු. 451ක් ලෙස ගෙවූ බිල මැයි මාසයේ රු. 7656ක් වෙනවා.
ඔවුන් අප්‍රේල් මාසයේ වැඩිපුර පාවිච්චි කරන ලද ප්‍රමාණයත් මැයි මාසයට ඇතුල් කළා. අපි දන්නවා ජල බිල හදනකොට ඒකක 05කට වරක් අගයන් නියම වෙනවා. පළමු 05ට රු. 12ක් වගේ. ඊළඟ 05ට රු. 16ක් වගේ ආදී වශයෙන්. ඒ අනුව අප්‍රේල් මාසයේ පාවිච්චි කරන ලද ප්‍රමාණය මැයි මාසයට ඇතූළත් කළ විට එයාට අන්තිමට තිබෙන ඒකකයට රු. 148ක් වන අගයටත් ළඟා වෙනවා. ඒ නිසා රු. 7000කට වැඩි ජල බිලක් ලැබී තිබෙනවා. විදුලි බිලෙනුත් මේ ආකාරයේම වංචාවක් සිදුව තිබෙනවා.
ඒ නිසා ආණ්ඩුව විදුලි බල මණ්ඩලය හා ජල සම්පාදන මණ්ඩලය උපයෝගී කර ගෙන ජනතාවට විශාල බරක් දෙමින් ජනතාවගේ මුදල් එකතු කරගැනීමට කටයුතු කරමින් සිටිනවා. මේ ආන්ඩුව මුදල් එකතු කරන දෙවැනි උපක්‍රමයයි. තෙවැන්නක් තිබෙනවා.
අපි දන්නවා කොරෝනා වසංගත තත්වය හේතුවෙන් සෞඛ්‍ය සේවයේ නිලධාරීන් රාජ්‍ය සේවය තුළ විශාල කැපකිරීම්ක් කරන ලද කොටසක් වුණා. ඔබ දකින්න ඇති මහනුවරදි. වලස්මුල්ලෙදි තවත් ස්ථාන ගණනාවකදි අපේ රටේ හෙද නිලධාරීන් පාරට බැස උද්ඝෝෂණය කරමින් සිටිනවා. රෝහලේ පැය 18 විතර වැඩකරමින් සිටි කෙනා, වසංගතය පැරදවීම වෙනුවෙන් තමන්ගෙ ජීවිතය පරදුවට තබා වැඩ කළ කෙනා තමන්ගේ ඉල්ලීම් ඉල්ලා පාරට බහිනවා. ඒ තමන්ගේ සාධාරණ ඉල්ලීම් ලබා නොදෙන බව කියමිනුයි. ඔවුන් විසින් කොරෝනා තත්වයට පෙරදී කල සේවාවන්ට අදාළ ගෙවීම් පවා නතර කර ඇති බවට චෝදනා කෙරෙනවා. ආණ්ඩුව රාජ්‍ය සේවකයන්ට හිමිව තිබූ දීමනා කප්පාදු කිරීමෙන් මුදල් සොයමින් සිටිනවා.
භාණ්ඩාගාරය හිස්වීමේ ප්‍රතිඵල ජනතාව මත
ආණ්ඩුව භාණ්ඩාගාරය හිස්වීමේ ප්‍රතිඵල ජනතාව මත පටවමින් තිබෙනවා. එහෙත් එය ජනතාව මත පටවන ගමන් ආණ්ඩුව තමන්ට කොමිස් මුදල් සොයාගැනීම, මුදල් යටිමඩි ගසා ගැනීම වෙනුවෙන් විශාල ව්‍යාපෘති ගණනාවක් අරම්භ කර තිබෙනවා.
පසුගියදා රු. ලක්ෂ 80,000ක් දී පිට්ටනියක් සෑදීමට යෝජනා කළා. ඒ වගේම ලක්ෂ 3000ක් දී වාහන 28 ගෙන ඒමට යෝජනා කරනවා. මේවා කැබිනට් මණ්ඩලය ගත් තීරණයි. පිට්ටනිය ඉදි කිරීමත් කැබිනට් මන්ඩලයේ තීරණයක්. බදු ගැසීමත් කැබිනට් මණ්ඩලයේ තීන්දුවක්. ඒ කැබිනට් මණ්ඩලයම දශ ලක්ෂ 31,000ක පාරවල් ඉදිකරන්න තීරණය කරනවා. ඒ කැබිනට් මන්ඩලයම ඩොලර් බිලියන 05ක අධිවේගී මාර්ගවලට වෙන් කරනවා.
මෙම සති 03 ඇතුළත කැබිනට් මණ්ඩලයක් විසින් ලංකාවේ මෙතෙක් වියදම් කරන ලද වැඩිම මුදල් ප්‍රමාණය වියදම් කිරීමට තීන්දුවක් ගෙන තිබෙනවා. විශාල ඉදිකිරීම් කියන්නේ විශාල කොමිස්. විශාල ලෙස අයථා මුදල් උපයා ගැනීමේ ක්‍රියාමාර්ග. මෙවැනි ව්‍යසනයක් හමුවේත් ආණ්ඩුව එය අත්හැර නැහැ.
මේ කැබිනට් මණ්ඩලය ඡන්දෙට රාජ්‍ය අමාත්‍යවරුන්ට වාහන කලියට දෙන්න තීරණය කළ බව හඳුන්නෙත්ති සහෝදරයා පසුගියදා ඉදිරිපත් කළා. රු. ලක්ෂයකට වාහනයක් ලබා දෙනවා. අපි බැලුවා වී 8 ජීප් රථයක් කුලියට දෙන ආයතනවලින් මසකට රු. ලක්ෂ 31/2ක් වෙනවා. හැබැයි ආණ්ඩුව එය රු. ලක්ෂයකට ලබා දෙනවා. එතනදී රාජ්‍ය අමාත්‍යවරයෙකුට ලක්ෂ 21/2කට වැඩි අතිරේක ලාභයක් ලැබෙනවා. ලක්ෂ 02කට ආසන්න ඉන්ධන දීමනාවක් දෙනවා. මේ පැත්තෙන් පරිප්පුවලට, ළුෑණුවලට බද්ද අනුමත කරන කැබිනට් මණ්ඩලය රාජ්‍ය අමාත්‍යවරුන්ට ලක්ෂ 41/2ක පමණ අමතර ආදායම් ලබා දීමේ මාර්ග හදා දෙනවා.
පසුගිය සති 03ක කැබිනට් මණ්ඩල ඉතිහාසයේ වැඩිම මුදල් වියදම් කිරීමට තීරණය කළා. මේ විශාලතම යටිමඩි ගසා ගැනීම්වලටයි. ආණ්ඩුවේ තිබෙන්නේ දෙබිඩි බවක්. ජනතාවට අසීමිත බදු බර පටවන ගමන් තමන්ට වරප්‍රසාද දිනා ගන්න, තමන්ට කොමිස් උපයා ගැනීම සඳහා විවිධ ව්‍යාපෘති අනුමත කරන පාලනයක් බවට ඔවුන් පත්වී තිබෙනවා.
සැබැවින්ම මේ පාලනය බොරුවෙන් උපන්, බොරුවෙන් යැපෙන බොරුවෙන්ම අවසන් ගමන් යාමට නියමිත ආණ්ඩුවක්. රු. 5000 දීමනාව ගැන මැතිවරණ කොමිසමේ සභාපති ලිපියක් යවපුවාම එහි දේහපාලන ඉවත් කරන්න කියලා ඒක අර්ථකථනය කරනවා රු. 5000 නොදී ඉන්න කිව්වා කියලා. අපිත් කිව්වලු කියලා. ඔවුන් කොතැනද ඇත්ත කියලා තිබෙන්නේ? මේක බොරුවෙන් ඉපදුණු, බොරුවෙන් පාලනය ගෙන යන ආණ්ඩුවක්.
එම නිසා අපේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ ආර්ථික පීඩනය හමුවේ තමන්ට එල්ල කරන පීඩනයට එරෙහිව ඔබ ඉදිරියට පැමිණිය යුතුව තිබෙනවා. දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපි සූදානම්, ආණ්ඩුවට කිසිසේත් හොරකම් කිරීමේ, කොමිස් ගැසීමේ අරමුණු සහිතව දියත් කර තිබෙන යෝජනාවලට විරුද්ධ වෙන්න. ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ග ගන්න අපි සූදානම්. විශේෂයෙන් අපි නැවතත් අවධාරණය කරන්නේ මේ රටේ ජීවත් වන දුප්පත් ජනතාව විශාල පීඩාවකට පත්ව සිටිනවා. මාර්තු 01වැනිදා සිට වතුකරේ ජනතාවට රු. 1000ක් දෙන බව කියා තිබුණා, අද ඒ ගැන කථාවක්වත් නැහැ. මෙම පීඩාවට පත් වන සියලු ජනකොටස් පීඩනයට එරෙහිව ඉදිරියට පැමිණිය යුතු යැයි අපි අපේක්ෂා කරනවා.

