මිහිතලය සුරැකීම හදිසි අවශ්‍යතාවක් !

Spread the love

පහත දැක්වෙන්නේ සෝවියට් සංගමයේ හිටපු ජනපතිවරයෙකු වූ මිහයීල් ගොර්බචොෆ් පසුගියදා “Green Cross” නමැති ලාභ නොලබන සංවිධානය සමග පැවැත්වූ සම්මුඛ සාකච්ජාවක සංක්ෂිප්ත පරිවර්තනයකි. මෙහි මාතෘකාව වූයේ “මිහිතලය සුරැකීමේ හදිසි අවශ්‍යතාව” යන්නයි. 

“වඩාත් වැදගත් කාරණය වන්නේ සංකීර්ණ වූත් වේගයෙන් වෙනස් වන්නා වූත් සංවර්ධනය වන්නා වූත් අපගේ ලෝකය සාමකාමීව පවතින බවට වග බලා ගැනීමයි. එසේ නොවුවහොත්, අපට සෙසු කිසිදු ගැටළුවක් සමග ගණුදෙණු කිරීමට නොහැකි වනු ඇත. යුද අවි තරඟයේ, හමුදාකරණයේ… කවර හෝ පුනර්ජීවනයක් ඇති වීම අප වැළැක්විය යුතුය. සාමය නොමැති තැන කිසිවක්ම නොපවතිනු ඇත.”   

“ජාත්‍යන්තර ප්‍රජාව සම්බන්ධයෙන් ගත් කල්හි, 2008-2009 දී ලෝකයට අභිමුඛ වූ මූල්‍ය අර්බුදය සමග අප ඉතාම දුෂ්කර කාල පරිච්ජේදයක් අත් දැක ඇත්තෙමු; මගේ හැඟීම නම් අප තවමත් මේ ගෝලීය අර්බුදයෙන් පිටතට පැමිණ නොමැති බවයි.”  

“එය හඳුන්වනු ලැබ ඇත්තේ මූල්‍ය අර්බුදයක් ලෙසිනි. නමුත්, මගේ අදහස වන්නේ එය විස්තීර්ණ ගෝලීය අර්බුදයක් බවයි. තවද, එය අපට පෙන්වා දුන්නේ ප්‍රායෝගිකව ගත් කල සියලු රටවල, විශේෂයෙන්ම එක්සත් ජනපදය වැනි විශාල රටවල, සෑම ක්‍රමයකටම පාදක වී තිබෙන ආර්ථික මොඩලය අසාර්ථක වී ඇති බවයි.”    

“මේ මොඩලය අවශ්‍යයෙන්ම අපව වත්මන් අර්බුදය කරා රැගෙන විත් ඇත. ඉදින්, එබැවින්, අප මේ ආර්ථික මොඩලය වෙනස් කළ යුතුය. අපට නව ආර්ථික මොඩලයක් තදින්ම වුවමනා වී තිබේ…එය අධික ලාභය සහ අධික පරිභෝජනය මත පදනම් වූවක් නොව සොබාවික සම්පත් ක්ෂය වී යාම සැලකිල්ලට ගන්නා මොඩලයක් විය යුතුය. එය ලෝකයේ පවත්නා සමාජ සංවර්ධනය, දුගී දුප්පත්කම සහ සමාජ ප්‍රතිවිරෝධතා ආශ්‍රිත ගැටළු නොතකා හරින්නක් නොවිය යුතුය…”     

“ප්‍රධාන කාරණය වන්නේ මේ මොඩලය සොබාවික පරිසරයේ ඉල්ලීම් සැලකිල්ලට නොගන්නේ නම්, එය අසමත් වී යනු ඇති බවයි. මෙය අවශ්‍ය වන්නේ අනාගතය සඳහා නොවේ; මෙය අද දවස සඳහා කළ යුතුම දෙයකි. අපට තව දුරටත් පාරිසරික ගැටළු නොතකා හරිමින් ජීවත් විය නොහැකිය. මිහිතලය මත ඇත්තේ දරා ගත නොහැකි බරකි.” 

“2011 වර්ෂයේදී ගෝලීය ජනගහණය බිලියන 7 ට ලඟා විය. විසි වන සියවසේ ආරම්භයේදී මිහි මත විසුවේ බිලියන 1.9 ක ජනගහණයක් පමණි. දැන් අප බිලියන් 7ක් බවට පත්ව ඇත. 2050 වර්ෂය වන විට එය බිලියන 9 ක් වනු ඇත. දැනටමත් මිහිතලයට දැරිය හැකි ප්‍රමාණය බොහෝ ඉක්මවා ගොස් තිබේ.”   

“අපට ජනතාව සඳහා ප්‍රමාණවත් පිරිසිදු ජලය නොමැත. ජලයේ හිඟතාව විවිධ යුද ගැටුම්වලට මග පාදයි. අප ජල ගැටළුව නොවිසඳුවහොත් එසේ සිදු වන බව මට සහතිකය. බල ශක්තිය සහ ආහාර සුරක්ෂිතතාව ඇතුළු සෙසු අභියෝග ගැනද කිව යුත්තේ එයමය.”       

“අද දිනයේ බිලියන් ගණනක් ජනයා කුසගින්නට ලක්ව ඇත. ඉදින්, නව මොඩලය මේ සියලුම අවශ්‍යතා සැලකිල්ලට ගත යුතුය. මේ මොඩලය වඩාත් මානුෂීයද වඩාත් සොබාදහම දෙසට හැරුණු එකක්ද විය යුතුය. මිනිසා සහ සොබා දහම අතර සම්බන්ධයට නූතන ලෝකයේ අභියෝගවලට ප්‍රතිචාර දැක්විය හැක්කේ එවිටය.”       

“අවම වශයෙන් නොවූවද අවසන් වශයෙන් කිව යුත්තේ ගෝලීයකරණය සමග ජීවත් වන්නේ කෙසේදැයි අප ඉගෙනගෙන නොමැති බවයි. අප සියලු දෙනාම අන්තර්-සම්බන්ධිතව සිටියද අප ක්‍රියා කරමින් සිටින්නේ අප මුළුමනින්ම ස්වායත්තව සිටින්නාක් සේය…

අපට මේ නව මොඩලය වුවමනාය. අප එවන් නව මොඩලයක් නිර්මාණය කර ගැනීම සඳහා අපගේ සියලු සම්පත් ගොණු කළ යුතුය. තවද, අප මේ සියලුම නව ගැටළු පර්යේෂණයට ලක් කිරීම සඳහා මුදල් වැය කළ යුතුය. අප මේ ප්‍රශ්න ආමන්ත්‍රණය කිරීම සඳහා මිනිස් වර්ගයා සතුව ඇති සියලුම සම්පත් ඒකරාශී කළ යුතුය.” 

පරිවර්තනය: සුමිත් චාමින්ද  

Tags: