මල් විතරයි – ගෙඩි නෑ: කටු අනෝදා ගස්වලින් ‘ඉහළම ඵලදාවක් ලබා ගන්න’ මෙන්න විද්‍යාත්මක ක‍්‍රමය

Spread the love

අතින් පරාගනය කිරීම ‘කටු ආත්තා’ වල ගෙඩි ඇදවීමට විසඳුමක්

පසුගිය සතියේ පළවූ පුනර්ජනනීය කප්පාදුව පිලිබඳ විස්තරය නතර කරනු ලැබුවේ රඹුටන් ගසක් අසලදීය. ඇටයක් පැලවීමෙන් සෑදුනු ගතිගුණ නොදන්නා රඹුටන් ගස ඇතැම් විට කිසිදාක ගෙඩි නොසෑදෙන, මල් පමණක් සෑදෙන පිරිමි ශාකයකි. නොඑසේනම් මදය නිසිලෙස ඇටයෙන් වෙන් නොවෙන, ඇඹුල් රසැති ගෙඩි පලගන්නා ගසකි. මෙම ශාකයේ පුනර්ජනන කප්පාදුවකින් පසු, ඔබගේ හිතට හරියන රඹුටන් වර්ගයක් එයට බද්ධ කරගන්නා ආකාරය දැන් හඳුනාගනිමු.

අතු නොබෙදී ඉහලට වැඩුණු කඳෙහි ඔබට ගැලපෙන උසකින් V හැඩ කැපුමක් කර කඳෙහි දැව පෙත්තක් ඉවත් කරන ඡායාරූපයක් ගැන පෙරදා විස්තරයේ සඳහන් කලත්, යම් තාක්ෂණික දෝෂයක් නිසා එය එදින පලවී තිබුනේ නැත. මෙවර විස්තරයේ පලවෙන්නේ එම රූපයයි. එම කැපුමට පහලින් මෙතෙක් කල් අක්‍රියව තිබූ අංකුර වහ වහා ක්‍රියාත්මකවී රිකිලි ලියලනු නොබෝ දිනකින් දැකිය හැකිවේවි.

ශාකයේ ඉදිරි වර්ධනයට භූමියේ ඉඩ ඇත්තේ කුමන දිශාවකටදැයි තීරණය කරගෙන, ඒ දෙසට යන රිකිලි කීපයක් (තුන හතරක්) ඉතිරි කරගෙන අනෙක්වා ඉවත් කර, වැඩෙන රිකිලි වලට තව තවත් දිරිය දිය යුතු වේ. මෙම රිකිලි අඩු තරමින් පැන්සලකට වඩා මහත්වී ඇත්නම් ඒවා බද්ධ කිරීමට සුදුසුය. රඹුටන් වලට වඩාත් උචිත වන්නේ පැච් බද්ධයයි. ශාකයේ නඩත්තුවට ප්‍රමාණවත් කොලදාවක් තිබෙන්නේයැයි හැඟෙන්නේ නම්, V හැඩ කැපුමේ ඉතිරි කොටසද සම්පූර්ණ කර පැරණි කඳ දැන්  මුළුමනින්ම ඉවත් කිරීමට කාලය හරි. එය කලයුත්තේ බද්ධ කිරීමට පෙරාතුවයි.        

ගෙඩිවල පැහැය, රස, විශාලත්වය අනුව ඔබ විසින් තෝරාගන්නා ලද මව් ගසෙන් අත්තක් රැගෙනවිත්, පැච් බද්ධය කල යුත්තේ පළපුරුදු බද්ධ කරුවෙකු විසිනි. මන්දයත් පොතු කැබැල්ල අත්තෙන් ඉවත් කරගෙන ඉතා කඩිනමින් බද්ධ කිරීමේ කටයුතු අවසන් කලයුතු නිසාය. පැරණි ශාකයේ ඉතිරි කරගත්තේ රිකිලි හතරක් නම්, වර්ග හතරක රඹුටන් ඒවාට බද්ධ කරමින්, රඹුටන් සැණකෙළියක් මවාපාන විසිතුරු ගසක් වුවද නිර්මාණය කරගැනීමට ඔබට හැකියාව තිබේ.

බද්ධකල ලපටි රිකිලි ලියලද්දී ඒ මත වැටෙන හිරුරැස් දැඩියයි සිතෙන්නේ නම් දින කීපයකට සුළු සෙවනක් ලබාදීමට කටයුතු කරන්න. මෙතැන් සිට තම සිතැඟි පරිදි ගැලපෙන උසකට, සුදුසු දිශාවන්ට අතු විහිදුනු, ලස්සන රඹුටන් ගසක්, නිර්මාණය කරගැනීම ඔබගේ වගකීමයි. මේ සඳහා ප්‍රධාන කඳෙන් නැවත නැවතත් ලියලා එන, මුල් ශාකයේ රිකිලි ඉවත්කිරීමට කීපවරක්ම ඔබට සිදුවේවි. පුනර්ජනනය වූ ශාකයේ පල හටගන්නේ අත පෙවිය හැකි මානයේය. ඒ නිසා රඹුටන් කෑමට ගසවෙත පැමිණෙන සතුන්ගෙන් ආරක්ෂා කරගැනීමත්, අස්වැන්න නෙලීමත්, විසඳිය නොහැකි අභියෝග වන්නේ නැත.

දිවුල්, බෙලි ආදී පලතුරු ගස්වල පලදාව නම් මෙවැනි සතුන්ගෙන් හානි පැමිණෙන ඒවා නොවේ. ඒ නිසාම පැසුණු ගෙඩි ගසෙහිදීම ඉදී වැටෙනා තුරු පල නෙලීමේ උනන්දුවක්ද වගාකරුට නැත. එසේනම් එවැනි ගසකට කුමටද පුනර්ජනන කප්පාදුවක්? මෙවැනි ශාකයකට එය අවශ්‍ය වනුයේ ගසෙහි කිරුල ඔබගේ භූමියේ අවකාශයට සුදුසු පරිදි සකස්කර ගැනීමටයි. වැඩි අවකාශයක පැතිරී තිබෙන විශාල ගසකින් ලබාදෙන පලදාවම, කුඩා ඉඩක් අත්කරගෙන ජීවත්වෙන ශාකයකින් ලබාදෙන්නේ නම්, ඉතිරි ඉඩකඩ තවත් ගස් කීපයකට වෙන්කර දීමට ඔබට හැකිවේවි. ඒ නිසා අතට හසුවෙන මානයේ පලදැරීම අනිවාර්ය නොවන බෙලි, දිවුල් වැනි ශාකවලටද මෙම කප්පාදුව ආදේශ කිරීමෙන් ප්‍රයෝජනයක් අත්වේ.

අප අතර මෑතක සිට ජනප්‍රිය වෙන තවත් පලතුරු වර්ගයකි අනෝදා. ‘කටු ආත්තා’ සේ හැඳින්වෙන Annona muricata පිළිබඳව වාර්තාවෙන රෝග නිවාරණ ගතිගුණ හේතුවෙන් ඒ වෙනුවෙන් ලොකු ඉල්ලුමක් ගොඩනැගී හමාරය. පුනර්ජනන කප්පාදුව පිලිබඳ මේ ලිපි කියවන පාඨකයෙක් පසුගියදා මා වෙතින් විමසා සිටියේ ඔහුගේ ගෙවත්තේ තිබෙන ‘කටු ආත්තා’ ගසෙහි ගෙඩි හටගැනීම ඉතා කලාතුරකින් සිදුවන්නේ මන්ද යන්නයි.

“මල් හැදෙනවා, සේරෝම වගේ වේලිලා වැටෙනවා. ගෙඩියක් සෙට් වෙන්නේ ඉතා කලාතුරකින්” ඔහුගේ පැමිණිල්ලේ සාරාංශය එයයි. අනෝදා මල්වල පරාගනය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයක් ඇති බවත්, කෘතිමව අතින් පරාගනය කලයුතු බවටත් මා දුන් පිළිතුරට හෙතෙම සිත යටින් සිනහ වන්නට ඇත. ඔහු සඳහන් කල ශාකය ඉතා උසට වැඩුන එකකි. එවන් තැනකට මගේ පිළිතුර ප්‍රායෝගික විසඳුමක් නොවන බවද සැබෑවකි.

එහෙත් වරද කරගෙන ඇත්තේද වගාකරු විසින්මය. වරද නිවැරදි කරගැනීමේ ක්‍රමවේදයද පුනර්ජනනීය කප්පාදුවයි. අනෝදා යනු ඉතා පහසුවෙන් පුනර්ජනනීය කප්පාදුවකට හසුකර ගතහැකි ශාකයකි. ක්‍රමවේදය අඹ ගස වෙනුවෙන් දුන් විස්තරයට සමානය. අලුතින් සෑදෙන අතු තමාට ලංවිය හැකි උසකට පවත්වා ගැනීමෙන් කෘතිම පරාගනයද සාර්ථක කරගත හැකිවේ.

අනෝදා වනාහී කෘමි සතුන් මගින් පරාගනය වන පලතුරකි. තම නිජබිම වන මධ්‍යම ඇමරිකානු කලාපයේ නම් පරාගනයට හවුල්වෙන කුඩා කුරුමිණි විශේෂයන් සිටියත්, දැනට වාණිජව අනෝදා වවන රටවල් තුල මෙම පරාගන හවුල්කරුවන් දක්නට ලැබෙන්නේ ඉතා අඩුවෙන්ය. ඒ නිසා අනෝදා වලින් හොඳ පලදාවක් ගන්නට කෘතිම පරාගනය සිදුකල යුතු අතර ඒ සඳහා ගසේ මල්, අතේ දුරින් තිබිය යුතුවේ.

පැරණි ගස් ඇත්නම් පුනර්ජනන කප්පාදුවක් අවශ්‍ය වන්නේ එබැවිනි. ලක්ෂණ මිශ්‍ර වෙමින් පරිනාමයේ ඉදිරියට යාමේ අභිලාෂයට කීකරුවීමේ ප්‍රතිපලයක් වශයෙන්, අනෝදා මල හැඩගැසී ඇත්තේ පරපරාගනයටයි. එනම් තමාගේම පරාග වලින් කටයුතු අහවර කිරීමට ශාකය කැමති නැත. මේ නිසා මලෙහි ස්ත්‍රී කොටස් හා පුරුෂ කොටස් පරිනතිය ලබන්නේ අවස්ථා දෙකකදීය.

පළමුව පුෂ්පයේ පෙති යන්තම් විවෘත වෙත්දී ස්ත්‍රී කොටස් පරාග ලබාගැනීමට සූදානම්ව සිටින අතර එම පුෂ්පයේම තිබෙන පරාග ඒ වනවිට මෝරා නැත. ඒ නිසා පරාගනය විය යුත්තේ පිටින් පැමිණෙන පරාග වලිනි. ඒවා ගෙන එන්නට කෘමීන් හිඟ නම් ඉදිරි ගමන වැළකී යයි. තවත් දිනකට අඩු කාලයකදී කලින් කී මලෙහි පරාගද මෝරයි. පෙති ත්‍රිත්වයද හොඳින් විවෘත වේ. ඒ තමා සතු දෑ පිටතට නිකුත් කිරීමට ඇති කැමැත්ත නිසා විය හැකිය. එසේ වුවත් ඒ වනවිට මීට පැය කීපයකට ඉහතදී පරාග හා දැවටීමට ආසාවෙන් සිටි පුෂ්පයේ ස්ත්‍රී කොටස් වියලී ගොසිනි! එසේනම් නිපදවන පරාග යා යුත්තේ වෙනත් මලක් වෙතටයි. පරාගනය නොවුවානම් මලෙහි ඉදිරි ඉරණම වන්නේ වියලී හැලීයාමයි.

උසට වැඩුණු අනෝදා ගස පුනර්ජනන කප්පාදුවකින් පසු අතට හසුවන මානයේ මල් හටගන්නා තත්වයේ ඇත්නම්, කලින් කී පාඨකයාගේ කනස්සල්ල අකාමකා දැමීමට එය හොඳටම ප්‍රමාණවත්ය.

ඔහු පළමුව කල යුත්තේ කුඩා පීරිසියක් හෝ කුප්පියක් වැනි දෙයකට පරාග එකතු කිරීමයි. හොඳින් විවෘත වූ මල් වෙතට පීරිසිය තබා සෙමින් මල සෙලවීමෙන් පරාගධානිත් සමගම පරාග එයට වැටේ. මේ වනවිට කලින් කී පරිදි පුෂ්පයේ ස්ත්‍රී කොටස් වියලී ඇත. එහෙත් ඇතැම්විට එම මල් අප එතැනට පැමිණෙන්නට පෙර පරාගනය වූ ඒවා වන්නටද පුළුවන. ඒ නිසා ඒවා කඩා නොදමන්න. අස්වැන්න ලෙස පරාග නෙලාගත් බව දැනගැනීමට මලෙහි එක පෙත්තක භාගයක් කපාදමා සලකුණක් තබා යන්න.

දැන් චිත්‍ර අඳින්නට භාවිතා කරන කුඩාම පින්සලක් ගෙන එහි පරාග තවරා, යන්තම් විවෘත වී ඇති මලක පෙති ත්‍රිත්වය තව ටිකක් පළල කර, පින්සල එහි මැද පතුලට යවා වරක් දෙකක් තවරා පිටතට ගන්න. මේ මලෙහි පරාග තවම පරිනතව නැත. එහෙත් ස්ත්‍රී කොටස් පරිනතය. පරාග ලබා ගන්නා බුබුලාකාර කලංකය පිහිටන්නේ මලෙහි මධ්‍යස්ථ පතුළේය. අප පරාග තැවරුවේ එතැනයි. කෘතිමව පරාගනය කල බව සලකුණු කිරීමට පෙති දෙකක භාගා කපා දමන්න. මෙවැනි මලක් පසු අවස්ථාවකදී පරාග එකතුකිරීමටද යොදාගත හැකි බව ඔබට දැන් වැටහෙනවා ඇත.

කලංකය මත පරාග හොඳින් සමාකාරව තවරුනහොත් ඩිම්බ වැඩි ගණනක් සංසේචනය වී අනෝදා ගෙඩියේ බීජද විශාල ගණනක් සෑදේවි. බීජ වැඩි වෙන තරමට මදයේ රස හා සුවඳද වැඩිවෙනු ඇත.

අනෙක් කරුණ නම් හොඳින් පරාගනය වූ විට, ඩිම්බකෝෂය ඒකාකාරව මහත්වී සමමිතික අනෝදා ගෙඩියක් සෑදීමයි. කලංකයේ එක පැත්තක පමණක් යන්තමට පරාග තවරුනහොත්, ඩිම්බකෝෂයේ ඊට අදාළ පැත්තේ තිබෙන ඩිම්බ පමණක් සංසේචනය වී, බිත්තිය මහත්වී හොඳින් මාංසල වන්නේ ඒ පැත්ත පමණි. අනෙක් පැත්ත එතරම් සරුවට මාංසල වී මදයෙන් පිරෙන්නේ නැත. බොහෝ ‘කටු ආත්තා’ ගෙඩි ‘ඇදවී’ ඇත්තේ මේ හේතුවෙනි. එනම් ස්වභාවික පරාගන සිරිතේ දුර්වලතාවය නිසා මල් පරාගනය වී ඇත්තේ යන්තමිනි.

පුනර්ජනනීය කප්පාදුවක් හරහා පලතුරු ශාකයක් අපේ පාලනයට නතුකර ගැනීමේ වැදගත්කම දැන් පැහැදිලිය. පලදාව රැකගැනීම, වැඩි පලදාවක් ලබාගැනීම, තමාට කැමති ප්‍රභේද නිපදවා ගැනීම, භූමිය උපරිම කාර්යක්ෂමතාවයෙන් භාවිතා කිරීම පමණක් නොව වැඩි වෙළඳ ආකර්ෂණයක් ලැබෙන ආකාරයට ගෙඩියේ හැඩය වෙනස් කිරීම වැනි දෙයට පවා ඉවහල් වෙන, පලතුරු ගස් කළමනාකරණය කිරීමේ මෙවලමකි, පුනර්ජනනීය කප්පාදුව!! ඔබේ ගෙවත්තේ පැරණි පලතුරු ගස්වලටත් එය ආරෝපණය කරන්න. 

සනත් එම්. බණ්ඩාර

Tags: