මයික් පොම්පෙඕ කොළඹදීම චීන මකරව කුපිත කළේ ඇයි ?
- RSL
- October 28, 2020
- පුවත් සහ වාර්තා, විදේශීය
- featured
- 0 Comments
ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕගේ සංචාරය තුළ දී එම්සීසී හා සෝපා ගිවිසුම් පිළිබඳව මෙන්ම ප්‍රදානයක් ලෙස ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට වෙරළාරක්ෂක නෞකාවක් පිරිනැමීම, පෞද්ගලික අංශයේ ආයෝජන කිහිපයක් හා ශ්‍රී ලංකාව සමග ආරක්ෂක සහයෝගිතාව පිළිබඳ සාකච්ඡා කෙරුණු බව නිලධාරීහු පැවසූහ.
සිය සංචාරය අවසානයේ, විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සමග ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වූ ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා සඳහන් කළ කරුණු මෙසේ ය.
මාධ්‍ය හමුවට එක්වූ ජනමාධ්‍යවේදීහු, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා හට ඇමෙරිකා එක්සත් ජනපදය විසින් පනවන ලද සංචාරක තහනම පිළිබඳ රාජ්‍ය ලේකම්වරයාගෙන් විමසූහ.
“එය එක්සත් ජනපදයේ නීතිමය ක්‍රියාවලියක් වන අතර එය සැමවිටම සමාලෝචනය කෙරෙනවා. එය තාක්‍ෂණිකව, සත්‍ය වශයෙන්ම සහ නීත්‍යානුකූලව නිවැරදි බව තහවුරු කර ගැනීමට අපට අවශ්‍යයි,” යන්න ඔහුගේ පිළිතුර විණි.
මයික් පොම්පෙඕ පෙබරවාරි මාසයේදී තම ට්විටර් සටහනක් තබමින් පවසා තිබුනේ “යුද අපරාධ සිදු කරන සහ මානව හිමිකම් උල්ලංඝනය කරන අයට වගවීම සඳහා එක්සත් ජනපදය නොසැලී සිටියි.”
ශ්‍රී ලංකා යුදහමුදාපති ශවේන්ද්‍ර සිල්වා හට එක්සත් ජනපදයට ඇතුළුවීමට නොහැකිවන පරිදි සංචාරක තහනමක් පනවන්නේ ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේදී නීති විරෝධී ඝාතනවලට ඔහු සම්බන්ධ වීම හේතුවෙන් බව එහි වැඩිදුරටත් දැක්විණි.
කෙසේවෙතත්, “වගවීම, යුක්තිය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව එහි පූර්ණ හා අර්ථවත් පියවර ගනු ඇතැයි අපි සැබවින්ම අපේක්ෂා කරමු.” යනුවෙන් ඔහු ආරම්භක දේශනයේ දී සඳහන් කළ ඔහු, “අපි සියලු දෙනාම උරෙන් උර ගැටී එකට සිටිමු. ප්‍රජාතන්ත්‍රවාදී සාරධර්මවලින් සන්නද්ධ අපගේ හවුල්කාරිත්වයයෙන් ශක්තිමත්ව තව දුරටත් එකට කරමු.” යැයි කියා සිටියේය.
සිය අදහස් පළ කිරීමේදී චීනය හා ශ්‍රී ලංකාව අතර ඇති සබඳතාව කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ රාජ්‍ය ලේකම් පොම්පියෝ චීන කොමියුනිස්ට් පක්ෂය “කොල්ලකාරයකු නැතහොත් විලෝපියකු” ලෙස හදුන්වා දුන්නේය.
චීනය මෙන් නොව ඇමරිකාව ශ්‍රී ලංකාවේ සැබෑ මිතුරකු බවත් ඇමරිකාව සැම විටම රටේ ප්‍රජාතන්ත්‍රවාදය, ස්වෛරීභාවය සහ නිදහස රැකීමට කටයුතු කරන බව ද කීය.
“ශ්‍රී ලංකාවේ ජනතාව ස්වෛරීත්වය සහ නිදහස භුක්තිවිඳිමින් සාර්ථකත්වයට පත්වනු දැකීමත් තිරසර සංවර්ධනයක් අත්කර ගනු දැකීමත් තම රටේ අපේක්ෂාව,” බව ඔහු කියා සිටියේය.
“ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාව ශක්තිමත්ව හා ස්වෛරීව පැවතීම එක්සත් ජනපදයට උපායමාර්ගිකව ප්‍රබල හවුල්කරුවෙකුලෙස සැලකිය හැකියි. එය නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් සඳහා උදව් වෙනවා. එය චීනය අපේක්ෂා කරන දෙයට වඩා හාත්පසින්ම වෙනස්. චීන කොමියුනිස්ට් පක්ෂය විලෝපිකයෙක්, ඒ බව ගොඩබිම හා මුහුදේ ස්වෛරීභාවය සහ නීති උල්ලංඝනය කිරීම් වලින් අපි දකිමු,” අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ පැවසීය.
ඔහුගේ මෙම ප්‍රකාශයට කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය වහා ප්‍රතිචාර දැක්වූයේ “කණගාටුයි ලේකම් පොම්පෙඕ මහත්මයා, අපි චීන-ශ්‍රී ලංකාවේ මිත්‍රත්වය සහ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමට කාර්යබහුලයි. ඔබගේ පිටසක්වලයින්ට එරෙහි විලෝපිකයා සෙල්ලමට උනන්දුවක් නැහැ. එක්සත් ජනපදයට සෑම විටම මෙන් එකවර භූමිකාවන් දෙකක් රඟ දැක්විය හැකිය.” යනුවෙන් ට්විටර් සටහනක් තබමිනි.
මේ අතර රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕගේ පැවසුවේ ඔහුගේ සංචාරයේදී දෙරට අතර වෙළෙඳාම සහ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් ද ආරක්ෂක සහයෝගීතා සම්බන්ධයෙන් ද මෙරට බලධාරීන් සමග සාකච්ඡා කළ බවය.
“වසංගතයෙන් පසුව ආර්ථිකය යථා තත්ත්වයට ගෙන ඒමේදී වැදගත් අංග වන විනිවිදබවින් යුත් වෙළෙඳ සහ ආයෝජන කටයුතු පිළිබඳව මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී නිදහස සඳහා අපගේ පොදු කැපවීම පිළිබඳව සාකච්ඡා කිරීමට පොම්පෙඕ රාජ්‍ය ලේකම්තුමා අදදින රාජපක්ෂ ජනාධිපතිතුමා හමුවු,” බව කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය පැවසීය.

