මන්නාරම තම්බපවනී සුළං විදුලි බලාගාර උද්‍යානය විවෘත වෙයි
- RSL
- December 8, 2020
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
මෙරට ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 103.5 ක ධාරිතාවක් එක් කෙරෙන මන්නාරම තම්බපවනී ශ්‍රී ලංකාවේ පළමු සුළං විදුලි බලාගාර උද්‍යානය අද (08) දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් විවෘත කරන ලදි.
සර්ව ආගමික නායකයින්ගේ ආශිර්වාද ලබා ගත් අග්‍රාමාත්‍යවරයා සමරු ඵලකය නිරාවරණය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ පළමු සුළං විදුලි බලාගාරය – තම්බපවනී ජනතා අයිතියට පත් කරමින් සුළං කුලුනු ක්‍රියාත්මක කරවූයේය.
මන්නාරම සිට නඩුකුඩා දක්වා කිලෝමීටර් 30ක් අධි බලැති විදුලියෙන් සම්බන්ධ කෙරෙන සම්ප්‍රේෂණ පද්ධතියකින් සමන්විත මෙම විදුලි බලාගාරය තුළින් නඩුකුඩා සිට අනුරාධපුරය දක්වා උතුරු හා නැගෙනහිර පළාත් ඇතුළුව සමස්ත විදුලිබල පද්ධතියට මෙගාවොට් 103.5 ක ධාරිතාවක් එක් කිරීමට නියමිතව ඇත.
මන්නාරම වෙරළ තීරයේ කිලෝ මීටර් 13 දුරට, හෙක්ටර්යාර් 150 ක භූමියක මෙම බලාගාරය ස්ථාපිත කර තිබේ. වසරකට විදුලි ඒකක මිලියන 400 ක් නිෂ්පාදනය කිරීමට ද මේ මඟින් අපේක්ෂිතය.
පවුල් දෙලක්ෂයකට වැඩි පිරිසකට විදුලිය සැපයෙන මෙම තම්බපවනී සුළං විදුලි බලාගාරය මෙතක් ඉදිවූ විශාලතම පුනර්ජනනීය විදුලි බලාගාරය වේ.

