බූවැලිකඩ ඛේදවාචකයේ පාර නොදන්නා මාධ්‍ය සමණොලිය
- RSL
- September 21, 2020
- පුවත් සහ වාර්තා, මතවාද
- featured
- 0 Comments
තවමත් ඊයේ සැප්තැම්බර 20 වන ඉරුදින පාන්දර මහනුවර බූවැලිකඩ පස් මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් සිදුවූ විපත සම්බන්ධ නිල තොරතුරු ලෙස ප්‍රකාශයට පත්ව ඇත්තේ ඉන් මිය ගිය කුඩා බිළිඳාත් ඇයගේ මව හා පියා සම්බන්ධ විස්තරත් සමග එහි වූ අනෙක් කාන්තාවන් දෙදෙනා පිළිබඳ විස්තරත් පමණි. ඊට අමතරව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් ඔවුන්ගේ වගකීම් ගැන කළ ප්‍රකාශ ඇත.
මෙය ලියන සැප්තැම්බර 21 වන දින දහවල වන විට “ශ්‍රී ලංකා මිර” පුවත් අඩවිය, හිටපු දියවඩන නිලමේ කෙනෙකු එහි පළමු අයිතිකරු බව වාර්තා කර තිබිණ. එහත් ඔහුගේ නම කීමට “ශ්‍රී ලංකා මිර” වෙබ් අඩවිය මැලිව ඇත. වත්මන් අයිතිකරුවන අනුර ලෙව්කේ නම් අයකු සිය පවුල සමගින් එහි සිට අසල්වැසියන්ගේ අනතුරු ගෝසා කිරීම් අනුව ගොඩනැගිල්ල කඩා වැටෙන්නට මොහොතකට පෙර ඉන් ඉවත්වූ බවත් ඔවුන් වාර්තාකර ඇත.
ඊට පෙර ඊයේ සවස පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් ප්‍රශ්න ඇසූ එක් මාධ්‍යවේදියෙකු ඔහුගේ මෝඩකම අමුවෙන්ම ප්‍රදර්ශනය කෙරුවේ, කඩා වැටුණු ගොඩනැගිල්ලේ අයිතිකරු කවුරුන්දැයි ඇසීමෙන් නතර නොවී, ඔහු බස්නායක නිලමේ කෙනෙකු වන අතර, ඔහු හා පොලීසිය අතර ඇති කිට්ටු හිතවත්කම නිසා පොලීසිය ඔහුගේ නම නොකියන බවද කීමෙනි.
ඊටත් අමතරව, ඒ ගෙදර සිටි බල්ලෝ බළලුන් සමග ව්‍යසනයට පෙර පිටව ගියේ කවුරුන්දැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් ඔහු ඇසුවේ එය කිසිදු පලක් නැති බොරු සෝබන ප්‍රශ්න කිරීමක් බැව් පෙන්වමිනි. ඒ ගැන කිසිවකු පොලීසියට දන්වා හෝ පැමිණිලිකර නොමැති නම් පොලීසියට පේන කිව නොහැකි බැව් මාධ්‍යවේදියා දැන සිටිය යුතුය.
පොලීසිය ඇතැම් විට එවැනි තොරතුරු දන්නවාද විය හැක. නමුත් නොනිල වශයෙන් දැන ගන්නා කරුණු ගැන කිසිදු නිල ප්‍රකාශයක් නොකිරීමට පොලිස් නිලධාරීන්ට වගකීමක් ඇත. පොලීසියේ ඒ සීමාවන් තමන් නොදන්නා බැව් මේ මාධ්‍යවේදියා, ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කළේය.
එහි පළමු අයිතිකරු ගැනත් එහි පදිංචිව සිටි අය ගැනත් අසල්වැසියන්ගෙන් තොරතුරු දැන ගැනීමට අපහසු වන්නේ නැත. ඒවා සනාථකර ගැනීමට සහ විශේෂයෙන් මේ කඩා වැටුණු ගොඩනැගිල්ල ඉදිකිරීමට අවසර ලැබී ඇතිද නැතිද යන්න වැනි වැදගත් තොරතුරු නිල වශයෙන් ලබා ගත යුත්තේ මහනුවර මහ නගර සභාවෙනි. ඕනෑම ගොඩනැගිල්ලක් සඳහා ඉදිකිරීම් කටයුතු ආරම්භ වන්නේ අදාල ගොඩනැගිල්ලෙහි සැළසුම ප්‍රදේශයේ පළාත් පාලන ආයතන වෙත ඉදිරිපත් කිරීමෙන් බව කවුරුත් දන්නා කාරණාවකි. කඩා වැටුණු පස් මහල් ගොඩනැගිල්ල මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් වන හෙයින්, එහි ඉදිකිරීම් කටයුතු වලට අදාල සැළසුම හා ඉල්ලුම් පත්‍රය හා ඉතිරි සියලු ලිපි ලේඛන ඇතුලු ලිපි ගොනුව මහනුවර මහ නගර සභාව සතුව තිබිය යුතුය. එම ගොඩනැගිල්ලට ලබාදුන් වරිපනම් අංකය හා තක්සේරු වටිනාකමද එහි තිබි යුතුය.
එනිසා ඒ අදාල ගොඩනැගිල්ල පිළිබඳව නිල විස්තර මාධ්‍යවේදීන්ට අවශ්‍ය නම් ඔවුන් යා යුත්තේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක වෙත නොව, මහනුවර මහ නගර සභාවේ නගරාධිපති වෙතට ය. එහි නිත්‍ය පදිංචිකරුවන් ගැන තොරතුරු අවශ්‍ය නම් ඔවුන් හමුවිය යුත්තේ ප්‍රදේශයේ ග්‍රාම සේවා නිලධාරිවරයා ය. ඔහු අවසන් වරට ලබාගත් ගෘහ මූලික ලැයිස්තුවෙහි එහි නිත්‍ය පදිංචිකරුවන් හා ගෘහ මූලිකයා කවුරුන්ද යන්න සඳහන් වන්නේය. අසල්වැසි තොරතුරු සනාථ කරගත හැක්කේ එළෙසිනි.
එවැනි කිසිදු දැනුම් තේරුම් නැති මාධ්‍යවේදීන් තවමත් මහනුවර මහ නගර සභාවට ප්‍රශ්න ඉදිරිපත් කළ බවක් දැන ගන්නට නැත. එනිසා “ශ්‍රී ලංකා මිර” නම නොකියන මෙහි පළමු අයිතිකරු කවුරුන්ද හා ඔහු මේ ගොඩනැගිල්ලට අවසර ලබා ගත්තේ කෙසේදැයි වාර්තා වන්නේ නැත. ඔහුගෙන් පසු, වත්මන් හිමිකරු අවසරයෙන් හෝ අනවසරයෙන් ගොඩනැගිල්ලට වෙනස්කම් කර ඇතැයිද මාධ්‍යවේදීන් සොයා බලා නැත. තොරතුරු සෙවීම ඔවුන්ගේ වගකීමක් බව මේ මාධ්‍යවේදීන් දන්නේද නැත. ඔවුන් තවමත් පාර අසන්නේ ගුණදාස කපුගේ ගැයූ පාර නොදන්නා සමනොළියකගෙන් ය.
මේ කතාව ලියන්නට සිතුනේ, මාධ්‍ය සමාජයට වගකිව යුතු යැයිද, මාධ්‍ය නිදහසට අකුල් හෙළිය නොයුතු යැයිද කියන්නේ මෙවැනි මාධ්‍ය වාර්තාකරණ වෙනුවෙන්දැයි සිතුණු හෙයිනි. මේ ස්වාධීන වෘත්තීය මාධ්‍ය කලාවක් නොවේ යැයි කීමට හා මාධ්‍ය පිළිබඳව නිසැකයෙන්ම වෙනම විවෘත සමාජ සංවාදයක් අවශ්‍ය බව අවධාරණය කිරීමටය.
කුසල් පෙරේරා

