‘බහුජාතික කෘෂි රසායනික සමාගම්වලට එරෙහිව’ සටන්වදින වියට්නාම් දිරිය කත !
- RSL
- January 28, 2021
- කෘෂිකර්මය, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
1966 වර්ෂයේ අගෝස්තු 10 වනදාට හිරු උදා වන්නේ සීමාවක් දැකිය නොහැකි වියට්නාමයේ සයිගන් නුවරට උතුරින් වූ චමත්කාර හරිත වනය තවත් වර්ණවත් කරවමිනි. සැනෙකින් ඇසෙන්නේ ඇමරිකාවේ නිෂ්පාදිත C-200 වර්ගයේ ගුවන් යානා කීපයක හඬයි. තරුණ විප්ලවවාදීන් වහා භූගත බංකර් වෙත දිවයන්නේ අහසින් ඇද වැටෙන බෝම්බ වලින් ආරක්ෂා වීම සඳහායි. ගුවන් යානය තුලින් මෙවර පහතට වැටෙන්නේ බෝම්බ නොව වලාකුළු මෙන් සුදු දියර වර්ගයකි.
ගරිල්ලා සටන් පිලිබඳ එතරම් අත්දැකීම් නොමැති වූ තරුණ ගුරුවරියක් වූ Tran To Nga දකුණු වියට්නාමයට පැමිණ සිටියේ වියෙට්-කොං ගරිල්ලා සංවිධානය (FLN) සමග එක්වීමටයි. ඇය පැමිණ සිටියේ තම මවත් සමග උතුරු වියට්නාමයේ සිටයි.

“මගේ ශරීරයට හා උරහිසට ඇලෙන සුළු සුදු ද්‍රවණයකින් නැහැවී තිබුණා. මට දරුණු කැස්සක් ඇතිවුණා. මම වහා ගොස් මුහුණ හා ශරීරය සෝදා ගත්තා. එම සිද්ධිය මට එතනින්ම අමතක වුනා”. ඇය අද පවසන්නීය.
Tran To Nga උපත ලබන්නේ 1942 දී ඉතාමත් ධනවත් මව්බිමේ නිදහස වෙනුවෙන් පරම්පරා රාශියක් සටන්කළ පවුලකට දාව වේ. 1955දී වයස 16 ක තරුණියක් වූ Tran To Nga අත්අඩංගුවට පත් වීම වැළැක්වීම සඳහා උතුරු වියට්නාමයට යැවීමට සිය මවට සිදුවන්නේ ඇයගේ ආරක්ෂාව සඳහා වේ.
උපාධිය අවසන් වූ දිනයේම ඇය දකුණු වියට්නාමයට පැමිණ එවකට රට යටත් කරගෙන සිටින ඇමරිකන් හමුදාවට හා දකුණු වියට්නාමයේ යැංකි රුකඩ හමුදාවට සටන් කල කොමියුනිස්ට් පක්ෂ නායක හෝ චිමිංගේ FLN ජාතික ව්‍යාපාරය සමග එක්වූවාය.
ඉහත සඳහන් කල අත්දැකීමට ඇය මුහුණ දෙන්නේ එම පැමිණි දිනයේදීමය. ඇය ඉතා අපරික්ෂාකාරී ලෙස බංකරයෙන් එලියට පැමිණීම නිසා මෙම රසායන ප්‍රහාරයට හසු වී තිබුණාය.

1961-1971 අතර කාලය තුල ඇමරිකන් යුධ යානා විසින් වියට්නාම් සංග්‍රාම භූමියට හෙළුවේ Agent orange dioxin නම් මිනිස් සෞඛ්‍යයට ඉතාමත් අහිතකර රසායනික ද්‍රව්‍යයකි. වොෂිංටන්හි john kennedy බලාධිකාරය මෙයින් බලාපොරොත්තු වුයේ ගරිල්ලා සටන් වලට ආවරණයක් හා ආරක්ෂාවක් වූ වියෙට්නාම් වනාන්තර හා ඔවුන්ට ආහාර සපයන ගොවි ජනතාවගේ අස්වනු සහමුලින්ම විනාශකර දැමීමයි. ගරිල්ලන්ට සහය දෙන වියෙට්නාම් ජනතාව කුසගින්නෙන් මරා දැමීමටය.
මෙම සැලැස්ම තුලදී agent orange dioxin ලීටර් මිලියන 80 ක් වියෙට්නාමයට හෙලා තිබිණි. හෙක්ටයාර් 2 500 000ක බිම් හා ජලය දුෂණය වී ඇත. වනාන්තර පද්ධතියෙන් 20%ක් විනාශ වී ඇත. වගාබිම් හෙක්ටයාර් ලක්ෂ 4ක් විනාශ වී ගොස් ඇති අතර හෙක්ටයාර් මිලියනයක නිවර්තන වනාන්තර එහි ජීවත්වූ මියගිය සතුන්ද සමග අතහැර දැමීමට වියට්නාම් රජයට සිදුවී ඇත.
ප්‍රංශ විද්‍යා සඟරාවක් වන “nature” විසින් 2003 දී එලි දක්වන ලද වාර්තාවකින් කියවෙනුයේ වියට්නාම් භුමිය තුල සිටි වියට්නාම් ජාතිකයන්, ඇමරිකන් සෙබළුන් හා සිවිල් නිලධාරින්ද , ලාඕස් ජාතිකයන්, කම්පුචියානු ජාතිකයින් හා දකුණු කොරියානු සෙබළුන් ඇතුළු මිලියන 4ක පිරිසක් සෘජුවම මෙම රසායනික ප්‍රහාර වලට හසුවී ඇති බවයි. එහි ප්‍රථිපලයක් ලෙස ඔවුන් ශ්වසන, සමේ හා පියයුරු පිළිකාවලින්ද, බොහෝ පිරිසකගේ ප්‍රතිශක්තිකරණ හැකියාව අහිමිවී දියවැඩියාව, හර්ද රෝග, වැනි භයානක අතුරු ආබාධ වලින්ද පෙළෙති. එසේම වියට්නාමයේ පරම්පරා 4ක උපදින දරුවන් අංග විකල වී ඉපදීමද, සමහර දරුවන් උපතේදීම මිය ගොස් සිටීමද වර්තමානය දක්වා සිදුවන බව බටහිර පුවත්පත් වාර්තා කර සිටි.


අපගේ කතානායිකාව වන Tran To Ngaද දියවැඩියාවෙන් හා පිළිකා රෝගයකින්ද ඉතා දරුණු ලෙස පිඩා විඳියි. ඇයගේ එක මාස 17ක දරුවෙක් කැලය තුලදී මිය ගොස් ඇත. 1971හා1973 දී ඉපදුනු ඇයගේ දරුවන් දෙදෙනෙකු හෘද හා අස්ථි රෝග වලින් පෙලේ. පසුව නිකුත් වූ ඇමරිකන් වාර්තාවක මෙම රසායන ද්‍රව්‍යයට මුහුණදුන් අය රෝග 17කින් පෙලෙන බව හඳුනාගෙන ඇති බවත් මෙම ප්‍රහාර වලින් පිඩා විදින දරුවන් හා වැඩිහිටියන් හමුවීමට වියට්නාමයට පැමිණෙන ලෙස ඇය ඉල්ලා සිටි.

2009 මැයි 18හා 19 දිනයන්හිදී පැරිසියේ දී එජා සංවිධානයේ මුලිකත්වයෙන් ලෝකයේ පරිසරය පිළිබඳව කීර්තිමත් විනිසුරුවන්ගෙන් සමන්විත ජාත්‍යන්තර කොමිසමක් ඉදිරියේ තමන්ට සිදුවූ අපරාධය Tran To Nga විසින් මුලින්ම ඉදිරිපත් කරනු ලැබුවාය. ඉන්පසුව 2014 දී ඇය ඇමරිකන් හමුදාවට මෙම agent orange dioxin රසායන ද්‍රව්‍යය ලබා දුන් කෘෂි රසායනික බහු ජාතික සමාගම් 19කට එරෙහිව ප්‍රංශයේ මහා අධිකරණය ඉදිරියේ නඩු පැවරුවාය.
විත්තිකාර බහු ජාතික සංවිධාන විසින් දිගින් දිගටම කල් ඉල්ලීමෙන් පසුව එම නඩුව ජනවාරි 25 වැනිදා විභාගයට ගැනීමට ප්‍රංශ අධිකරණය තීරණය කිරීම Tran To Nga ලැබූ ජයග්‍රහණයක් වේ. ඇයගේ නඩුව සිවිල් අධිකරණයක් ඉදිරියේ කැඳවීමට ප්‍රංශ අධිකරණය තීරණය කර ඇත.

Tran To Nga විසින් චෝදනා කරන බහුජාතික සමාගම් අතර සුප්‍රකට Dow Chemical හා ග්ල්යිෆොසෙට් නිපදවන monsanto-bayer ආයතනද වේ. ග්ල්යිෆොසෙට් යුරෝපයේ තහනම් කරන ලෙස ඉල්ලා සටන් කරන සියලුම පරිසරවේදී සංවිධාන වල සහය ඇයට හිමිවී ඇත.
ඇමරිකන් අධිකරණය විසින් තම සොල්දාදුවන්ට 1987 දී ඩොලර් මිලියන 180 ගෙවන ලෙස තීන්දු කල අතර 1999 දී ඇමරිකන් සොල්දාදුවන් 16,000ක් විසින් ගොනු කල නඩුවකදී බිලියන 3,4ක් වන්දියක් ඔවුනට ගෙවීමට ඉහත බහුජාතික සමාගම් වලට සිදු විය.
TranTo Nga ගේ නඩුව අධිකරණ ඉතිහාසයට එක්වනුයේ මෙම අපරාධයට එරෙහිව සිවිල් වැසියෙකු විසින් ගොනුකළ ප්‍රථම නඩු විභාගය ලෙසයි. කිසිදු වන්දියක් නොලැබුණු වියෙට්නාම් ජනතාවට ඇය යුක්තිය ඉල්ලයි.

“මට අහිමි වෙන්න දෙයක් නෑ. මෙම රසායනික අවි ප්‍රහාර නිසා මගේ මව්බිමේ පරම්පරා තුනක් තවමත් පිඩා විඳිනවා. වියට්නාමේ කථාවට කියනවා, සතුරා මව්බිම යටත් කරගෙන නම්, පිරිමින් පමණක් නොව කාන්තාවන්ද සටන්කාමීන් බවට පත් විය යුතුයි කියලා. අතීතයේ මම ගරිල්ලා සෙබළියක් වුණේ ඒ නිසයි. ඒ සටන්කාමි බව මා තුළ තවමත් තියෙනවා. මේක මාගේ මව්බිම වෙනුවෙන් සිදුකරන අවසන් සටනයි”
වයසින් 78ක් වුවද මෙම දිරිය මව මහත් අදිටනින් යුතුව සිනාසෙමින් පවසන්නීය. ප්‍රංශය පුරාම පරිසරවේදීන්ගේ සහය ඇයට මේ වනවිට ලැබී ඇත.
lanka Truth ඇසුරිණි – කෘෂිකර්මාන්තය හා සම්බන්ධයෙන් ඕනෑස පුවත්පතක හෝ වෙබ්අඩවියක පළ වන ලිපි අප විසින් මූලාශ්‍ර සදහන් කරමින් උපුටා ගන්නා අතර එමගින් අප බලාපොරොත්තු වන්නේ කෘෂිකර්මාන්තය හා සම්බන්ධ ප්‍රවෘත්ති හා ප්‍රවෘත්ති විශේෂාග එකතුවක් සකස් කිරීමයි – ප්‍රධාන සංස්කාරක

