පෙබරවාරී 15ට පෙර බස්නාහිර සියලු පාසල් විවෘත කරනවාද ?

Spread the love

පෙබරවාරි මස 15 වැනි දිනට පෙර බස්නාහිර පළාතේ  එක් එක් පාසල් විවෘත කිරීමට ඇති හැකියාව සොයා බලන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. 

අමාත්‍යවරයා‌ මේ බව පැවසූයේ, එක් එක් පාසල්වල අධ්‍යයන කටයුතු සිදුවන ආකාරය, අන්තර්ජාල අධ්‍යයන ක්‍රමවේදයේ සාර්ථකත්වය, සෞඛ්‍ය විධිවිධාන ආදිය පිළිබඳ විදුහල්පතිවරුන්ගෙන්, ගුරුවරුන්ගෙන් සහ දූ දරුවන්ගෙන් තොරතුරු සොයා විමසා බැලීම සඳහා කොළඹ දේවි බාලිකා, නාලන්දා විද්‍යාලය ඇතුළු පාසල් කිහිපයක අද (29)  දින  සිදු කළ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මාධ්‍ය අමතමිනි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යවරයා මෙසේද පැවසීය.

 “කොවිඩ් 19 වසංගතය නිසා වසා දැමුණු පාසල් බස්නාහිර පළාතේ හැරෙන්නට අනෙකුත් ප්‍රදේශවල විවෘත වුණ නමුත් පවතින දැඩි අවදානම් තත්ත්වය මත මේ පළාතේ දිස්ත්‍රික්ක තුනේ පාසල් සියලු ශ්‍රේණි සඳහා විවෘත කෙරුණේ නැහැ. නමුත් අවදානම් තත්ත්වය මත දරුවන්ගේ අනාගතය ම අඳුරු කරන්නට අපට බැහැ. වගකිවයුතු රජයක් ලෙස එම වගකීමෙන් මිදෙන්න අපි  සූදානම් නැති නිසා ම සියලු අභියෝග මැද ශිෂ්‍යත්ව විභාගය, උසස් පෙළ විභාගය පැවැත්වීමට කටයුතු කළා. සෙසු ප්‍රදේශවල අධ්‍යයන කටයුතු ආරම්භ කළා. අභියෝග ජය ගනිමින් එම ක්‍රියාමාර්ග සාර්ථක කර ගැනීමට අපිට ශක්තියක් තිබුණා”.

බස්නාහිර පළාතට අයත් කොළඹ, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් ආරම්භ කිරීම සඳහා පියවර ගැනීමට ඒ ඒ පාසල්වලට බලය පවරා ඇති බව ද, චක්‍රලේඛවල ගැටලු වෙතොත් ඒ පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය වෙත දැනුම් දීමටත් අවස්ථාව ලබා දී ඇති බව ද පැවසීය.

පෙබරවාරි 15වන දිනට පෙර පාසල් ආරම්භ කිරීමට හැකි පාසල් මොනවාද යන්න මේ වනවිට සොයාබලමින් සිටින බව ද සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරමින් පාසල් පවත්වාගෙන යාම වෙනුවෙන් ඒ ඒ පාසල්වලට අවශ්‍ය පහසුකම්, මූල්‍ය ප්‍රතිපාදන ආදිය ලබා දීමට ද අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර ඇති බව ද පැවසීය. 

බස්නාහිර පළාතේ පෙරපාසල් ආරම්භ කිරීම සඳහා ද  අවශ්‍ය කටයුතු සූදානම් කරමින් තිබෙන බවත්, කුඩා දරුවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී සමාජ දූරස්ථභාවය ආරක්ෂා කර ගැනීම පිළිබඳ කරුණ ප්‍රායෝගිකව ගැටඵකාරී තත්වයක් වන නමුත් පෙරපාසල් වසා තිබීම ද දරුවන්ට, දෙමාපියන්ට මෙන් ම පෙරපාසල් ගුරුවරුන්ට ගැටඵවක් වන බව  අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

Tags: