පළිබෝධනාශක හිස් ඇසුරුම් ‘බැහැර කරන’ පරිසර හිතකාමී පිළිවෙතට යොමු වෙමු

Spread the love

පළිබෝධනාශක භාවිතය නිසා සමාජයට සිදුවිය හැකි අනිසි බලපෑම අවම කරන්නට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කලෙක පටන් මහත් උනන්දුවෙන් කටයුතු කරමින් සිටී.

මෙහිදී බලධාරීන් ගත් සමාජ හිතවාදී පියවර ගණනාවකි. කෘෂි විද්වතුන් සෑමවිටම උපදෙස් දෙන්නේ අවම පළිබෝධනාශක පරිහරනයකට මග සැලසෙන ඒකාබද්ධ පළිබෝධ මර්දන ක‍්‍රම හරහා වගාබිම් පවත්වා ගන්නටය.

භාවිතයේදී පවා නියම මාත‍්‍රාව පමණක් භාවිතා කරන්නටත්, එක රසායනයක් තවත් එකක් සමග එකම ටැංකිය තුළ මිශ‍්‍ර නොකර ඉසින්නටත්, නියමිත නොසලය ඉසිනයට සවිකර ගැනීමට හා ආරක්ෂක ඇඳුම් සහිතව වගාබිමට යන්නටත් යනාදී වශයෙන් දී ඇති උපදෙස් වලින් නම් නිමක් නැත. ප‍්‍රශ්නයකට ඇත්තේ ඇතැමුන් දෙනා මේ උපදෙස් වලට අවනත නොවී පරිසරයට හානි වෙන අයුරින් කටයුතු කිරීමයි. මීට අමතරව උග‍්‍ර විෂ සහිත පළිබෝධනාශක අලෙවිය තහනම් කරමින්, සියල්ලන්ටම ඉහළින් පුළුල් ආරක්ෂක ආවරණයක් දෙන්නටද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ගොවියාගේ සියලූ ක‍්‍රියාකාරකම් වලට පසුව වුවද සිදුවෙන දෑ ගැන විමසිලිමත්වන කෘෂි නිලධාරීන්ට පෙනීගිය කරුණක් වුයේ, හිස් වූ කෘෂිරසායනික බඳුන් විධිමත්ව බැහැර කිරීමේ බරපතල දුර්වලතාවයක් සමාජයේ පවතින බවයි. ගොවියා විසින් ඇතැම්විට බඳුනේ අන්තර්ගතය මුළුමනින්ම අවසන් වනතුරු එය හිස්නොකර ඉවත දමන අවස්ථාද තිබේ. වගාකරුවන්ගේ මේ අපරික්ෂාකාරී ඉවත දැමීම නිසා වසවිස පරිසරය හා මුහුවීමේ අවස්ථාවද වැඩිය. කලකට ඉහතදී හිස් බඳුන අලෙවිකරු වෙතට නැවත ගෙන්වා ගැන්වීමේ ක‍්‍රමවේදයක් වශයෙන් බඳුනක් වෙනුවෙන් රුපියල් 10 ක වට්ටමක් ඊළඟ මිලදී ගැනීමේදී පිරිනැමීමට යෝජනාවක් පැවතියද එය ප‍්‍රායෝගිකව ක‍්‍රියාවට නැගුනේද නැත.

කෘෂිකර්ම අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය හා ක්‍රොප් ලයිෆ් CropLife සංවිධානය එකමුතුව ගොඩනගා ඇති අලූත් වැඩසටහනක් කෙරෙහි ජනතා අවධානය ලබාගැනීම මෙම තත්වය හමුවේ වැදගත් අවශ්‍යතාවයකි. හිස් පළිබෝධනාශක භාජන එකතුකිරීම සඳහා දිවයිනේ තෝරාගත් ස්ථානවල ප්ලාස්ටික් බඳුන් ස්ථානගත කිරීමක් නව වැඩපිළිවෙල හරහා කරනු ලබන අතර, මෙය ගොවීන් බහුලව ගැවසෙන බිම් කඩක වුවද විය හැකිය.

මෙසේ තැන තැන තබා යන්නේ, තොග වශයෙන් කෘෂිරසායන ද්‍රව්‍ය ආනයනය කිරීමේදී ඒවා බහා එවන ලීටර් 200 ප්ලාස්ටික් බඳුන්ය. ආරම්භයේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හා ක්‍රොප් ලයිෆ් නිලධාරීන් විසින්, පළාතේ පිරිස රැුස්කර දිනෙක වැඩමුළුවක් හරහා යම්කිසි උපදෙස් මාලාවක්ද දෙනු ලැබේ. තමා සතු ප්ලාස්ටික් හෝ වීදුරු වලින් සෑදූ පළිබෝධනාශක හිස් ඇසුරුම්, එකතුකිරීමේ බඳුනට දැමිය යුතු පිළිවෙල පිළිබඳ මාර්ගෝපදේශයන් එහිදී ඔවුනට ලබාදෙයි.

වීදුරු හා ප්ලාස්ටික් ඇසුරුම් වෙනුවෙන් වෙන වෙනම බඳුන් තබා තිබේ. වගාකරු යම් පළිබෝධනාශකයක් භාවිතා කිරීමේදී එහි අන්තර්ගතය සම්පුර්ණයෙන්ම ඉසින ටැංකියට දැමූ පසු, එයට ජලය ස්වල්පයක් දමා සෝදා එම සේදුමද ටැංකියට දැමිය යුතු අතර මේ ක‍්‍රියාවලිය නැවත නැවතත් තුන් වරක්ම කල යුතුවේ. මේ හරහා හානිකර කෘෂිරසායන ද්‍රව්‍යයන් 80% කටත් වඩා ප‍්‍රමාණයක් ප‍්‍රතිචක‍්‍රීකරණ කම්හල වෙත යාම වලකනු ලබයි.

අනෙක් අත්‍යවශ්‍යම කරුණ වන්නේ තම අසුරණයේ පියන හොඳින් වසා අදාළ බඳුනට බැහැර කිරීමයි. හිස් ඇසුරුම් වලින් ලීටර් 200 බැරලය පිරී යත්දී ඒ බව ක්‍රොප් ලයිෆ් වෙත දැන්වීමට කෙනෙක් දැනටමත් එම ප‍්‍රදේශය තුළින්ම පත්කර තිබේ. ඔහුගේ දැන්වීම අනුව ක්‍රොප් ලයිෆ් වෙතින් පැමිණ පිරුණු භාජනය රැගෙන යන්නේ ඒ වෙනුවට තවත් හිස් බඳුනක් එහි තැබීමෙන් අනතුරුවයි. ඔවුන් මේවා රැගෙන යන්නේ හිස් ඇසුරුම් රැස්කිරීමේ මධ්‍යස්ථාන 6 ක් වෙතටය.
මේ වන විට ඒවා දිවයින පුරා පිහිටුවා තිබේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් සීතාඑළිය,

පැල්වෙහෙර, මාකඳුර, පොලොන්නරුව, කරදියන්ආරු, හා බටඅත යන ස්ථානයන්හි ගොවිපල පරිශ‍්‍රයන් තුළ මෙම ස්ථාන පවත්වාගෙන යයි. ඒ වෙත ද්‍රව්‍යය මුදාහැරීමත් සමගම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හා ක්‍රොප් ලයිෆ් සංවිධානයේ කාර්යභාරය අවසන් වේ.

අඩක් බිත්ති බැඳ, ඉහළට දැල්ගසා සාදා ඇති විවෘත ගබඩා බඳු හිස් ඇසුරුම් කුටි පිරීයත්දී ව්‍යාපෘතියේ මීළඟ පියවර ක‍්‍රියාත්මක කිරීම සඳහා මේ වෙත එන්නේ ප‍්‍රතිචක‍්‍රීකරණය භාරගත් සමාගම්වල ප‍්‍රවාහන අංශයයි. වීදුරු ප‍්‍රතිචක‍්‍රීකරණය කරන්නට දැනට මෙරට ඇති එකම සමාගම ඒවා රැුගෙනගොස් නැවතත් පළිබෝධනාශක අසුරන වීදුරු බඳුන් සෑදීමේ අමුද්‍රව්‍යය වශයෙන් මේවා යොදාගනී.

සෙන්ටිගේ‍්‍රඞ් අංශක 3000 ක පමණ උෂ්ණත්වයක් යටතේ මෙය සිදුවෙන බැවින් යම් අවශේෂ රසායනයක් ඇසුරුම් තුළ තිබුනත් ඒවා එතැන්සිට හානිකර වන්නේ නැත. ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීකරණය සිදුකරන සමාගමට එයට අදාළ යන්ත‍්‍රසූත‍්‍ර ආදිය ලබාදීමට පරිසර අමාත්‍යාංශයත් දායකත්වය සපයා තිබේ. ඔවුන් මේ හරහා සාදන්නේ ජනතාව එදිනෙදා නිතරම පරිහරණය නොකරන ප්ලාස්ටික් භාණ්ඩයන්ය. උදාහරණයක් වශයෙන් ගොඩනැගිලි ඉදිකිරීමේදී බිත්ති තුළට සිරකරන විදුලි රැුහැන් ගෙනයන බට, ස්විච් සවිකරන පෙට්ටි ආදිය ඔවුන් විසින් නිපදවනු ලැබේ.

කසල එකතුකිරීමේ දෛනික ක‍්‍රියාවලිය තුළත් දිරාපත් නොවන කසල වෙන්කර පලාත්පාලන ආයතනයන් වෙතට ලබාදීමේ ක‍්‍රමවේදයක් දැනටත් ක‍්‍රියාත්මක බව සැබෑය. එහෙත් පළිබෝධනාශක ඇසිරූ වීදුරු හෝ ප්ලාස්ටික් බඳුන් එම ධාරාව හරහා යැවීම පරිසර හිතකාමී නොවන බව වගාකරුවන් පමණක් නොව සාමාන්‍ය ජනතාව පවා තේරුම් ගතයුතු කරුණකි. එය සිදු කළයුතු ආකාරය පෙන්වන මෙවැනි මගපෙන්වීමකට අනුග‍්‍රහය දැක්වීමත්, තව තවත් මෙම කරුණු වලින් සමාජය දැනුවත් කිරීමට උනන්දුවීමත්, වසවිස නැති පරිසරයක ජීවත්වීමට කැමති සැමගේ වගකීමක් වනු ඇත.

පිටපත : සනත් එම්. බණ්ඩාර – සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ, ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය, ගන්නොරුව

තාක්ෂණික කරුණු : ලසන්ත රත්නවීර – සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ, පළිබෝධනාශක රෙජිස්ට‍්‍රාර් කාර්යාලය, ගැටඹේ

RSL

Related Posts