දූරියන් ශාකයේ ‘රෝග හා කෘමිහානි’ වළක්වා ගන්න මේ පියවර ගන්න

Spread the love

පසුගිය සතියේ සාකච්ඡා කරන ලද නිවැරදිව දූරියන් පැලයක් සිටුවීමේ ක්‍රමවේදයට අනුව වගා ස්ථාපනයක් සිදුවූවා නම් මීළඟට කළ යුත්තේ රෝග හා පලිබෝධ හානි අවම වන පරිද්දෙන් වගාව රැකගැනීමයි. සියලු ජීවීන්ට පොදු මූලධර්මයක් වන රෝගයට ප්‍රතිකාර කිරීමට වඩා රෝගය වැලැක්වීම සුදුසුය යන්න මෙතැනදීද සිහි තබාගත යුතු සිතුවිල්ලකි.

ලපටි පැලයක් රෝගී වුවහොත් ශාකයේ වර්ධනයට දැඩි බලපෑමක් එල්ලවන නිසා ශාකයේ වැඩීම මුල පටන්ම අඩාල වේ. ලොකු ගසක් රෝගී වුවහොත් ශාකයේ විශාලත්වයේ වැඩිකම නිසා ප්‍රතිකාරකිරීම අපහසු හා අධික වියදම් සහිත වීමෙන් රෝග පාලනය අපහසුවේ.

රෝගාබාධ වලක්වා ගැනීමේ ක්‍රමෝපායයන් පිළිපැදීමට මුල සිටම උනන්දු විය යුත්තේ එබැවිනි. ප්‍රාථමික අවශ්‍යතාවයක් වශයෙන් රබර්, මඤ්ඤොක්කා වැනි වගාවක් නොතිබුණු භූමියක් තෝරා ගැනීමෙන් සුදුමුල් රෝග අසාදනය වැළක්විය හැකි බව කලින් දන්වා සිටි බැවින් මෙම විස්තරය පදනම් වන්නේ ඉන් ඔබ්බට සැලකිලිමත් වියයුතු කරුණු සම්බන්ධවය.  

“ගෙදර වත්තේ දූරියන් පැල දෙකක් හදනවා වගේ නෙවෙයි, වාණිජ වගාවකදී ගස් අතර පරතරය රෝග වැලැක්වීම සම්බන්ධයෙන් ඉතා වැදගත්. අපේ නිර්දේශිත පරතරය මීටර් 10 ක්. පැල සිටුවනවිට මේක ලොකු දුරක් වගේ පේනවා. ඒ නිසා වගාකරුවන් ඇතැම්විට නැවතත් අහනවා මේ තරම් දුරින් සිටුවීම අවශ්‍යමද කියලා. අපි කල්පනා කරන්න ඕනේ ගස් ලොකුවෙලා අතු එකිනෙක ගෑවෙන තත්වය පිළිබඳව. හුඟක් ලඟින් හිටෙව්වොත් වටපිටාවේ ආර්ද්‍රතාවය වැඩිවෙලා ලෙඩ වැඩි වෙනවා. ඒ නිසා යන්තම් බෑවුමක් ඇති භූමියක උනත් මේ පරතරය තියෙන්න ඕනෑ.

දූරියන් සම්බන්ධයෙන් කරන ලද පෙර දැනුවත්කිරීම් වලදී මෙන්ම මෙවරත් සංවාදයට එකතුවූයේ හොරණ පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ ප්‍රධාන අභිජනන විද්‍යාඥ ඩබ්ලිව්. ඩී. ලෙස්ලි මහතා එසේ අදහස් දක්වමිනි. දූරියන් වලට වැළඳෙන සුලභ රෝගයක් වන ෆයිටොප්තෙරා නමැති දිලීර රෝගය, භූමිය මත ගලායන වැසි ජලය තුලින් ඉතා පහසුවෙන් ව්‍යාප්ත වේ. මේ නිසා යම් ශාකයකට රෝගය අසාදනය වී නම්, වගාවේ අනෙක් ශාක කරා පැතිරීයාම නැවත්වීම සඳහා රෝගී ශාකය හුදකලා කල යුතුය. එය කල හැක්කේ භූමියෙහි මතුපිට ජලය ගලායාම පාලනය කිරීමට හැකිවනසේ කානු පද්ධතියක් සෑදීමෙන්ය.

ගස් ඉහළට වැඩුණු පසු කානු කපමින් බිම් සැකසීම කල නොහැක්කේ ශාකයේ සරු පෝෂක මුල් බොහොමයක් කලාලයක් ලෙස වැඩී මතුපිට පස ඇසුරෙන් පවතින බැවිනි. කලින් විස්තරයකදී වගාව තුල වල් උදලුගෑම වැනිදෑ නොකළයුතු ක්‍රියාකාරම් බව අප සඳහන් කෙරුවේ එබැවිනි. මේ නිසා පැල සිටුවීමේදීම, අවශ්‍ය වුවහොත් ඒවා හුදකලා කල හැකි අන්දමට බිම් සැකසීමට අමතක නොකළ යුතුවේ. බිම් සැකසීමෙන් හුදකලා කරනවා යනු එක ශාකයක් පසුකර එන වැසි ජලය තවත් ශාකයක් අවට රැස් නොවී ඉවතට ගලායාමට සැලසෙන පරිද්දෙන් කානු සකස් කිරීමය.

පැලය සිටුවා ටික දිනක් ගතවෙත්ම පත්‍ර කහපැහැ ගැන්වී වියලී හැලීගොස් අවසානයේදී පැලය මියගිය බව ඇතැම් වගාකරුවන් විසින් පැමිණිලි කරනු ලබයි. තවානකින් මිලදී ගන්නා පැලයක සෞඛ්‍යය තත්වය පිළිබඳව පිටින් බලා තක්සේරු කල නොහැකි බැවින් මෙතැනදී බොහෝවිට සිදුවී ඇත්තේ තවානේදීම අසාදනය වූ දූරියන් පැලයක් ලැබීමයි. එය රෝගී පැලයක්  බව ඇතැම්විට තවාන්කරුද නොදන්නවා විය හැකිය. ඒ නිසා සිටුවීමට දින කීපයකට කලින් බඳුන්ගතව පැලය තිබියදීම දිලීර නාශක ප්‍රතිකාරයක් සිදුකිරීම නුවනට හුරුය. මේ සඳහා නිර්දේශිත දිලීර නාශකයක් ඉසීම හෝ ජලයේ දියකර පසට යෙදීම හෝ කලයුතු වේ.

ලොකු දූරියන් ගසකට ෆයිටොප්තෙරා වැනි දිලීරයක් ආසාදනය වී ශාකය පුරා පැතිරී ඇති විට විවිධ ස්ථානයන්ගෙන් එහි රෝග ලක්ෂණ පිටතට පෙනේ. කඳෙහි ඇතැම් තැන්වල තුවාල සෑදී ඉස්ම වැනි දෑ වෑස්සීම එක තත්වයකි (Stem Canker). මෙහිදී ස්ථානීය ප්‍රතිකාරයක් වශයෙන් තුවාලය පිරිසිදුකර, නිර්දේශිත දිලීර නාශකයෙන්ම කුඩු ස්වල්පයක් ජලයෙන් අනා තුවාලයේ තැවරීම කල හැකිය. නමුත් ශාකය පුරාම දිලීරය පැතිරී ඇති බැවින් උස අඩු ගසක් නම් පත්‍ර සඳහා දිලීර නාශක ඉසීමද කල යුතුවේ.

කෙසේ වෙතත් ලෙස්ලි මහතා සඳහන් කරන්නේ විශාල ශාකයකට මෙලෙස ප්‍රතිකාර කරමින් පවත්වාගැනීම, මිල අධික ක්‍රියාවක් බවත් රෝගය නිට්ටාවටම සුවකිරීමද අපහසු බවත්ය. කල හැක්කේ රෝගය පාලනය කර තබාගැනීම පමණි. ඒ නිසා වඩාත් වැදගත් වන්නේ මුල සිට සැලකිලිමත්ව හිඳිමින් රෝගය පාලනය කිරීමයි. මීට අමතරව රෝග ලක්ෂණ ප්‍රකාශවෙන අතු ඉවත්කිරීමත්, ඒවා පුළුස්සා විනාශ කිරීමත් ප්‍රයෝජනවත් ක්‍රියාකාරකමක් වන අතර ශාකය අවට පසට කොම්පෝස්ට් යනාදිය යහමින් එකතුකරමින් පාංශු පෝෂණය ඉහල නැංවීමෙන්ද රෝගයන්ට ඔරොත්තුදීමේ හැකියාව ශාකය වෙත ලබාදීමද වැඩි කල හැකිය.

ලපටි පැලවල පවා ප්‍රකාශ වෙන පරිද්දෙන්, පත්‍ර දාරයෙන් ඇතුල් දෙසට එන පිළිස්සුනු ස්වභාවය ඇන්ත්‍රැක්නෝස් රෝග ලක්ෂණයක් විය හැකිය. මෙයටද කලයුත්තේ නිර්දේශිත දිලීර නාශක ඇසුරෙන් ප්‍රතිකාර කිරීමයි.

කෘමි අසාදනයන්ටද දූරියන් ශාකය ගොදුරුවේ. කොරපොතු කෘමියා ලපටි පැලවල පවා සිටිය හැකිය. දූරියන් පත්‍රයන්හි උඩපැත්ත කොළ පැහැ වුවත් යටිපැත්ත ලා දුඹුරු පාටවේ. කොරපොතු කෘමියා සිටින්නේ යටිපැත්තේය. උගේ වර්ණයත් පත්‍රයේ පැහැයටම සමාන නිසා සත්වයා සිටිනා බවක්වත් බැලූ බැල්මට නොපෙනේ. නියපොත්තෙන් පත්‍ර යටි පෘෂ්ඨය සීරුවහොත්, කෘමියා ගැලවී යයි. එසේ නමුත් පළිබෝධකයා සිටිනා බව පත්‍රයේ උඩු පැත්තෙන්ම හඳුනා ගන්නටද පුළුවන. එසේ හැකිවන්නේ යටි පැත්තේ සිටිමින් පත්‍රයේ යුෂ උරාබීවද, ඊට සමපාතව කුඩා කහ පැහැති ලප උඩු පැත්තෙන් පෙනෙන්නට පටන් ගැනීමයි. නිර්දේශිත පළිබෝධනාශකයක් ඉස තත්වය පාලනය නොකළහොත් අලුත සිටවූ පැලය මැරී යාමට වුවද පුළුවන.

තවත් බරපතළ හානි ගෙනදෙන කුරුමිණියෙක්ද සිටී. බැක්ටොසෙරා රුෆොමැකියුලේටා (Bactocera rufomaculata) නමැති මේ කුරුමිණියා ගසේ පොත්ත විද එහි බිත්තර දමන්නේය. පුපුරා එන්නේ සිහින් කෙස් ගසක් වැනි කීටයින් වුවත් මාස 10 ක් පමණ දිගු කාලයක් ඌ ගසතුල වැඩේ. අවසානයේ ඇඟිල්ලක් තරමට මහත්වේ. මෙතරම් දිගු කාලයක් ගසතුල ජීවත්වෙමින් මෙම කීටයා සිදුකරන්නේ මහත් හානියකි. පොත්ත හා ලීය අතරින් උමං සාදමින් තමාට ඉදිරියෙන් ඇති පටක කා දමමින් ඌ සැරිසරයි. ඒ නිසා ඉහල සිට පහල මුල් පද්ධතිය කරා සිදුවෙන ආහාර පරිවහනයට බාධා පැමිණී ගස ටිකෙන් ටික අඩපන වන්නේය.

දිනපතා නොව සතියකට දෙකකට වරක්වත් දූරියන් ගස හා අවට පරිසරය පරීක්ෂා කරන්නේ නම් මෙම ‘පනුවා’ ගේ හානිය දැකගැනීමට අපහසු නැත. පොත්තේ ඇති සිදුරකින් ‘පණු පස්’ වැනි දෙයක් ගස මුලට හැලී ඇත්නම් සිදුර තුල වැඩුණු පණුවෙක් සිටින බවට හොඳ සාක්ෂියකි. සාමාන්‍යයෙන් එක ගසක සිටින්නේ වැඩුණු පනුවන් එකෙක් දෙදෙනෙක් වැනි සුළු ගණනකි. සුදුසු කෘමිනාශකයක් යෙදීම ප්‍රතිකාරය වේ. සාමාන්‍යයෙන් මෙවැනි පනුවන් සිටින්නේ ගසෙහි පාදීය ප්‍රදේශය අසල බැවින් අවධානයෙන් සිටියහොත් පනුවා ඉවත්කර ගැනීම අපහසුවන්නේ නැත.

“තවත් ඉන්නවා හාල් ගුල්ලෙක් වගේ පොඩි සතෙක්. ශාකය දුර්වල වෙනකොට මේ සතුන් වුවත් එනවා. සමූහ වශයෙන් ඇවිත් පෙනේරයක් වගේ වෙන්න පොත්ත විදිනවා. මේ අයගේ ‘පනුපස්’ වැටෙන්නේ නූඩ්ල්ස් රැල් වගේ. ඒකෙන් හඳුනාගන්න පහසුයි ගස ඇතුලත ඔවුන් සිටින බව.” ලෙස්ලි මහතා තවත් ප්‍රධාන කෘමි උවදුරක් හඳුන්වාදුන්නේ එලෙසිනි.

“ගස ශක්තිමත් නම් මේ උවදුරු බොහෝ දුරට මග හරින්න පුළුවන්. ගෙඩි සෑදෙන කාලයට දූරියන් ගසට ලංවෙලා තමන්ගේ වැඩේ කරගත්තට පස්සේ ශාකය අතහැර දමන සිරිත නිසා තමයි අද තිබෙන පැරණි ගස් බොහොමයක් ලෙඩ වෙලා තියෙන්නේ. ගහ මුල උදලු ගෑම අපි නිර්දේශ කරන්නේ නෑ මතුපිට මුල් කැපෙන නිසා. නමුත් ගහ මුල පිරිසිදු කරලා කාබනික පොහොර යහමින් දාලා ශාකයට සැලකුවහොත් කෘමි උවදුරු හා වෙනත් රෝග වලට එරෙහි ස්වභාවික ප්‍රතිශක්තියක් ශාකයට ලැබෙනවා. ප්‍රශ්නය ඒ ක්‍රමයට කළමනාකරණය කරගන්නවානම් තමයි තිරසාර විසඳුමක් ලැබෙන්නේ.”

ප්‍රතිශක්තිකරණය ඉහල නංවාගැනීම වැනි මේ දිනවල නිතරම කතාකරන මාතෘකාවකින්ම හෙතෙම සංවාදය නිමාකර සිටී.

සනත් එම්. බණ්ඩාර – සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ, ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය, ගන්නොරුව, පේරාදෙණිය

RSL

Related Posts