‘දිවුල් කල් තබා ගන්න’ සෞඛ්‍ය ආරක්ෂිත තාක්ෂණයක්

Spread the love

‘දිවුල්’ කියන්නේ ලංකාවේ සුලභ වගේම ලාභ පලතුරක්. ඒ වගේම ගුණය අතිනුත් දිවුල් තියෙන්නේ ඉහළ තැනක. ඒත් දිවුල් තියෙන්නේ වාරෙක විතරයි.

ඒ කාලෙට හැම තැනම දිවුල් විකුණන්න තිබුණත් පාරිභෝගිකයින්ගෙන් මැසිවිල්ලක් ඉදිරිපත් වෙනවා. ඒ තමයි ‘හොඳ දිවුල් ගෙඩියක්’ සොයා ගැනීම අසීරු වීම.

අලෙවිකරුවන්ගෙ මැසිවිල්ල තමයි ‘සීයක් ගෙනාවොත් 90ක්ම කුණු වෙනවා. නරක් වෙනවා‘ කියන එක.

මේ කතා දෙකම ඇත්ත. ලංකාවේ සෑම පලතුරකම පාහේ ‘පසුඅස්වනු හානිය’ ඉතාම ඉහළයි. දිවුල් වාගේ පලතුරුවල ඒක සියයට 80-90ක් තරම් බවයි අලෙවිකරුවන් කියන්නේ.

මෙහෙම දිවුල් කුණු වෙන කොට, දුර්වර්ණ වෙනකොට තමන් මිලදී ගත්ත සියලූම දිවුල්වල වියදම ආවරණය කරන්න වෙන්නේ විකුණා ගන්න පුළුවන් දිවුල් ගෙඩි කිහිපයෙන්. එතකොට සිද්ධ වෙන දේ තමයි ‘දිවුල්වලට ඉහළ මිලක්‘ නියම වීම.

මේ ගැන පාරිභෝගිකයෝ කියන්නේ ‘කුණු වෙලා අහකදාන ඒවටත් අපෙන් අල්ලනවා’ කියලා.
ව්‍යාපාරිකයෝ කියන්නේ ‘කුණුවෙන, දුර්වර්ණ වෙන ඒවට ඉතිං මොකද කරන්නේ’ කියලා.
මේ මැසිවිලිවලට තිතක් තියන්න පශ්චාත් අස්වැන්න පිළිබඳ තාක්ෂණ ආයතනයට හැකියාව ලැබිලා තිබෙනවා. මේ ‘දිවුල් රස ගුණ සුරැුකිව නරක් නොවී වැඩි කලායක් ලබා ගැනීමට’ භාවිතා කළ හැකි ඒ සරල තාක්ෂණය ගැන ඔබව දැනුවත් කිරීමක්.

‘දිවුල් ‘රුටේසියේ‘ කුලයට අයත් රසයෙන් මෙන්ම ගුණයෙන් ද අනූන අගනා පලතුරක්. එහි පෝෂණ ගුණය සලකන කල ‘විටමින් සහ ඛනිජ ලමණවලට අමතරව අප රටේ දක්නට ලැබෙන පලතුරු අතරින් වැඩිම ප්‍රෝටීන් ප‍්‍රතිශතයක් ඇත්තේ ද දිවුල්වලයි.

දිවුල් ආක්මා සහ හෘද රෝගී තත්ත්වයන්ටත්, පාචනය, ඉක්කාව හා උඟුරේ ආබාධ සඳහාත් ප‍්‍රත්‍යක්ෂ ඔසුවකි.

දිවුල් කොතරම් පෝෂ්‍යදායි පලතුරක් වුවත් වාරයට ඒවා සුලභ වුවත් ජනතාවගේ වැඩි ආකර්ෂණයක් දිනාගෙන ඇති බවක් දැකිය නොහැකිය.

එහෙත් දිවුල්වලින් සිදුකරන නිෂ්පාදනවලට, එනම්, ජෑම්, කෝඩියල් සහ ක්ෂණික බීමවලට දිනෙන් දින වර්ධනය වන ඉල්ලූමක් ඇත.

ඒ අතර ලංකාවේ කෙසේ වෙතත් ලෝකය පුරා මේ වන විට ‘කාබනික පලතුරක්’ ලෙස ද දිවුල්වලට සුවිශේෂ අවධානයක් යොමුව ඇත. ඊට හේතුව වන්නේ දිවුල් ගස්වලට කිසිම ආකාරයක රසායනික පොහාර භාවිතයක් සිදු නොවීමයි.

ඒ නිසා සියයට 100ක් කාබනික, නැතහොත් වසවිසවලින් තොර පලතුරක් ලෙස දිවුල් වඩාත් අවධානය දිනාගත යුතු පලතුරක් බවට පත්ව ඇත.

දිවුල් ඵලදාව ලැබෙන්නේ වසරේ සීමිත කාලයකට පමණක් වීමත්, එය වියළි සහ අර්ධ ශූෂ්ක කලාපීය ප‍්‍රදේශවල ඵලදරන ශාකයක් වීමත් නිසා දිවුල් වාරයේ පමණක් ‘අති සුලභ’ පලතුරකි. වාරය අවසන් වීමට ආසන්න වන විට දිවුල්ව මිල විශාල වශයෙන් ඉහළ යන්නේ මේ තත්ත්වය නිසාය.

දිවුල් වාරයේ දී ලැබෙන ඵලදාවෙන් වුව ද වැඩි ප‍්‍රමාණයක් අපතේ යාම සිදුවේ. ඊට ප‍්‍රධාන හේතුව වන්නේ ‘දිවුල් ගෙඩිය ‘ඇස්පජීලස් Aspergillus නම් දිලීරයේ ආසාදනයට ලක්වීමයි.

මේ දිලීර ආසාදනය නිසා දිවුල් ගෙඩිය කල් තබා ගැනීමට නොහැකි වන අතර ඉවත දැමීමට සිදුවේ. මෙහිදී අපගේ අවධනාය යොමුවිය යුතු වැදගත් කරුණක් වන්නේ මේ ආකාරයෙන් දිලීර ආසාදනයට ලක්වන දිවුල් කිසිසේත් පාරිභෝජනය නොකළ යුතු බවයි.

මෙම දිලීර ආසාදනයෙන් ‘ඇෆ්ලාටොක්සීන් Aflatoxin නමැති ප‍්‍රබල විෂ ද්‍රව්‍යයක් නිෂ්පාදනය වන අතර එය මිනිස් සෞඛ්‍යයට අතිෂයින් හානිකරය. එහෙත් අප වෙළෙඳපොළෙන් මිලදී ගන්නා දිවුල්වලින් වැඩි කොටසක් මේ දිලීර ආසාදනයට ලක්වූ ඒවාය.

මේ තත්ත්වය තුළ දිවුල් අස්වැන්න සුරක්ෂිත කර ගැනීම සඳහා ජනතාවට විෂ රහිත දිවුල් ලබා දීම සඳහාත් ඉහත සඳහන් විෂ සහිත දිලීර ආසාදනයෙන් දිවුල් ගෙඩිය රැක ගැනීම වැදගත්ය.
කළ යුතු දේ

දිලීර ආසාදන වළක්වා ගැනීම සඳහා යොදාගත හැකි දිලීරනාශක වෙළෙඳපොළ තුළ බහුලව ඇත. එහෙත් පසුඅස්වනු අවධියේ මේ ආකාරයෙන් දිලීර නාශක යෙදීම කිසිසේත් සෞඛ්‍යයට හිතකර නොවේ. එමෙන්ම ක‍්‍රියාකාරී රසායනික ද්‍රව්‍ය භාවිත පරිසරයට ද හානිකරය.

ආප්ප සෝඩාවලින් නිසි පිළියම්

ඉහත තත්ත්වය මත පසු පශ්චාත් අස්වැන්න පිළිබඳ තාක්ෂණ ආයතනය විසින් දිවුල්වල දිලීර ආසාදනය පිටුදැකීම සඳහා ‘සරල, ලාභ මෙන්ම පරිසර හිතකාමී’ තාක්ෂණයක් හඳුනා ගෙන ඇත.
ඒ අනුව ඔබ බොහෝ විට විවිධ අවස්ථාවල භාවිතා කරන‘ සෝඩියම් බයි කාබනේට්‘ හෙවත් ‘ආප්ප සෝඩා 4%ක ද්‍රාවණය‘ මේ දිලීර නාශකය සඳහා භාවිතා කළ හැකිය.

4%ක සෝඩියම් බයි කාබනේට් හෙවත් ආප්ප සෝබා ද්‍රාවණයක් යනුවෙන් හැඳින්වෙන්නේ ආප්ප සෝඩා ග‍්‍රෑම් 40ක් ජලය ලීටරයක දියවර සාදා ගන්නා ද්‍රාවණයකි.

එය දිවුල්වලට යොදන්නේ කෙසේද ?

දිවුල් ගෙඩිය දිලීර ආසාදනයට ලක්වන්නේ ‘නැට්ට‘ කැඩුණ ස්ථානයෙනි. එනිසා ඔබ කළ යුත්තේ බුරුසුවක් හෝ පින්සලක් ආධාරයෙන් දිවුල් නටුව ගැළවුණ ස්ථානය යාන්තම් තෙත් වන සේ සාදා ගත් ආප්ප සෝඩා ද්‍රාවණය තැවරීමයි. එසේ නැතිනම් අදාළ සාන්ද්‍රණයෙන් සාදා ගන්නා ද්‍රාවණය දිවුල් ගෙඩිය මතට යාන්තම් තෙත් වන පරිදි ඉසීමයි.

4% ආප්ප සෝඩා මිශ‍්‍රණයේ ප‍්‍රතිකාරයට ලක් කළ දිවුල් ගෙඩියක් සාමාන්‍ය පරිසර තත්ත්ව යටතේ දින 21ක් කල්තබා ගත හැකිය. එය ශීතකරණයක තැන්පත් කරන්නේ නම් සති 07ක කාලයක් තබාගත හැකියත.

තව ද මේ සඳහා පොලිතින් වැඩි ආසුරුමක් භාවිතය මගින් ගබඩාකරණයේදී සිදුවන බරෙහි අඩුවීම ද වළක්වා ගත හැකිය.

මෙම ප‍්‍රතිකර්මය මගින් දිවුල් ගෙඩියේ රසය, පැහැය හෝ සුවඳ වෙනස් නොවන බව ද අවධානයට ගත යුතුය.

සැලකිය යුතු කරණ – මෙහිදී 4% ආප්ප සෝඩා ප‍්‍රතිකර්මය සඳහා භාවිතා කළ යුත්තේ පළුඳුවීම්වලින් තොර අස්වැන්න ලබාගත් අළුතම දිවුල් බව මතකයේ තබා ගත යුතුය.

පශ්චාත් අස්වැන්න පිළිබඳ තාක්ෂණ ආයතනයේ අත් පත‍්‍රිකාවක් ඇසුරිණ් සකස් කළේ – තුෂාර වල්ගම

RSL

Related Posts