දරුවෙකු දරුකමට හදා ගැනීමේදී දැන සිටිය ‘කුලවැද්දුම් නීතිය’

Spread the love

ලංකාවේ ජනතාව තුළ ‘නීතිය’ ගැන තිබෙන්නේ ඉතාම අල්ප දැනුමක්. මේ නිසා ඔවුන් එදිනෙදා ජීවිතයේදී වගේම යම් යම් විශේෂ අවස්ථාවලදී ද මුහුණ පාන දුෂ්කරතාවල නිමක් නැහැ. මෙය වෙනස් කළ හැකි වන්නේ ‘ජනතාව තුළ නීතිය පිළිබඳ සාක්ෂරතාව’ වර්ධනය කිරීමෙන් පමණයි.

එහෙත් එවැනි පියවරක් වෙත යාමට ‘අදාළ අංශ’ උනන්දුවක් දක්වන බවක් පෙනෙන්ට නැහැ. මේ තත්ත්වය තුළ එදිනෙදා ඔබ මුහුණ දෙන නෛතික ගැටලූ සම්බන්ධ නීතිමය පසුබිම වටහා දීම සඳහා විශේෂ ලිපි පෙළක් සම්පාදනය කිරීමට අප තීරණය කළා. මේ එහි පළමු ලිපිය.

මෙය උපුටා ගත්තේ පසුගිය 16 වැනිදා බී.බී.සී. සන්දේශය වෙබ් අඩවියේ පළ වූ ‘මංජුල ලසන්ත උක්වත්තගේ CSC නේෂන් ලංකා ආයතනය පුණ්‍ය කටයුත්තක් ද? .බේබි ෆාම්. එකක් ද ? යන ලිපියෙන්.

‘ස්වභාවික දෙමාපියන් හැර වෙනත් විවාහක හෝ අවිවාහක පුද්ගලයන් දරුවෙකු දරු කමට හදා වඩා ගැනීම ‘දරුවන් කුලවද්දා ගැනීම’ යන්නෙන් අදහස් වන අතර, ඊට අදාළ නීතිය 1941 අංක 24 දරණ දරුකමට හදාගැනීමේ ආඥා පනතේ සඳහන් වන බව නීතීඥ මදුෂි කොස්වත්ත අදහස් දක්වමින් පැවසුවාය.

Baby farm Sri Lanka
ඡායාරූප ශීර්ෂ වැකිය,නීතීඥ මදුෂි කොස්වත්ත

“මේ සම්බන්ධයෙන් දරුවා වගේම ඒ දරුවා හදා ගන්න අය සපුරාලිය යුතු අවශ්‍යතා කීපයක් පනතේ සඳහන් වෙනවා. ප්‍රායෝගිකව සිදු විය යුත්තේ, අධිකරණය හරහා පෙත්සමක් ගොනු කරළා ඉල්ලුම්කාර පාර්ශවය විදිහට දරු කමට හදා ගන්න ඉල්ලන යුවල හෝ තනි පුද්ගලයා සඳහන් කරන්න ඕනේ. එහි වගඋත්තරකරුවන් විදිහට දරුවාගේ නම සඳහන් කළ යුතුයි. ඊට අමතරව දරුවාගේ ස්වභාවික මව සහ පියාගේ කැමැත්ත අනිවාර්යයෙන් තිබිය යුතුයි,” ඇය සඳහන් කළාය.

“ඊට අමතරව රෙජිස්ටර් ජෙනරල් දෙපාර්තමේන්තුව සහ දරුවට අදාළ පරිවාස නිලධාරීන්ව වගඋත්තරකරුවන් ලෙස නම් කරළා, ඒ අයගෙන් කැමැත්ත විමසලා, දරුවාගේ උපරිම යහපත කියන සංකල්පය මත අධිකරණය තීරණයක් ලබා දෙනවා,” යැයි නීතීඥවරිය පැවසුවාය.

1941 අංක 24 දරණ දරුකමට හදාගැනීමේ ආඥා පනත ප්‍රකාරව දරුවෙක් දරුකමට හදා ගැනීමේදී සපුරාලිය යුතු අවශ්‍යතා:

  1. දරුකමට හදා ගැනීමට බලාපොරොත්තු වන දරුවා වයස අවුරුදු 14 ට අඩු විය යුතුය.
  2. වයස අවුරුදු දහයට වැඩි දරුවෙක් දරුකමට හදා ගැනීමට ගැනීමේදී, අධිකරණය දරුවාගේ කැමැත්ත විමසනු ඇත.
  3. දරුකමට හදා ගැනීමට ඉල්ලුම් කරන පාර්ශවය, එනම් යුවල හෝ තනි ‍පුද්ගලයා අවුරුදු 25 සම්පුර්ණ කර තිබිය යුතුය.
  4. දරුකමට හදා ගැනීමට ගන්නා පාර්ශවය සහ දරුවා අතර වයස පරතරය අවුරුදු 21 ට වැඩි විය යුතුය. නමුත් අදාළ දරුවා ඉල්ලුම්කරුගෙන් කෙලින්ම පැවත එන්නෙක් වන විට හෝ ඉල්ලුම්කරුගේ පුර්ණ හෝ අර්ධ සහෝදරයෙක් හෝ සහෝදරියක් වන විට හෝ ඔවුන්ගෙන් පැවත එන්නෙක් වන විට හෝ ඉල්ලුම්කාර පාර්ශවයේ සැමියාගේ හෝ බිරිඳගේ වෙනත් විවාහයක දරුවකු වන විට ඔවුන් අතර තිබිය යුතු අවුරුදු 21 වයස් පරතරය අත්‍යවශ්‍ය නොවේ.
  5. ගැහැණු දරුවෙකු දරුකමට හදා ගැනීමේදී ඉල්ලුම් කරන පාර්ශවය තනි පිරිමි පුද්ගලයෙකු නම්, ඔහුට ඒ සඳහා අධිකරණයෙන් අවසර නොලැබේ.vකෙසේනමුත්, විශේෂ ඥාති සම්බන්ධතා මත අවසර ලබා දීමට අධිකරණයට අභිමතයක් තිබේ.
  6. යුවලක් විසින් ඉල්ලුම් කරන විටෙක, දරුවා හදා ගැනීමට දෙදෙනාගේම කැමැත්ත අවශ්‍ය වේ. නමුත්, ඔවුන් දික්කසාද වී සිටී නම් හෝ එක් පාර්ශවයක් සොයාගත නොහැකි නම් හෝ කලත්‍රයා මානසික ආබාධයකින් පසුවෙයි නම්, දෙදෙනාගේම කැමැත්ත අවශ්‍ය නොවේ.
  7. දරුවෙක් හදාගැනීමට ගැනීමක දී, ඔහුගේ/ ඇයගේ ස්වාභාවික දෙමවුපියන්ගේ කැමැත්ත ලබාගැනීම අනිවාර්ය වේ. දරුවාගේ දෙමව්පියන් විවාහක නම් දෙමාපිය දෙදෙනාගේම කැමැත්තද, අවිවාහජ දරුවෙකු නම් (පියෙකු නොමැති නම්) මවගේ කැමැත්ත ද අවශ්‍ය වන අතර, භාරකරුවෙක් යටතේ දරුවා සිටින විටෙකදී, එම භාරකරුගේ කැමැත්ත ද අවශ්‍ය වේ.
  8. නමුත් මෙසේ කැමැත්ත ලබාගත යුතු පුද්ගලයා දරුවාව අත හැර ගොස් සිටී නම් හෝ දරුවා නඩත්තු කිරීම පැහැර හැර ඇත්නම් හෝ සිහි විකල් වූවෙක් නම්, ඔහුගේ/ ඇයගේ කැමැත්ත විමසීමක් අවශ්‍ය නොවන අතර දිසා අධිකරණයට දරුවා පිළිබඳ තීරණයක් ගත හැකි වේ. දිසා අධිකරණය දරුවන්ගේ ඉහළම භාරකරු වශයෙන් සැළකීම මීට හේතු වේ.
  9. දරුවෙකු හදා ගැනීමට ගැනීම සම්බන්ධයෙන් දරුවාගේ ස්වභාවික දෙමව්පියන් හෝ භාරකරු වෙත මුදලක් හෝ ත්‍යාගයක් ගනුදෙනුවක ආකාරයෙන් ලබා දීම දීම හෝ දීමට පොරොන්දු විය නොහැක.
  10. දරුවා හදාගැනීමට ගැනීමෙන් පසුව දරුවාට නමක් යෝජනා කිරිමට කුලවද්දා ගත් දෙමාපියන්ට හැකි අතර, කුලවද්දා ගත් පියාගේ පෙළපත් නාමය දරුවාට ලබා දිය හැකිය.
Baby farm Sri Lanka

දරුවාගේ උපරිම යහපත පිළිබඳ සංකල්පය යනු කුමක්ද?

දරුකමට හදා ගැනීමේ ආඥා පනතේ 4 වන වගන්තිය, දරුවාගේ උපරිම යහපත පිළිබඳ සංකල්පය සම්බන්ධයෙන් විස්තර කර ඇත.

දරුවන්ගේ ඉහළම භාරකරු වශයෙන් හඳුන්වන්නේ දිසා අධිකරණය වන අතර, දරුවා කුලවද්දා ගැනීමට අදාළ නියෝගය ප්‍රකාශ කිරීමට පෙර දරුවා හදාගැනීමට දීමෙන් ඔහු හෝ ඇයගේ උපරිම යහපත සැලසී ඇත්ද යන්න පිළිබඳ සොයා බැලිය යුතුය.

මෙහිදී මූලික වශයෙන් සලකා බලන කරුණු නම්:

  1. දරුවාගේ කායික සහ මානසික යහපත
  2. දරුවාගේ සෞඛ්‍යමය යහපත
  3. දරුවාගේ මුල්‍යමය තත්වයට අදාළ කරුණු
  4. දරුවාගේ සදාචාරාත්මක පැවැත්මට අදාළ කරුණු

“තනි පුද්ගලයෙකුට දරුවෙක් හදා ගන්න පුළුවන් කියලා පනතේ තිබුණට, අධිකරණයෙන් ඒකට අවසර දෙන්නෙම නැති තරම්. කොහොම වුණත්, දරුවන් කුලවද්දා ගැනීම සම්බන්ධයෙන් ලංකාවේ පවතින්නේ යල් පැනගිය නීතියක්. 1940 ගණන්වලට අදාළ මේ නීතිය අනිවාර්යයෙන් සංශෝධනය විය යුතුයි,” නීතිඥ මදුෂි කොස්වත්ත පැවසීය.

“මේ නීතියේ සෑහෙන හිඩැස් තියෙනවා. ඒ හිඩැස්වල තමයි CSC නේෂන් ලංකා වගේ ආයතන එල්ලිලා ඉන්නේ. මේ යල් පැනගිය නීති නිසා ඇත්තටම දරුවෙකුගේ අවශ්‍යතාව තියෙන යුවලකට දරුවෙකු හදාගන්න එක අමාරු වෙන අවස්ථා අපි අත්දැක තියෙනවා.”

Baby farm Sri Lanka

ළමා නිවාසවල සිටින දරුවන් කුලවද්දා ගැනීම සිදුවන්නේ කෙසේද?

ළමා නිවාසවල සිටින දරුවන් සම්බන්ධයෙන් වගකීම ඇත්තේ අදාළ පළාතේ ළමා හා පරිවාස කොමසාරිස්වරයාටය.

  1. ඒ අනුව, ළමා නිවාසයක සිටින දරුවෙකු හදා ගැනීමට ඉල්ලුම් කිරීමේ දී ප්‍රථමයෙන් අවසර ලබා ගත යුත්තේ පරිවාස හා ළමා කොමසාරිස්වරයාගෙනි. ඒ සඳහා අදාළ ළමා නිවාසය පිහිටි බල ප්‍රදේශයේ ළමා හා පරිවාස කොමසාරිස්වරයා වෙත ලිඛිත ඉල්ලීමක් සිදුකළ යුතුය.
  2. මෙහි දී ඉල්ලුම්කාර පාර්ශවය නිත්‍යානුකුලව විවාහ වී සිටීම අවශ්‍ය වන අතර, ඔවුන් අදාළ අධිකරණ බල ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවන් විය යුතුය.
  3. පිරිමි ඉල්ලුම්කරුවන්ගේ වයස අවුරුදු 25ත් 55ත් අතර විය යුතු අතර, කාන්තා ඉල්ලුම්කරුවන් වයස අවුරුදු 25 ත් 50 ත් අතර විය යුතුය.
  4. අදාළ පාර්ශවයට දරුවෙකු හදා ගැනීමට සරිලන ආර්ථික තත්වයක් පවතින බව ඔප්පු කළ යුතුය.
  5. ඔවුන් හොඳ කායික සහ මානසික යහ පැවැත්මෙන් යුක්ත බව පෙන්වා දිය යුතුය.
  6. ඔවුන්ට දරුඵල නොමැති බව වෛද්‍ය සහතිකයකින් පෙන්වා දී තිබිය යුතුය.
  7. දරුවාගේ සුභසාධනය වෙනුවෙන් දරුවාගේ නමින් බැංකු ගිණුමක් අරඹා පවත්වා ගෙන යාමේ කොන්දේසියට ද අදාළ පාර්ශවය එකඟ විය යුතුය.

දරුවෙකු කුලවද්දා ගැනීමට ගැනීම සඳහා අධිකරණයෙන් තාවකාලික ආඥාවක් පමණක් නිකුත් කර තිබෙන අවස්ථාවක, දරුවා නැවත ළමා නිවාසයට භාරදීමේ හැකියාව ඇති නමුත්, අධිකරණය මඟින් ස්ථිර ආඥාවක් නිකුත් කළ පසුව එසේ කළ නොහැකිය.

“නීතියේ තියෙන යම් දුර්වලතා නිසා, ළමා නිවාසයකින් දරුවෙක් හදා ගන්න ඉල්ලනකොට පරිවාස නිලධාරීන් හරි ඉක්මනට ඒ ක්‍රියාවලිය සම්පූර්ණ කරන තත්වයක් තියෙනවා. ඒ වගේ දේවල් CSC නේෂන් ලංකා වගේ ආයතනවලට වාසි සහගත වෙලා තියෙනවා.”

“ශ්‍රී ලංකාවේ ගබ්සා කිරීම තහනම් වීම යන කාරණය මත, සමහරවිට ඔවුන් මේ සිදුකරන්නේ හොඳ දෙයක් වෙන්න පුළුවන්, නමුත් මංජුල කියන පුද්ගලයා මේ ලබා දෙන අනවශ්‍ය ප්‍රචාරය දැක්කාම ඕනෑම කෙනෙකුට සාධාරණ සැකයක් මතු වෙනවා,” නීතිඥවරිය තවදුරටත් පැවසුවාය.

ශ්‍රී ලංකාවේ ගබ්සා නීතිය

ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 303 වගන්තිය අනුව ගබ්සාවක් කළ හැක්කේ කළලයෙන් මවගේ ජිවිතයට හානියක් වන අවස්ථාවකදී පමණි.

Baby farm Sri Lanka

ගබ්සා කිරීම සම්බන්ධයෙන් පවතින දැඩි නීති හේතුවෙන්, ස්ත්‍රී දූෂණ, කළලයේ බරපතළ විකෘතිතා, පවුල් සැලසුම් ක්‍රම අසාර්ථකවීම, ව්‍යභිචාර වැනි අවස්ථාවලදී ඇතිවන ගැබ් ගැනීම් ඉවත් කිරීමට නොහැකි නිසා කාන්තාවන් විශාල ගැටළු රැසකට මුහුණ දෙන තත්වයක් දැකිය හැකිය.

දියුණු රටවල මෙන් ශ්‍රී ලංකාව තුළ තනි මවකට දරුවෙකු හදා වඩා ගැනීමට රජයෙන් සහයක් නොලැබෙන අතර, සමාජයෙන් එල්ල වන පීඩනය අන් සියල්ලට වඩා අසීරුය.

ගබ්සා නීතිය ලිහිල් කරන ලෙස කාන්තා සංවිධාන, වෛද්‍යවරුන් ඇතුළු බොහෝ දෙනෙක් වසර ගණනාවක් තිස්සේ විවිධ ඉල්ලීම් කළ නමුත් ඒ සෑම අවස්ථාවකම ආගමික නායකයන්ගෙන් එල්ල වූ විරෝධය හේතුවෙන් කිසිදු රජයක් එම ඉල්ලීම් ක්‍රියාත්මක කළේ නැත.

මේ අතර, ලොව පුරා රටවල් ගණනාවක ගබ්සාව සම්බන්ධයෙන් පවතින නීති ලිහිල් කර තිබේ.

විදේශිකයෙකු ශ්‍රී ලංකාවේ දරුවෙකු කුලවද්දා ගැනීමට අදාළ නීති මොනවා ද?

විදේශීය රටක පුරවැසිභාවය හිමි අයෙකුට වුව ද ශ්‍රී ලංකාවේ දරුවෙක් කුලවද්දා ගැනීම සඳහා ඉල්ලුම් කළ හැකිය. එහිදී පහත සඳහන් කරුණු අත්‍යවශ්‍ය වේ:

  1. අදාළ දරුවා රජයේ ලියාපදිංචි අනාථ නිවාසයක සිටින දරුවෙක් විය යුතුය.
  2. එම දරුවා තෝරා දීමේ කාර්යය පරිවාස හා ළමා කොමසාරිස් විසින් සිදු කළ යුතුය.
  3. විදේශීය ඉල්ලුම්කරු සම්බන්ධයෙන් ඔහුගේ රටේ වගකිවයුතු ආයතනයකින් ලබාගත් පොලිස් වාර්තාවක්, ඔහුගේ වටපිටාව සම්බන්ධ වාර්තාවක් සහ එරට සිටින ශ්‍රී ලංකා තානාපතිවරයාගෙන් ලබාගත් වාර්තාක් ද ඉදිරිපත් කළ යුතුය.
  4. විදේශිකයෙක් ශ්‍රී ලංකාවේ දරුවෙක් කුලවද්දා ගැනීමෙන් පසු එම දරුවාට වයස අවුරුදු 10 වන තෙක්ම සෑම සය මසකට වරක් දරුවා පිළිබඳ ප්‍රගති වාර්තා අදාළ ඡායාරූප ද සමඟ පරිවාස හා ළමා කොමසාරිස් වෙත එවිය යුතුය.
Tags: