ජ’පුර සරසවියේ සොයාගැනීම් ගැන ‘මහාචාර්ය නීලිකා මලවිගේ’ කරන සම්පූර්ණ හෙළිදරව්ව !
- RSL
- November 4, 2020
- පුවත් සහ වාර්තා, විමර්ශන
- featured
- 0 Comments
ශ්‍රී ලංකාව තුළ පෙර වතාවේ පැතිර ගිය වෛරසය නොවන බවත් ඊට සාපේක්ෂව අතිශයින් දරුණු වෛරසයක් බවත්, යුරෝපයෙන් පැමිණි බවත් එකී දුර්මත අතර වේ.
මහාචාර්ය නීලිකා මලවිගේ – ක්ෂුද්රජීව විද්‍යා අංශයවෛද්‍ය විද්‍යා පීඨයශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
ගෝලීයකරණයේ අයහපත් ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව වසරකට ආසන්න කාලයක් මුළුල්ලේ පියවි ඇසට නොපෙනෙන සතුරකු හා සටන් වදිමින් සිටී. ඒ සතුරා වනාහී කොවිඩ් -19 ය.
මෙකී වසංගත තත්ත්වය සොයා බැලීම සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් මෙහෙය වනු ලැබූ විශේෂ පර්යේෂණයක ප්‍රතිඵල මේ වන විට සමාජය තුළ සැලකිය යුතු කතාබහකට ලක්වී තිබේ. එහෙත් එම සැලකිය යුතු කතාබහ අතරින් ඇතැම්විට පරීක්ෂණයේ නිගමනවලට පරිබාහිර වූ දුර්මත කිහිපයක් ද සමාජය සිසාරා පැතිර යන බවක් පෙනෙන්නට තිබේ. මෙම වෛරසය ශ්‍රී ලංකාව තුළ පෙර වතාවේ පැතිර ගිය වෛරසය නොවන බවත් ඊට සාපේක්ෂව අතිශයින් දරුණු වෛරසයක් බවත්, යුරෝපයෙන් පැමිණි බවත් එකී දුර්මත අතර වේ.

කොවිඩ් – 19 රෝගය වැළදෙන්නේ SARS – CoV2 වෛරසයෙනි. මේ කියන්නාවූ SARS – CoV2 වෛරසය ලෝකය පුරා හැමතැනම පවතින්නේ එක ම වෛරසයකි. ඇමරිකාවේ, එංගලන්තයේ, ජපානයේ, ශ්‍රී ලංකාවේ ආදි වශයෙන් සියලු රටවලට පවතින්නේ එකම වෛරසයකි. තවදුරටත් කිවහොත් SARS – CoV2 වෛරස පවතින්නේ එකක් බව පළමුකොට පැහැදිලි ව අවබෝධ කරගත යුතු ය.
එහෙත් එම වෛරසයේ සුළු සුළු ජානමය වෙනස්කම් හේතුවෙන් ප්‍රභේදවලට වෙන් කෙරේ. විශේෂයෙන් ම යම් වසංගත තත්ත්වයක් පැතිර යන විට ඊට අදාළ වෛරස ජානමය පරීක්ෂාවට ලක් කරන්නේ වෛරසය කෙතරම් සීඝ්රයෙන් පැතිර යනවාද? එහි ප්‍රභේද කිහිපයක් එකම අවස්ථාවේ සංසරණය වීමේ තත්ත්වයක් පවතින්නේද? පාලනය කිරීම කෙතරම් දුරකට කරගත හැකිද? යන කරුණු පිළිබඳව සොයාබැලීමට ය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් SARS – CoV2 වෛරස් ජානමය පරීක්ෂාවට ලක් කිරීම ආරම්භ කළේ පළමු ශ්‍රී ලාංකික කොවිඩ් -19 ආසාදිතයා වාර්තා වූ ඉකුත් මාර්තු මාසයේ සිටම ය. මේ වන විට රට තුළ කොවිඩ් – 19 වසංගත අවදානම බරපතල තත්ත්වයකට පත්ව ඇති බව නොරහසකි.
කොවිඩ් -19 පළමු රැල්ල සාර්ථක ව මැඩපැවැත්වූ පසු නැවතත් එම වසංගතයේ දෙවැනි රැල්ලක් හිස එසවීම සම්බන්ධයෙන් කරුණු සොයා බලා පර්යේෂණයක් සිදු කරන ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඉල්ලීමක් ලැබුණේ සෞඛ්‍ය අමාත්‍යංශයෙනි. ඒ සඳහා අවශ්‍ය මූල්‍යාධාර ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ලබාදුනි.
ඉකුත් මාර්තු මාසයේ මේ වෛරසයේ ප්‍රභේද කිහිපයක් අපේ රට තුළ හදුනාගත හැකි විය. ඒ විවිධ රටවල පුද්ගලයින් ශ්‍රී ලංකාවට පැමිණීම හේතුවෙනි. ඒ ඒ රටවල ඒ වන විට පැවති කොවිඩ් -19 තත්ත්වයෙන් බේරී සිටීමට රටවල් රැසක පුද්ගලයින් මෙරටට පැමිණ සිටීමත් සමඟ මාර්තු මාසයේ ශ්‍රී ලංකාවේ SARS – CoV2 වෛරසයේ ප්‍රභේද කිහිපයක් ම පැවැතිණි.
මාර්තු අග වන විට රට ලොක්ඩවුන් කිරීමත් සමඟ රජය සහ මහජනතාව සිය යුතුකම් නොපිරිහෙළා ඉටු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස කොවිඩ් -19 වසංගත තත්ත්වය සාර්ථකව මැඩපැවැත්වූ රටවල් අතර ඉහළින් ම සිටීමේ භාග්‍යය ශ්‍රී ලංකාවට හිමි විණි. එහෙත් එහි සතුට වැඩි කලක් භුක්ති විදිය නොහැකි වූයේ කන්දකාඩු පොකුර මතු වීම හේතුවෙනි.
කෙසේ වෙතත් කන්දකාඩු පොකුරේ වූ වෛරස ප්රභේදත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම විසින් පරීක්ෂණයට ලක් කළේ ය. ඉන් අනතුරුව බ්‍රැන්ඩෙක්ස් පොකුරත් සමඟ නොසිතූ විරූ එකවරම මතු වූ නව කොවිඩ් රැල්ලේදී විශේෂයෙන් අනාවරණය කරගත යුතු වූ කරුණු වූයේ යටගොස් තිබී යළි එලෙස මතු වූයේ කන්දකාඩු පොකුරේ වූ වෛරස ප්‍රභේදයද? නොඑසේ නම් වෙනයම් ප්‍රභේදයක්ද? හිටි හැටියේ සිදු වූයේ කුමක්ද යන්නයි.

පර්යේෂණ ප්‍රතිඵල අනුව සනාථ වූයේ මෙවර පැතිර යන්නේ ශ්‍රී ලංකාව තුළ පෙර වතාවේ පැතිර ගිය වෛරස ප්‍රභේද නොව, ඊට වඩා වෙනස් තත්ත්වයේ වෛරස් ප්‍රභේදයක් බව ය. ප්‍රභේද කිහිපයකින් මෙසේ හදුනාගත හැක්කේ SARS – CoV2 වෛරසය යි. සුළු සුළු ජානමය වෙනස්කම්වලට අනුව ප්‍රභේද කිහිපයකට වෙන්කොට ඇත.
එසේ වෙන්කොට හදුනාගන්නා ප්‍රභේදවලින් එක ප්‍රභේදයක් අනිත් ප්‍රභේදයට වඩා වැඩිපුර දරුණු බවක් පැවැසිය නොහැක. ඒ සියලු ප්‍රභේද එක ලෙස ම දරුණු ය. ශ්‍රී ලංකාව තුළ මේ වන විට හඳුනාගත හැකි ප්‍රභේදය පෙර වතාවේ වූ ප්‍රභේදවලට වඩා දරුණු යැයි කීමට කිසිදු සාධකයක් නැත. ඒ කෙසේ වෙතත් පරිණාමය නමින් යමක් සිදු වන බව අපි කවුරුත් දනිමු. සත්ත්වයෙකු පරිණාමය වන්නේ වැඩි වශයෙන් ඒ අදාළ පරිසරයට හැඩගැසීමට සහ තම වර්ගයා බෝකිරීමට ය.
මෙම වෛරසයට ද ඊට එහා ගිය වෙනත් අරමුණක් නැත. එසේ නම් මේ වෛරසය වැඩිපුර බෝවීමට නම් එහි සුළු සුළු පරිණාමීය වෙනස්කම් සිදු වේ. ඒ අනුව බලන කල මේ වන විට මේ වෛරසයේ ලෝකයේ පවතින සියලු ප්රභේදවල මේ කියන්නා වූ අන්දමෙන් සුළු සුළු ජානමය වෙනස්කම් ඇති වී ඇත්තේ වැඩිපුර වෛරස් ප්‍රමාණයක් නිපදවීමට ය.
නිදසුනක් ලෙස කිවහොත්, මෙරට තුළ මුල් වරට වූ වෛරස ප්‍රභේදයෙන් ආසාදනය වූ විට ආසාදිතයකුගේ ශ්වසන තරලවල මිලියනයක් පමණ වෛරස් පැවතියේ නම් වර්තමානයේ හඳුනාගත හැකි වෛරස් ප්‍රභේදයෙන් ආසාදනය වූ විට වෛරස් බිලියනයක් පමණ පවතී. ශ්වසන තරලවල මිලියනයක් වෙනුවට බිලියනයක් වෛරස් පවතින විට ඒ පුද්ගලයාගේ වැඩිපුර ප්‍රමාණක් ආසාදනය වී ඇති බව අමුතුවෙන් කිව යුතු නැත.
මේ කරුණ පර්යේෂණයක් සිදු නොකර ද කිව හැකි ය. ඒ කෙසේද යත්, අප හොඳින් දන්නා කරුණක් නම්, ඉකුත් මාර්තු මාසයේදී ආසාදිතයන් සමඟ බිග් මැච් ගොස් එක ම වීදුරුවෙන් බිව් අය අතරින් ද සමහරකු ආසාදනය නොවී ගැලවුණමුත් මෙවර පෑලියගොඩින් මාළු මිලදී ගැනීමට ගොස් විනාඩි 15කට වැඩි කලක් එම ස්ථානයේ සිටගෙන සිටි අයට ද කොවිඩ් -19 ආසාදනය වි තිබේ. ඒ අනුව මෙවර වෛරස ප්‍රභේදයෙන් වැඩිපුර ආසාදනයට ලක් වන බව හොඳින් පැහැදිලි ය.

ලෝකයේ මේ වෛරසය වැඩිපුර ම සංසරණය වන රටවල පැතිරෙන වෛරස ප්රභේදවල මෙයාකාර වූ සුළු සුළු ජානමය වෙනස්කම් පවතින අතර ශ්‍රී ලංකාවේ ද මේ වන විට එම තත්ත්වය පැහැදිලි ව පෙනෙන්නට තිබේ.
කෙසේ වෙතත් මේ වන විට ශ්‍රී ලංකාවේ පැතිර යන් SARS – CoV2 වෛරස ප්‍රභේදය යුරෝපයෙන් පැමිණි ප්‍රභේදයක් බවට වන දුර්මතයක් මේ වන විට සමාජගත වෙමින් පවතී. මේ වෛරස ප්‍රභේදය මුලින් ම හඳුනාගත්තේ යුරෝපයෙනි. මුල් වරට යුරෝපයෙන් හඳුනාගත්තා යන්නෙන් මේ වෛරස් ප්‍රභේදය යුරෝපයෙන් ම ශ්‍රී ලංකාවට පැමිණි බවක් කියවෙන්නේ නැත. ඒ වෛරස ප්‍රභේදය ඉන්දියාවෙන්, කොරියාවෙන්, ඇමරිකාවෙන්, ලෝකේ කොහෙන් හෝ ශ්‍රී ලංකාවට ආවා විය හැකි ය.
ඒ කෙසේ වෙතත් ජානමය පරික්ෂාවකට ලක්කිරීමෙන් කිසිවිටකත් කිව නොහැකි ය මෙම වෛරස් ප්‍රභේදය කොහෙන් පැමිණියාද? යන කාරණය. එසේ ම මෙම ප්‍රභේදය යුරෝපයෙන් පැමිණි බව කීමට අපට කිසිඳු සාධකයක් ද නැත.
චීනයේ වූහාන්වලින් කොවිඩ් – 19 ආසාදිතයින් වාර්තා වූයේ ඉකුත් දෙසැම්බරයේ අග ය. පෙබරවාරි මාසය වන විට ලෝකයේ රටවල් ගණනාවකට කොවිඩ් -19 වසංගතය පැතිරී ගොස් තිබුණි.
මෙවර වෛරස ප්‍රභේදය මුල් වරට හඳුනාගත්තේ යුරෝපයෙන් වුවත් සති 06ක් ගතවන විට ලෝකයේ හැම හැම තැනම පැතිරී අවසන් ය. ඒ ඕනෑම රටකින් SARS – CoV2 වෛරසයේ මේ ප්‍රභේදය ශ්‍රී ලංකාවට පැමිණියා විය හැකි ය. එබැවින් මේ වන විට ශ්‍රී ලංකාවේ පවතින වෛරස ප්‍රභේදය යුරෝපයෙන් ආ ප්‍රභේදයක් බව සැක හැර කිව නොහැක. එබැවින් එවැනි වැරදි මත ඇති කරගත යුතු නොවේ.
කෙසේ වෙතත් පොදු මහජනතාවට වැදගත් වන්නේ ඔය කිසිවක් නොවේ. මේ වන විට ශ්‍රී ලංකාවේ පැතිර යන්නේ SARS – CoV2 වෛරසයේ කිනම් ප්‍රභේදයක්ද? එම ප්‍රභේදය සමාන වන්නේ කුමන රටක පැතිර යන ප්‍රභේදයටද? යන කිසිවක් නොව, මහජනතාව සිහි තබා ගත යුත්තේ මේ වෛරස ප්‍රභේදය පෙර වතාවේ වූ ප්‍රභේදයට වඩා සීඝ්රයෙන් පැතිර යන බව ය. එය වටහා ගැනීමට අමුතුවෙන් පරීක්ෂණයක් අවශ්‍ය වන්නේ ද නැත.

වෛරසය පැතිර යෑමේ සීඝ්‍රතාව වැඩි වී ඇති බව රටේ තත්ත්වය දෙස බැලූ බැල්මට ම පෙනෙන්නට තිබේ. එවිට මහජනතාව සිදු කළ යුත්තේ පෙරටත් වඩා වැඩි උනන්දුවකින් හා සැලකිලිමත් භාවයකින් සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම ය. පෙර සිටියේ මීටරයක දුරින් නම් දැන් ඊටත් වඩා සමාජ පරතරයක් තබාගත යුතු ය. මුව ආවරණය නිවැරදි ව නාසය සහ මුඛය ආවරණය වන පරිදි පැළඳිය යුතු ය. නිතර සබන් හෝ විශබීජ නාශක යොදා දෑත් පිරිසිදු කිරීමේ පුරුද්ද අත් නොහළ යුතු ය. වැදගත් ම කරුණ වන්නේ අනවශ්‍ය ගමන්බිමන් නොයා නිවෙසට වී සිටීම ය.
නිරෝධායන ඇඳිරි නීතිය බල නොපැවැත්වෙන පළාත්වල ද උත්සව, පිංකම්, රැස්වීම් සියල්ල සීමා කිරීම අනිවාර්යයෙන් ම සිදු කළ යුත්තකි. නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් නොසැලකිලිමත්ව, කොවිඩ් -19 පැතිර යෑමට තුඩු දෙන පරිදි රිසි සේ හැසිරීම, පිට පළාත්වලට ද බස්නාහිරට අත්ව ඇති ඉරණම අත්වීමට හේතුවක් විය හැකි ය.
අවශ්‍ය වන්නේ රටම වසා දමන තැනට වැඩ කිරීම නොවේ. රටක් ලොක්ඩවුන් කිරීම තුළ ජන ජීවිතවල උද්ගත වන ප්‍රශ්න පිළිබඳව අපට අමුතුවෙන් කිවයුතු නැත. දැන් අපි එය අත්දැකීමෙන් ම දනිමු. එහි දුක්ඛිතම තත්ත්වය වන්නේ එදා වේල හරිහම්බ කරගෙන කෑ මිනිසුන්ට කන්න නැති වීම ය. එපමණක් ද? ජන ජීවිතය අඩාල වේ. සුළු පරිමාණයේ පටන් මහා පරිමාණය දක්වාම වන ව්‍යාපාර කඩා වැටීමට ලක්වෙමින් එය රටේ සමස්ත ආර්ථිකයේ ම කඩා වැටීමකට තුඩු දෙනු ඇත.
මෙයාකාර වන ගැටලුකාරි තැන් සැලකිල්ලට ගැනීමේදී ලොක් ඩවුන් කිරීමක් සිදු කරන්නේ කරන්නට වෙන කිසිවක් ම නැති වූ තැන ය. එබැවින් එතැනට නොයා සිටීම වෙනුවෙන් තම තමන්ගේ යුතුකම හැකි උපරිමයෙන් ඉටු කිරීම මේ අවස්ථාවේ සියලු රට වැසියන්ගෙන් අපේක්ෂා කරමු. පළමුකොට තමන් කොවිඩ් -19 ආසාදිතයකු නොවීමට වගබලා ගත යුතු ය. ඒ වෙනුවෙන් සියලු සෞඛ්යාරක්ෂිත උපදෙස් පිළිපදිමින් ප්‍රවේසම් විය යුතු ය.
යම් හෙයකින් තමන් මේ වෛරසයේ ගොදුරක් බවට පත් වුවහොත් තවකෙකු ආසාදිතයකු බවට පත් නොකිරීමට වග බලා ගත යුතු ය. ඒ කියන්නා වූ සමාජ වගකීම කවුරු කවුරුත් තදින් මනසට කාවද්දා ගැනීම වටී. මන්ද මෙවර අප මුහුණ පා සිටින වෛරස ප්‍රභේදයේ පැතිර යෑමේ සීඝ්‍රතාව පෙරට වඩා බොහෝ සෙයින් වැඩි ය.
මෙම වෛරස ප්‍රභේදය මෙරට තුළ පෙර වතාවේ පැතිර ගිය වෛරස ප්‍රභේදයට වඩා දරුණු බවක් හෝ ආසාදිතයකුගේ රෝගී තත්ත්වයේ නැතිනම් රෝග ලක්ෂණවල වෙනසක් නොමැත. එහෙත් පැතිරීමේ සීඝ්‍රතාව පමණක් වැඩි වී ඇත. එබැවින් ඔබ දැන් පෙර මෙන් දෙගුණයකින් ආරක්ෂා විය යුතු ය. සමීපතමයින් ආරක්ෂා කළ යුතු ය. රට වෙනුවෙන් යුතුකම් ඉටු කළ යුතු ය.
මහාචාර්ය නීලිකා මලවිගේක්ෂුද්රජීව විද්‍යා අංශයවෛද්‍ය විද්‍යා පීඨයශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
සටහන – කාංචනා සිරිවර්ධන

