ජන ගැටළු විසඳන්න ජනපති ගමට යයි

Spread the love

පළමු හමුව හල්දුම්මුල්ලේ : ගැටළු කියන්නැයි ජනතාවට ඇරයුම් …

ජනතාව අතරට ගොස් ඔවුන් මුහුණ පා සිටින විවිධ ගැටළු ඝෘජුවම හඳුනාගෙන නොපමාව විසඳුම් දීම පිණිස ගමින් ගම චාරිකා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සැලසුම් කර තිබේ.

ජනතාව පීඩාවට පත්කරන ප්‍රශ්න සියැසින් දැක ඔවුන්ගේ දුක් ගැනවිලි  තමාම ශ්‍රවණය කොට නිවැරදි අවබෝධයක් ලබා ගනිමින් සහන සැලසීම ජනපතිවරයාගේ අපේක්ෂාවයි.

ප්‍රථම චාරිකාව සඳහා බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තෝරාගෙන ඇත. ජන හමුව හපුතලේ අක්කර 100 ගම්මානයේ, කුමාරතැන්න විද්‍යාලයේ දී ලබන සිකුරාදා (25) උදේ 10.00 ට ඇරඹේ.

ගම්බද ජනතාව බොහෝ කල් නොවිසඳී ඇති ආර්ථික හා සාමාජයීය ගැටළු නිසා දුෂ්කරතා පිරි ජීවිතයක් ගත කරන බව ජනපතිවරයා ජනාධිපතිවරණ සහ මහමැතිවරණ සමයේ රට පුරාම පාහේ කළ චාරිකාවලදී පසක් විය. ජීවනෝපාය ගැටළු, ඉඩම් හා නිවාස හිඟය, ඉඩම්වලට නිරවුල් ඔප්පු නොතිබීම, සෞඛ්‍ය සහ ප්‍රවාහන සේවා ප්‍රමාණවත් නොවීම, දරුවන්ගේ අධ්‍යාපන ගැටළු සහ පාසල් අඩු පාඩු, වගා සහ පානීය ජල හිඟය,  වන අලි ගම්වැදීම, කෘෂි නිෂ්පාදන අළෙවි කර ගැනීමේ අපහසුව එසේ හඳුනාගත් ප්‍රශ්න අතර ප්‍රධාන තැනක් ගනී.

ගම්බද ජනතාවට ඇති දුෂ්කරතා අවබෝධ කොටගෙන ඒවා කඩිනමින් විසඳීමට සහය විය යුතු රාජ්‍ය ආයතනවල උදාසීනතාව සහ අකාර්යක්ෂමතාව තවත් මුල් පෙළේ ගැටළුවකි.

ජනාධිපතිවරයාගේ ග්‍රාම නිරීක්ෂණ චාරිකා සංවිධාන කෙරෙන්නේ ජනතාවට ප්‍රමුඛත්වය දෙමිනි. වැය කරන මුදල හැකි අවම මට්ටමේ තබා ගැනේ. නිලධාරී කණ්ඩායම් කොළඹින් ගෙන යන්නේ නැත. ජන ගැටළු විසඳීමේ දී ප්‍රදේශයේ නිලධාරිහූ පමණක් සහභාගි කර ගැනෙති. ජන හමුවලට පැමිණ තමන්ට ඇති ප්‍රශ්න දැනුම් දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ.

ඉදිරිපත් වන ගැටළුවලට හැකි සෑම විටම එසැණ විසඳුම් දීම ජනාධිපතිගේ අපේක්ෂාවයි. විසඳීමට කල්ගත වන ගැටළු පමණක් පසුව නිරාකරණය පිණිස සටහන් කොට ගනු ලැබේ.

සිකුරාදා නිරීක්ෂණ චාරිකාව සඳහා තෝරාගෙන ඇති හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම සේවා වසම් 02කි. ඒවායේ පවුල් 222ක් පදිංචිව සිටිති. ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය වී, ගම්මිරිස් සහ කුරුඳු වගාව හා හේන් ගොවිතැනයි. ජන හමුව පැවැත්වෙන කුමාරතැන්න විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුන් සංඛ්‍යාව 17කි.

Tags: