ජනපති, අගමැති නම කී පමණින් පාසලට ළමයි ගන්න එපා – විදුහල්පතිවරුනට තරයේ උපදෙස්
- RSL
- September 16, 2020
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
ජනාධිපතිවරයාගේ, අග්‍රාමාත්‍යවරයාගේ සහ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්ගේ නම් සඳහන් කරමින්, පාසල්වලට ළමයින් ඇතුළත් කර ගන්නා ලෙස කරන ඉල්ලීම් නොපැකිළ ප්‍රතික්ෂේප කරන්නැයි සියලු විදුහල්පතිවරුනට උපදෙස් දෙන බව ජනාධිපති මාධ්‍ය අංශය අද (16) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.
එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය,
ජනාධිපතිතුමාගේ, ජනාධිපති කාර්යාලයේ නිලධාරීන්ගේ, අග්‍රාමාත්‍යතුමාගේ, අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරීන්ගේ සහ වෙනත් ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්ගේ නියෝගයක් බව සඳහන් කොට පාසල්වලට ළමයින් ඇතුළත් කර ගන්නා ලෙස බලපෑම් කරමින් විදුහල්පතිවරුන් වෙත ලිපි යොමු කිරීමට ඇතැම් දෙනා පෙළඹී සිටිති. සමහර අවස්ථාවල රජයේ නිලධාරීන් ද මෙවැනි ලිපි යවන බව නිරීක්ෂණය කර ඇත.
විදුහල්පතිවරුන් තම පාසලට ළමයින් ඇතුළත් කර ගැනීමේ දී එබඳු කිසිදු ලිපියක් පදනම් කර නොගත යුතුය. ළමයින් පාසල්වලට ඇතුළත් කළ යුත්තේ සම්මත රෙගුලාසි සහ පරිපාටිය අනුවම පමණි.
මේ නියමය කඩකරන විදුහල්පතිවරුනට එරෙහිව දැඩි පියවර ගන්නා බව ජනාධිපති ලේකම්වරයා සියලු විදුහල්පතිවරුනට දැනුම් දෙයි.

