ග්ලයිෆොසේට් භාවිතය තේ සහ රබර් සඳහා පමණයි

Spread the love

සියලු බෝග සඳහා ග්ලයිෆොසේට් භාවිතයට ලබාදුන් අවසරය ඊයේ (16දා) දිනය වන විට යළි තේ සහ රබර් සඳහා පමණක් සීමා කර ගැසට් පත්‍රයක් නිකුත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

2015 වසරේදී ගැසට් නිවේදනයක් මඟින් රසායනික ග්ලයිෆොසේට් අඩංගු කෘමිනාශක සඳහා නිකුත් කරන ලද සෑම බලපත්‍රයක්ම අවලංගු කළ අතර පසුගිය 11 වැනිදා පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් විසින් නිකුත් කරන ලද ගැසට් පත්‍රයක් මඟින් එම තහනම ඉවත් කරනු ලැබීය.
ඇමැතිවරයා මෙසේද කීය.

“ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් විද්වත් කමිටුවක් පත්කළා. ඒ කමිටුවේ තීන්දුවක් අනුව ග්ලයිෆොසේට් තහනම ඉවත් කරලා ගැසට් පත්‍රයක් පළ කරලා තියෙනවා. නමුත් සඳුදා වනවිට නැවත ගැසට් පත්‍රයක් පළ වෙනවා තේ සහ රබර් හැර අනෙකුත් බෝග සඳහා ග්ලයිෆොසේට් තහනම තවදුරටත් පැවැත්වෙන ආකාරයට. ඒ තුළින් තේ සහ රබර් වගා කරන අයට පමණක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිර්දේශ මත අවසර ලබාදෙනවා.

මේ සම්බන්ධයෙන් තේ සහ රබර් වගා කරන අයගෙන් දැඩි ඉල්ලීමක් තිබුණා මේ තහනම ඉවත් කරන්න කියලා. විශේෂයෙන්ම මේ නිසා රබර් කර්මාන්තයටත් බලපෑමක් ඇති වූ බව ඒ අනුව විද්වත් කමිටුවකින් ආපු නිර්දේශ මත එම බෝග දෙකට තහනම ඉවත් කරන්න කටයුතු කළා.

එමෙන්ම මේ සඳහා විරුද්ධ වූ පාර්ශ්වයන්ද තේ කර්මාන්තය ග්ලයිෆොසේට් නැතිව කරගෙන යා නොහැකි බව වටහා ගෙන ඇති බවත් ඒ නිසා ඒ අයගෙන් මේ සඳහා විරෝධතාවන් මතු නොවන බවද අමාත්‍යවරයා කීය.

RSL

Related Posts