ගම්පහ පොහොට්ටු රැස්වීම් සති 2කට නතර කරයි

Spread the love

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු දේශපාලන ජනහමු, බල මණ්ඩල රැස්වීම් ඉදිරි සති දෙකක කාලය තුළ අත් හිටුවන ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක ඇමති ප්‍රසන්න රණතුංග මහතා ගම්පහ දේශපාලන බළධාරීන්ට දැනුම් දෙයි.  කෝවිඩ් 19 වසංගතය හේතුවෙන් රට තුළ මතු ව ඇති තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම  තීරණයට එළඹි බව ඇමතිවරයා කියා සිටී.

කෝවිඩ් 19 වසංගතය හේතුවෙන් දිවයින පුරා ජනතාව රැස්වන සියලු උත්සව හා රැස්වීම් සති 02 ක කාලයක් සදහා අවලංගු කිරීමට රජය තීරණය කර තිබේ. රජයේ එම තීරණයට අනුව ජනතාවගේ ආරක්ෂාවට ප්‍රමුඛතාවය ලබා දෙමින් ගම්පහ දිස්ත්‍රික්කයේ සිය පක්ෂයේ සියලු දේශපාලන රැස්වීම් අවලංගු කිරීමට තීරණය කළ බවත් රණතුංග මහතා කීවේය.

ඒ අනුව අද දින පැවැත්වීමට නියමිතව තිබු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් දොම්පෙ බියගම ආසන බල මණ්ඩල රැස්වීම් හි දිවුලපිටිය කාන්තා හා තරුණ බල මණ්ඩල රැස්වීම් ද අවලංගු කෙරිණි. ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරගත් ගම්පහ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීම් හා බල මණ්ඩල රට තුළ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන ඒ අනුව සංවිධානය කරන බව ද ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටී.

Tags: