කාබනික පොහොර නිෂ්පාදනය ඉහළ දමා ගොවිජනතාව අතර ප්‍රචලිත කිරීමේ වැඩපිළිවලක්

Spread the love

රසායනික පොහොර අවභාවිතය නිසා දේශීය ගොවියාත්, පාරිභෝගික ජනතාවත්  බරපතල සෞඛ්‍ය ගැටළුවලට මුහුණ දී ඇතිබවත් ඒ සඳහා තිරසාර විසඳුමක් ලෙස කාබනික පොහොර නිෂ්පාදනය ඉහළ දමා ගොවිජනතාව අතර ප්‍රචලිත කිරීමේ වැඩපිළිවලක් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. 

ඇමතිවරයා මේ බව සඳහන් කළේ රසායනික පොහොර භාවිතය හේතුවෙන් සිදුවන පාරිසරික හා සෞඛ්‍යමය ගැටළු සඳහා තිරසාර විසඳුමක් ලබාදීමේ ජනාධිපතිවරයාගේ සංකල්පය යථාර්තයක් බවට පත් කිරීමට උදෙසා දේශීය ගොවියා කාබනික පොහොර භාවිතයට යොමු කිරීම පිළිබඳ කෘෂිකර්ම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (14) දින පැවති සාකච්ඡාවක දී ය. 

මෙහිදී කෘෂිකර්මාන්තයේ ප්‍රගතිය මෙන්ම ජනතාවගේ නිරෝගීභාවය වෙනුවෙන් විශිෂ්ට තීරණයක් ගැනීමට කෘෂිකර්ම අමාත්‍යවරයා ඉදිරිපත් විය. විශේෂයෙන් වසවිස නැති ආහාර රටාවක් තුළින් නිරෝගී සම්පන්න පරපුරක් බිහි කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව අවධානය යොමු කර අමාත්‍යවරයා, කාබනික පොහොර භාවිතය දිරි ගැන්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීම කඩිනම් කළ යුතු බව අවධාරණය කළේය. 

රසායනික පොහොර අවභාවිතය හේතුවෙන් ඇතිවන සෞඛ්‍ය ගැටළු මෙන්ම පාරිසරික ගැටළු අවම කිරීම සඳහා පියවර රැසක් ගැනීමට මෙහිදී අවධානය යොමු විය. ඒ අනුව,·       

රජයේ පොහොර සමාගම්වල කාබනික  පොහොර නිෂ්පාදනය ඉහළ දැමීම.  කාබනික පොහොර නිෂ්පාදනය සඳහා තාක්ෂණය සහ තාක්ෂණික උපදෙස් ලබා දීම.       පෞද්ගලික සමාගම් සඳහා අවශ්‍ය බදු සහන ලබාදීම / නවීන තාක්ෂණිකඋපකරණ ලබා දීම.   කාබනික පොහොර නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඉඩම් ලබාදීම.       කාබනික පොහොර නිෂ්පාදනය අමුද්‍රව්‍ය රාජ්‍ය මැදිහත් වීමෙන් සැපයීම. කාබනික පොහොර බෙදාහැරීමේ නිසි යාන්ත්‍රණයක් රාජ්‍ය මැදිහත් වීමෙන් සැකසීම. 

රජයේ පොහොර සහනාධාර යටතේ කාබනික පොහොර භාවිත කරන ගොවියාගේ සහනාධාරය ඉහළ දමා ඔවුන්ගේ නිෂ්පාදන වැඩි මිලට ගැනීමට ජනාධිපතිතුමාගේ අවධානයට යොමුකරන බවත් මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සදහන් කළේය.  

ඒ අනුව 2021 ජනවාරි මස සිට ක්‍රියාත්මකවන මෙම ව්‍යාපෘතිය ඔස්සේ වසර 03 කදී දේශීය කාබනික පොහොර භාවිතය 30% දක්වා ඉහළ නැංවීම සිදුවනු ඇත. 

මෙම අවස්ථාව සඳහා  රාජ්‍ය අමාත්‍යවරු, අමාත්‍යාංශ ලේකම්තුමා, රාජ්‍ය ලේකම්වරුන්, අමාත්‍යාංශ නිලධාරීන් සහ කාබනික පොහොර නිෂ්පාදන සමාගම් නියෝජිතයින් සහභාගී වූහ.

RSL

Related Posts