වල්පැල මතුවූවාට පසු ඒවා මර්දනය කරනවා වෙනුවට එළවලු වගාබිමක වල්පැල පැමිණෙන්නට පෙර අනුගමනය කරන ක්‍රමවේදයන් හරහා සාර්ථක ප්‍රතිපල අත්කරගත හැකිබව මීට පෙර පලකරන ලද පුවත් ලිපිය මගින් පැහැදිලි කරන ලදී. එසේ වල්පැල බිහිවීම බාධා කරනුයේ බෝග ස්ථාපනයත් සමග වගාබිම මතට අතුරන වසුන් මාර්ගයෙනි.
කෘෂිකර්මාන්තයේ ප්‍රධාන වසුන් වර්ග තුනක් හඳුනාගෙන ඇති අතර ඒවා කෘතිම වසුන්, කාබනික වසුන් හා ජීවී වසුන් වශයෙන් නම්කර තිබේ.
- පොලිතීන් ආස්තරණයක් යෙදීම කෘතිම වසුනකට උදාහරණයක් වන අතර,
- පිදුරු, මල් හා බීජ රහිත කපන ලද පිට්ටනි තණකොළ, වියලි කෙසෙල් කොළ, වියලි පොල් අතු, ග්ලිරිසීඩියා කොළ ආදිය කාබනික වසුන් ගණයට ගැනේ.
- ජීවී වසුනක් සේ සැලකෙන්නේ නිරාවරණය වූ භූමි ප්‍රදේශය වැසීම සඳහා ප්‍රධාන බෝගයට අමතරව වවනා තවත් බෝගයකි.
පොලොව මතට හිරුඑළිය වැටීම බාධා කරනා බැවින් ජීවී වසුනක් වුවත්, වල් මර්දනය සම්බන්ධයෙන් ගත්කල කාර්යක්ෂම ක්‍රමවේදයකි.
ප්‍රධාන බෝගයට සාපේක්ෂව මෙය කෙටිකාලීන බෝගයක් නිසා, භූමියේ ප්‍රධාන පලදාව එන්නට කලින් ‘වැස්ම බෝගය’ පල දරන්නේය. වල් මර්දනයට යහමින් මුදල් වියදම් කරන්නට සිතා සිටි ගොවියාට ඒ වෙනුවට දැන් ලැබෙන්නේ වැසුම් බෝගයේ පලදාව විකුණූ මුදල්ය. මෙහි ඇති පරිසර හිතකාමී බව හා ආර්ථික ප්‍රතිලාභය මෙන්ම පැහැදිලිවේ.
එළවලු වගාවේ වල් මර්දනය පිලිබඳ 2018/19 මහ කන්නයේ සිට ගන්නෝරුවේ පර්යේෂකයින් කරන ලද අත්හදා බැලීම් අතර ජීවී වසුනක ප්‍රතිචාරය ගැනද සැලකිලිමත් වී තිබේ. තවමත් මෙම පර්යේෂණ පවතින්නේ ළදරු අවධියේය.
සංඛ්‍යානමය තහවුරු කරන ලද ප්‍රතිපල ඒවාට නැති නමුත්, ලබාගත් දත්තයන්ගේ නැඹුරුව ඇත්තේ කුමන දිසාවකටදැයි කීමට හැකියාවක් ප්‍රතිපල දෙස බැලූවිට පෙනීයයි. වගාකරුවෙකුට තීරණයක් ගැනීමට එම සංඥාව හොඳටම ප්‍රමාණවත් වේ.
“අපි ජීවී වසුනක් ලෙස භාවිතා කෙරුවේ රාබු වගාවක්. තක්කාලි, මාළුමිරිස් හා බටු වගාවක් තමයි ප්‍රධාන වගාව ලෙස භාවිතා කෙරුවේ. එම පැල සිටුවන දවසෙම රාබු ඇටත් ක්ෂේත්‍රයට දැම්ම. ප්‍රධාන බෝගයේ පේලි අතර පරතරය අනුව අපිට රාබු පේලි කීයක් දානවද කියල තීරණය කරගන්න පුළුවන්. අපේ ආදර්ශනයේ නම් දැම්මේ රාබු පේලි දෙකයි. වල මර්දනයක් කෙරුවේම නෑ. ප්‍රධාන බෝගයට හා රාබු වලට නිර්දේශිත පොහොර ප්‍රමාණය නම් වෙන වෙනම දැම්මා. දවස් 45 කින් රාබු ගැලෙව්වා. දිනක් දෙකක් ඇතුලත රේක්කයකින් භූමිය සමතලා කරලා නැවතත් කලින් වගේම රාබු පැලකලා. තක්කාලි හා වම්බටු පාත්තිවල සිටවූ දෙවැනි රාබු වගාවේ නම් පළමු වගාවේ තරම් සරු අස්වැන්නක් ලැබුනේ නෑ. අල එරීම අඩුවෙන් තමයි තිබුනේ. ඒකට හේතුව තමයි ප්‍රධාන වගාවේ කොලදාව ඒ වනවිට හොඳට හැදිලා තිබෙන නිසා හිරුඑලිය අඩුවෙන් පොළොවට වැටීම. ඒත් මේ බාධාව මාළුමිරිස් වල එතරම් ප්‍රබල නෑ. මාළුමිරිස් සමග වැවුණු දෙවැනි රාබු වගාවත් සරුවට වැඩීමේ හේතුව එයයි. “
කෘෂිකර්ම උපදේශිකා උදයානි හේරත් සමග කල ක්ෂේත්‍ර මෙහෙයුමේ නිරීක්‍ෂණ, ජ්‍යෙෂ්ඨ වල්පැළෑටි විද්‍යාඥ අනුරුද්ධිකා අබේසේකර පැහැදිලි කෙරුවේ එලෙසිනි. සාමාන්‍ය ගොවි සිරිතට අනුව ඉහත සඳහන් කල ප්‍රධාන එළවලු බෝගයන්ගේ වල්පැල උදලුගෑම මාසයකින් හා මාස එකහමාරකින් වශයෙන් අඩු තරමින් දෙවතාවක් වත් සිදු කරන අතර, මෙම පර්යේෂකයින්ද එක පාත්තියක් පවත්වාගෙන ගොස් ඇත්තේ එයට අනුකූලවයි. (සියලුම අස්වැන්න දත්තයන්හි ඒකක හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් වලිනි)
ගොවි සිරිතට අනුව
තක්කාලි – 24.81 මාළුමිරිස් – 13.41 වම්බටු – 10.2
පිදුරු ඇතුරුම සමග
තක්කාලි – 59.32 මාළුමිරිස් – 22.89 වම්බටු – 12.10
තණකොළ නොගලවා
තක්කාලි – 26.31 මාළුමිරිස් – 8.44 වම්බටු – 8.95
රාබු අතුරු බෝගයක් වශයෙන් යොදා
තක්කාලි – 46.28 මාළුමිරිස් – 26.52 වම්බටු – 20.84
ප්‍රතිපල වලින් පෙනෙනා පරිදි පිදුරු ඇතුරුම ඇති විටදී පවා රාබු මිශ්‍ර වගාවේ අස්වැන්න පැරදවීමට සමත්වී ඇත්තේ තක්කාලි බෝගයට පමණය. එයද එතරම් විශාල ඉහළයාමක් නොවේ. මාළුමිරිස් හා වම්බටු වල නම් අස්වනු ලැබීම පිදුරු ඇතුරුමෙහි අස්වන්නටත් වඩා වැඩිය. ගොවි සිරිතට අනුව කෙරෙන තණකොළ උදලුගෑම සහ කිසිදු වල් මර්දනයක් නොකර සිටීම අතරද වෙනසක් නැති තරම්ය.
මෙයින් සනාථ වන්නේ අප විසින් කලින් පත්‍රිකාවේ සඳහන් කල පළමු මාසය තුල සිදුකල යුතු වල් මර්දනයේ අවශ්‍යතාවයයි. තීරණාත්මක වන්නේ පළමු මාසයයි. ආර්ථික විශ්ලේෂණයක් නොකලත්, අවසන් දත්තයන් වලට රාබු විකුණා ලැබෙන ආදායමද එකතු කලවිට ගොවියා අතිරේක ලාභයක් ලබනබව විශේෂයෙන් පැහැදිලි කලයුතු නැත. පරිසර මිත්‍රශීලීව, වල්නාශක නොයොදා එළවලු වැවීමමේදී, ජීවී වැස්මක පලදායිතාවය ගොවිජනතාව තේරුම් ගතයුතු කාලය එළඹ තිබේ.
තාක්‍ෂණික කරුණු: අනුරුද්ධිකා අබේසේකර, ජ්‍යෙෂ්ඨ වල්පැලෑටි විශේෂඥ / ස.කෘ.අ. – උදයානි හේරත්, කෘෂිකර්ම උපදේශිකා – උද්‍යාන බෝග පර් හා සංවර්ධන ආයතනය, ගන්නොරුව, පේරාදෙණිය
පිටපත – සනත් එම්. බණ්ඩාර – හිටපු සහකාර අධ්‍යක්ෂ, ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය, ගන්නොරුව, පේරාදෙණිය.