ඇමෙරිකානු රාජ්‍ය ලේකම් දිවයිනට පැමිණෙයි

Spread the love

ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයිකල් ආර්. පොම්පියෝ මහතා නවදිල්ලි නුවර සිට විශේෂ ගුවන් යානයකින් අද රාත්‍රී 7.35 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා වූ බව විදේශ සබදතා අමාත්‍යාංශය කියයි.

ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා මෙරටට පැමිණිමට පෙර ඉන්දියාවේ නිල සංචාරයක නිරත වූ අතර එම සංචාරය අවසන් කරමිනුයි ඔහු කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා වුයේ.

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කළ  ආරාධනයකට අනුව දිවයිනට පැමිණෙන ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා 28 වැනිදා දක්වා  රැඳී සිටීනු ඇති බව සදහන්වේ.

මෙම සංචාරය අතරතුරදී, පොම්පියෝ මහතා හෙට ( 28) දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  සමඟ නිලවශයෙන් සාකච්ඡා පවත්වනු ලබන බවත් දෙරට අතර නියැලී ඇති බහු ආංශික කටයුතුවලට අදාළ ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳව මෙම සාකච්ඡාවලදී අවධානය යොමු කෙරෙනු ඇති බවත් විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටී.

ජනාධිපතිවරයා හමුවීමෙන් පසු ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා හෙට (28) පෙරවරුවේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී නිල සාකච්ඡා පවත්වන අතර ඉන්පසුව අමාත්‍යවරයා සහ ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වන බව ද විදේෂ සබදතා අමාත්‍යාංශය කියා සිටී.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ධූර කාලය තුළදී ශ්‍රී ලංකාවට පැමිණෙන එක්සත් ජනපදයේ ඉහළම මට්ටමේ සම්භාවනීය අමුත්තා රාජ්‍ය ලේකම් පොම්පියෝ මහතා වේ.

Tags: