ආණ්ඩුවේ අසාර්ථකභාවය වසා ගැනීමට විපක්ෂයේ දේශපාලඥයින් දඩයම් කරනවා – මනුෂ නානායක්කාර

Spread the love

ආණ්ඩුවේ අසාර්ථකභාවය වසා ගැනීමට විපක්ෂයේ දේශපාලඥයින් දඩුවම් කරන බවත්, රාජපක්ෂ කදවුරේ අයෙක්ට ඇප ලැබුණ විට එක් ආකාරයකටත්, විපක්ෂයේ අයෙක්ට ඇප ලැබුණ විට තවත් ආකාරයකටත් කටයුතු කරන බවත්  ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, සමගි ජන බලවේගයේ අපේක්ෂක මනුෂ නානායක්කාර පැවුසවේය.

සමගි ජන බලවේගය පක්ෂ කාර්යාලයේදී පැවති අද (14) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මනුෂ නානායක්කාර මහතා මෙසේද පැවසුවේය.

රාජිත‌ සේනාරත්නට ලබාදී තිබූ ඇප අවලංගු කිරීම සදහා ප්‍රතිශෝධන අයදුම්පතක් ඉදිරිපත් කරමින් ඔහු නැවත වරක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් ඇප ලබාදුන් විට, ගුවන් යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් වන නඩුවට අදාලව ඇප ලබාදුන් විට නීතිපති දෙපාර්තමේන්තුව ඒ සදහා ප්‍රතිශෝධන අයදුම්පත් ඉදිරිපත් කළාද? උදයංග වීරතුංග මිග් ගනුදෙනුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප ලබාගත් විට විමර්ශණ අවසන් නොමැති බව කියමින් ඔහුගේ ඇප ලබාදීමට විරුද්ධව ප්‍රතිශේධන අයදුම්පත් ඉදිරිපත් නොකළේ ඇයි? මේ සියල්ලම සිදුවන්නේ දේශපාලන අවශ්‍යතාවය මත, කොරෝනා අතරේ දේශපාලන දඩයමක් සිදුකරනවා. මේ වන විට මංගල සමරවීර හිටපු ඇමැතිවරයාටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීම සදහා කැදවා තිබෙනවා. කොරෝනා වසංගතය වසන්තයක් කරගෙන මැතිවරණයක් කරන්න ආණ්ඩුව උත්සාහ ගත්තා. කොරෝනා වසංගතය, වසංගතයක් කරගැනීමට ජනතාව ආණ්ඩුවට ඉඩ ලබා නොදෙන විට, ආණ්ඩුව අසාර්ථක වන විට විපක්ෂය මර්දනය කරමින් බලය ලබාගැනීමේ නින්දිත වැඩපිළිවෙක් තමයි ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නේ.  ඇප ලැබුණේ රාජපක්ෂ කදවුරේ සිටින අයෙක්ට නම් නීතිය එක ආකාරයටත්, විරුද්ධ පාර්ශවයේ අයෙක් නම් නීතිය ක්‍රියාත්මක වෙන්නේ වෙනස් විදියකටයි.

රාජිත සේනාරත්න හිටපු ඇමැතිවරයාට විරුද්ධව කළුතර දිස්ත්‍රික්කයේ ඇමැතිවරයෙක් මාධ්‍යයට ඇවිත් කතා කරනවා. රාජිත සේනාරත්න රෝහල් ගත වේවි කියලා ඔහු කියලා තිබුණා. ඒත් රාජිත සේනාරත්න අධිකරණයට ගොස් භාර වුනා. අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබාදීමට එන්න කියලා කිව්වම නයා කෑවා කියලා රෝහල් ගත වුන අය තමයි මේ වගේ ප්‍රකාශ කරන්නේ. මෑත කාලයේදී නඩු එනවිට ලෙඩ වෙනවා, බෙහෙත් ගන්න සිංගප්පූරු යනවා, රෝහල් ගත වෙනවා. මිග් ගනුදෙනුව, සොහොන් හදපු නඩුව එන විට තමන් වැරදි යැයි දැනගෙන නඩු කල් දමාගත්තා. ඒ සදහා පසුගිය රජයෙනුත් යම් යම් සහායන් ලැබුණා කියලා අපි විශ්වාස කරනවා. නඩුවලින් වැරදිකාරයින් විය යුතු අය, සිර ගෙවල්වල සිටිය යුතු අය ජනාධිපති පුටුවට එන්න පුලුවන් වුනේ මේ නිසා තමයි.

මැතිවරණයට ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක අමාත්‍යාංශ හතකට ලේකම්වරු පත් කර තිබෙනවා. ඒක මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක්.  පසුගියදා පත් කළ අමාත්‍යාංශ ලේකම්වරු හත් දෙනාගෙන් දෙදෙනෙක්ම හමුදා සාමාජිකයින්. සක්‍රීය හමුදා සේවයේ සිටින අයෙක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ධූරයට පත් කර  තිබෙන්නේ ඇයි? මැතිවරණය පැවැත්වීමට හැකිද, නැද්ද යන්න තීරණය කිරීමට සෞඛ්‍ය අංශයේ නිර්දේශය අවශයයි. තමන්ට අවශ්‍ය නිර්දේශ ලබාගැනීමට තමයි සක්‍රීය හමුදා සේවයේ සිටින අයෙක් මේ තනතුරට පත් කර තිබෙන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශයට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ පත් කරන්න තිබුණානේ. ඔහු වැනි දක්ෂ නිලධාරීන් පත් නොකර අමාත්‍යාංශ මිලටරීකරණය කරන්නේ ඇයි කියලා අපි ප්‍රශ්ණ කරනවා.

කොරෝනා වසංගතය එක්ක ආණ්ඩුව ගමේ දේශපාලඥයින්ට අවශ්‍ය ආකාරයට රුපියල් පන්දාහක දීමනාවක් ලබාදුන්නා. දෙවැනි වටයේ ලබාදීමටත් දැන් සූදානමින් ඉන්නේ. මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ඉතිරි රුපියල් පන්දාහ ලබාදීමට කටයුතු කිරීමට තමයි සූදානමින් සිටින්නේ. මැතිවරණ කොමිසම තවත් මාසයකින් විතර මැතිවරණය කල් දැම්මොත් ජනතාවට තවත් රුපියල් පන්දහසක් ලබාගැනීමට හැකියි. ආණ්ඩුව මේ රුපියල් පන්දහස ලබාදෙන්නේ දේශපාලන අල්ලසක් විදියටයි. දේශපාලන අල්ලසක් ලෙස නොව ජනතාවගේ අවශ්‍යතාවය අනුව මාසයකට පවුලකට රුපියල් විසිදහක මුදලක් ලබාදෙන්න කියලා බල කරනවා.

මේ වසංගත තත්වය නිසා පීඩාවට පත්වූ ජනතාවට සහනයක් ලෙස ජල බිල්පත් හා විදුලි බිල්පත් ආණ්ඩුව විසින් දරාගන්න කියලා සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලීමක් කළා. මේ ඉල්ලීම කරන විට ජනතාවට ජල බිල්පතයි, විදුලි බිල්පතයි දෙගුණ කරලා තමයි දැන් ලැබී තිබෙන්නේ. මේකට විරෝධයක් ආවාම වැරදිලා විදුලි බිල්පත දෙගුණ වෙලා ඇවිත් කියලා ඇමැතිවරයා කියලා තිබුණි. මේවා හරියට දැක්කොත් බුවා, නොදැක්කොත් එබුවා වගේ දෙයක්.

රැකියා අහිමිවූවන්ට සහන ලබාදෙන්න කියලා අපි ඉල්ලීම් කළා. මේ ඉල්ලීම කරන විට කැබිනට් ප්‍රකාශකයා කියන්නේ පුද්ගලික අංශයේ සේවකයින්ට වැටුපෙන් භාගයක් ගෙවීමට අවසර ලබාදුන් බවයි. මේක සමාගම්වලට කිසිදු සොයා බැලීමකින් තොරව තමන්ගේ සේවකයින්ගේ වැටුප අඩ වැටුපක් බවට පත් කිරීමට තමයි අවසර ලබාදී තිබෙන්නේ. එක පැත්තකින් රාජ්‍ය සේවකයින්ගේ වැටුප දෙන්න කියලා ජනාධිපති ලේකම්වරයා ඉල්ලීම් කරන විට පුද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුපෙන් අඩක් කපා ගැනීමට අවස්ථාව ලබාදී තිබෙනවා. රාජ්‍ය  සේවකයින්ගේ වැටුප පරිත්‍යාග කරන්න කියලා ඉල්ලුවේ ඉල්ලීමක් විදියට කියලා කිව්වට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු ආයතන ගණනාවක චක්‍රලේඛයක් ඉදිරිපත් කරමින් වැටුප් කපා හැරීමට ඉල්ලීම් කර තිබෙනවා. රාජ්‍ය ආයතන ගණනාවක වැටුප් කප්පාදු කිරීම් සිදුවෙනාව. මේ වන විට ඌව පළාතේ සෞඛ්‍ය සේවකයින්ගේ වැටුප් කපා හැරලා තිබෙනවා. සේවකයින්ගේ කැමැත්තකින් තොරව මේ වැටුප් කපාහැරීමට විරෝධය එල්ලවී තිබෙනවා.

මේ වන විටත් සංචාරක ක්ෂේත්‍රයේ කඩා වැටීමට නිසි විසදුමක් ලබාදී නෑ. ඒ වගේම ව්‍යාපාරිකයින්ට තමන්ගේ ව්‍යාපාර නගාසිටුවාගැනීම සදහා ආණ්ඩුවෙන් කිසිම සහනයක් ලබාදී නැහැ. මුලින්ම ආණ්ඩුව පුරාජේරුවකට පුද්ගලික අංශයේ ව්‍යවසායකයින්ට මාස හයක ණය විරාමයක්, සියයට හතරක ණය මුදලක් ලබාදෙනවා කියලා කිව්වා. මොන ආයතනයද, මොන බැංකුවද මේ සියයට හතරේ ණය ලබාදී තිබෙන්නේ කියලා අපි ප්‍රශ්ණ කරනවා. මේ ණය ලබාගැනීම සදහා වත්කම් ඉදිරිපත් කිරීමට සිදුව තිබෙනවා. මේ නිසා ව්‍යාපාරිකයින්ට සහන ලබාදීමේ වැඩපිළිවෙත් අසාර්ථක වෙලා තිබෙනවා.

පුද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් භාගයක් කපන ආණ්ඩුව, රාජ්‍ය සේවකයින්ගේ වැටුප ඉල්ලන ආණ්ඩුව කිසිදු හිරිකිතයකින් තොරව කොමිස් ලබාගැනීමට අධිවේගී මාර්ග ඉදිරිකීමට බිලියන තිස් දෙකක මුදලක් ණය ලබාගැනීමට සූදානම් වෙනවා. පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව ණය සීමාව ඉක්මවා මුදල් ලබාගැනීමට උත්සාහ ගන්නවා. පාර්ලිමේන්තුවේ අනුමැතිය නොමැතිව ජනාධිපතිවරයාට මුදල් වියදම් කිරීමට නොහැකි අවස්ථාවක ව්‍යවස්ථා විරෝධි ආකාරයට මුදල් වියදම් කිරීමට කටයුතු කරන නිසා තමයි මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ඉල්ලා අස්වීම ගැන කතා කරන්නේ. මේ විදියට මුදල් වියදම් කළොත් දේශපාලඥයින් තමන්ගේ පුරවැසිභාවය තිබෙන වෙන රටවල්වලට යාවි. ඒවට අමාත්‍යාංශ ලේකම්වරුන්ට තමයි වගකීමට සිදුවන්නේ. මේ නිසා තමයි රැජ්‍ය නිලධාරීන් බිය වී තිබෙන්නේ.

කොරෝනා වංසගතය නැවත වරක් හිස එසවිමට පුලුවන් මේ නිසා ඉක්මනින් ඡන්දය පැවැත්විය යුතු යැයි කියනවා. ඡන්ද පත්‍රිකා තැටියක දාලා රත් කරලා ඡන්දය තියන්න පුලුවන් කියලා විමල් වීරවංශ අමැතිවරයා කියාල තිබෙනවා. ජනතාවට මොනවා වුනත් කමක් නෑ, කොහොම හරි ඡන්දය තියන්න ඔ්න කියලා හිතන ඇමැතිවරු තමයි මේ ඉන්නේ. මේ වෙලාවේ ජනතාව, ජනතා විරෝධී ආණ්ඩුව ගැන තීරණයක් ගැනීමට බලාගෙන ඉන්නේ

මේ වෙලාවේ ගමේ ගොවියා කබලෙන් ලිපට වැටිලා. ගොවියාගේ නිශ්පාදන අලෙවි කරගැනීමට නොහැකිවී තිබෙනා පමණක් නොවෙයි, වී ගොවියාට බරපතල පොහොර හිගයකට මුහුණදීමට සිදුව තිබෙනවා. මේවාට විසදුම් ලබාදීමට ආණ්ඩුව කිසිම පියවරක් ගෙන නෑ.

රට විවෘත කළාට ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ආණ්ඩුව විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර නෑ. ආණ්ඩුවත් එක්ක වියතුන් ඉන්නවා කිව්වානේ. මේ වියතුන් එකතු කරගෙන ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන්, රටේ ආර්ථිකය නැවත ගොඩනැංවීම සදහා අවශ්‍ය කටයුතු කරන්න කියලා අපි ආණ්ඩුවට බල කර සිටිනවා. 

Tags: