අවම මූලික ගෙවීමකින් නිවාස හිමිකම් ලබා දීමේ ක්‍රමවේදයක්
- RSL
- December 14, 2020
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
අඩු පහසුකම් ජනාවාසවල ජීවත්වන ජනතාව සහ මධ්‍යම පාන්තිකයන් වෙනුවෙන් නිවාස 7500ක් ඉදිකිරීමේ කාර්යය වහාම ආරම්භ කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (14) දින නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය.
නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති සම්බන්ධයෙන් එම අධිකාරියේ නිලධාරින් සමඟ අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.
ඒ අනුව මේ මස අවසන්වීමට පෙර අදාළ නිවාස ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නාගරික සංවර්ධන අධිකාරියේ එකඟතාව පළවිය.
අලුතින් ඉදිවන නිවාස 7500න් 4000ක් අඩු පහසුකම් ජනාවාසවල ජීවත්වන්නන් නැවත පදිංචි කිරීම උදෙසා ඉදිකෙරෙන අතර ඉතිරි නිවාස 3000 මධ්‍යම පාන්තිකයින් සඳහා වෙන්වනු ඇත.
මධ්‍යම පාන්තිකයන් සඳහා නිවාස ලබා දීමේදී අවම මුලික ගෙවීමකින් නිවාස හිමිකම් ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කරන්නැයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට නියෝග කළේය.
ඒ අනුව මධ්‍යම ප්‍රාන්තික නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී නිවාසලාභීන්ට වසර 30ක් දක්වා සියයට 6.25% පොලී අනුපාත යටතේ නිවාස ලබා දීමට තීරණය කෙරිණි.
කාලයක් තිස්සේ ක්‍රියාත්මක කරන බව පවසමින් ප්‍රමාදවන දැනට ආරම්භ කර ඇති වාහන රථගාල්වල වැඩ කටයුතු නැවත නැවත ප්‍රමාදවීම වැළැක්වීමට වහා පියවර ගන්නැයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී දැනුම් දුන්නේය. ඒ අනුව රජයේ ඉඩම් ලබාගත හැකි තැන්වලින් ඒවා ලබාගෙන මෙම රථගාල් ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීමට නිලධාරීන්ගේ එකඟතාව පළවිය.
මේ අතර පෑලියගොඩ නව මැනිං වෙළෙඳපොළ තොග වෙළෙඳාම සඳහා අද දිනයේ සිට විවෘත කරනු ලැබීය.
පසුගිය කාලයේ, නව මැනිං වෙළෙඳපොළෙහි කඩ හිමියන්ට ප්‍රමාණවත් පරිදි කඩ කාමර නොමැතිවීම හේතුවෙන් මතුව තිබූ ගැටලුවට මේ වන විට විසඳුම් ලැබී ඇත.
සියලුම කඩ හිමියන් සඳහා මේ වන විට නව කඩ කාමර දී තිබේ. කඩ කාමර 1200කින් වැඩි ඉඩ ප්‍රමාණයකින් හා පහසුකම් වලින් අනූන කඩ කාමර 768 ක් අද දිනයේ මෙසේ තොග වෙළඳාම සඳහා විවෘත විය.
මෙම කඩ කාමරවල මාසික කුලිය සඳහා සියයට 50%ක් වට්ටමක් ලබා දෙන ලෙස අග්‍රාමාත්‍යවරයා මෙහිදී දැනුම් දුන්නේය. ඒ අනුව යම් කාල පරාසයක් උදෙසා මෙම වට්ටම ක්‍රියාත්මකවනු ඇත.
කොවිඩ්-19 අර්බුදය නොවන්නට සිල්ලර වෙළඳාම සඳහා ඉතිරි වෙළඳ සැල් ලබා දිය හැකි බව නාගරික සංවර්ධන අධිකාරිය මෙහිදී අග්‍රාමාත්‍යවරයාට දැනුම් දුන්නේය.
2015 ට පෙර මුල්ගල තැබූ නිවාස ව්‍යාපෘති පසුගිය කාලයේ යහපාලන රජය විසින් අතර මඟ නවතා දමා තිබිණි. මෙම නිවාස ව්‍යාපෘති සියල්ලෙහි වැඩකටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරිය මෙම හමුවේදී සඳහන් කළේය.
ඉදිරියේදී කලාකරුවන් සඳහා ද නිවාස ව්‍යාපෘති ආරම්භ කිරීමට නියමිතය. 2024 වර්ෂය වන විට නිවාස එක් ලක්ෂ පනස් දහසක සංඛ්‍යාවක් නිමා කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය අපේක්ෂා කරයි.
විවිධ ආධාර යටතේ ලැබෙන නිවාස ව්‍යාපෘති උතුරේ, දකුණේ හෝ වතුකරයේ ජනතාව සඳහා පමණක් නොව රට පුරා සියලු සාමාන්‍ය ජනතාව සඳහා බෙදී යා යුතු බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.
මෙම අවස්ථාව සඳහා නාගරික සංවර්ධන වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, නාගරික සංවර්ධන වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එස්. එස්. බී. යාලේගම, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් එන්. පී. .කේ. රණවීර, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ඊ. ඒ. සී. පියශාන්ත මහතා ඇතුළු මහත්ම මහත්මීන් රැසක් එක්ව සිටියහ.

