අලි-මිනිස් ගැටුමට අඩු වියදම් සරල විසඳුම්

Spread the love

මෙම ගැටලුවට විසඳුම් කොළඹ වායු සමීකරණය කළ කාමරවල සිට දිය නොහැකිය. මුලින්ම අලි රංචුවල හැසිරීම නිරීක්ෂණය කිරීම, ඩ්‍රෝන තාක්ෂණ වැන්නක් භාවිත කොට කළ යුතුය. ඉන් අනතුරුව ක්ෂණික මෙහෙයුම් කළ හැකි ඒකකයක් පිහිටුවිය යුතුය.

ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම් ශීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතින නිසා දැඩි සැලකිල්ලෙන් එය අවම කිරීමට ජාතික මට්ටමේ ක්‍රමෝපාය සැකැසිය යුතු වේ. එය පැති කිහිපයකින් කරුණු සලකා බලා හොඳින් මුදල් යොදවා, හොඳින් සැලැසුම් කොට ඉටු කළ යුතු දීර්ඝ ක්‍රියාවලියකි.

අලින්ගේ හැසිරීම සම්බන්ධයෙන් මහජනයා දැනුම්වත්කොට, ගැටුම් අවම කිරීමේ ක්‍රමෝපාය යොදවා අලි රංචු ගැවැසෙන ආකාරය හොඳින් නිරීක්ෂණය කොට, අලි රංචු පාලනය කිරීමේ ක්‍රමෝපාය යොදා උන් නිශ්චිත ප්‍රදේශවල රඳවා තබා ගනිමින් මෙම කාර්යය කළ යුතුය. ඉන් වඩාත් අර්ථවත් ප්‍රතිඵල අත්කරගැනීමට නම් සෑහෙන කාලයක් හා වෑයමක් යොදා එම ක්‍රියාමාර්ග ඉවහල් කරගත යුතු වේ.

මෙහිදී මිනිසුන් පදිංචි ප්‍රදේශවල සිදුවන අලි ප්‍රහාර වළකා ගැනීම උදෙසා ඉවහල් කරගත හැකි අඩු වියදම් තාක්ෂණ දෙකක් පිළිබඳව සාකච්ඡා කෙරේ. ඒ හැරුණුකොට මෙම ගැටලුවෙන් ඉක්මනින් සහනය ලබාගැනීමට උපකාරී වන වෙනත් වියදම් සහගත ක්‍රමයක් ද මෙහිදී ඉදිරිපත් කෙරේ.

හම්බ්න්තොට අධිවේගී මාර්ගය හරහා ගමන් කරන අලි රංචුවක්

වන සත්ව ගහණය වැඩි වෙමින් පවතින සෑම රටකම පාහේ සත්ව මිනිස් ගැටුම් එක සේ පවතී. ශ්‍රී ලංකාවේ මෙම ගැටලුවට විසඳුම් සෙවීම උදෙසා ජාතික මට්ටමේ නිශ්චිත ක්‍රියාමාර්යක් ගෙන නැතත් මානව ජනගහනය වැඩි වීමත් සමග සත්ව වාස භූමි වෙත එල්ල වන තර්ජනය හොඳින් අවබෝධ වී තිබේ.

ඒ අතර සතුන් වෙතින් මිනිස් ජීවිතවලට සෑහෙන තරම් අනර්ථකාරී බලපෑම් එල්ල වුවද සත්ව ගහනය පාලනය කිරීම උදෙසා විධිමත් කළමනාකරණ උපක්‍රම අනුගමනය කොට නැත. වල් අලි ගැවසෙන ප්‍රදේශ ගම් වලින් වට වී ඇති නිසා විශාල අලි ගහනයකට සැරි සැරීමට හැකි භූමිය සීමා වී ඇත. එහි නිත්‍ය ප්‍රතිඵලය වී ඇත්තේ අලි මිනිස් ගැටුමයි.

ශ්‍රී ලංකාවේ වනාන්තර වැස්ම දිනකට අක්කර 10 (හෙක් 4) බැගින් ඉවත්ව යන බව මෑතකදී වාර්තා විය. ලෝකයේ පොහොසත්ම ජෛව විවිධත්වය පවතින බවට හඳුනාගෙන ඇති රටක සත්ව, ශාක වාස භූමි අහිමි වීම කිහිප ආකාරයකින්ම විනාශකාරී වේ. පුරාණ ඓතිහාසික නටබුන් පැවතීම, රන් පැහැ වැල්ලෙන් සමන්විත වෙරළ තිබීම හා (විශේෂයෙන් අලින් සහ දිවියන් ගැවසෙන) වන සතුන් සහිත වනාන්තර පැවතීම ශ්‍රී ලංකාවේ අනර්ඝත්වයට බලපා ඇති ත්‍රිවිධ කාරණාය. ගෝලීය වශයෙන් සංචාරක කටයුතු උදෙසා ඉමහත් ප්‍රසිද්ධියක් මෙරටට ලැබී ඇත්තේ ඒවා නිසාය. ඒ අතර වසරින් වසර මෙකී නිධානයන් ක්‍රමයෙන් විනාශව යාම ද නිමා නොවේ.

මෙම තර්ජනය එකහෙළාම නවතා දැමීමේ ජාතික වගකීමකුත්, සදාචාරාත්මක යුතු කමකුත් බලධාරීන්ට පැවරී ඇත. කෙසේ වුවද තම තමන්ට අදාළ විෂයපථයන්ට යොමු වී ඇති බොහෝ දේශපාලනඥයන්ට මෙම ගැටලුව පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් නැත. එහි ප්‍රතිඵලය වන්නේ සම්පත් නිසි පරිදි කළමනාකරණය නොවීම හා නොතකා හැරීමය.

Hambantota elephant - human conflict aggravated | Daily News
වනඅලි විසින් විනාශ කළ පොල් වගාවක්

බොහෝ බුද්ධිමතුන්ගේ හා යහපත් චේතනාවෙන් කටයුතු කරන රාජ්‍ය සේවකයන්ගේ හඬ ද දේශපාලන සම්බන්ධතා ඇති මාෆියා කල්ලිවලට ශ්‍රී ලංකාව යට වී තිබීමද කනගාටුවට කරුණකි. පරිසර සංරක්ෂණය සම්බන්ධව කටයුතු කරන බොහෝ දේශීය රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධාන දේශපාලන පක්ෂවලට නතු වී, වඩා හොඳ පරිසරයක් සකස් කිරීමට වඩා ඒවායේ දේශපාලන නායකයන්ගේ සිතැඟි අනුව කටයුතු කරන බවද ප්‍රකටය.

සියලු සත්ව-මිනිස් ගැටුම් වලින් අලි මිනිස් ගැටුම වඩාත් අභියෝගාත්මකය. එසේ වීමට හේතු රාශියකි. සත්වයාගේ ශරීර ප්‍රමාණය හා ශක්තිය, රංචුවක බොහෝ ගණනක් සිටීම, සැරි සරන ප්‍රදේශය විශෘල වීම, විශාල ආහාර ප්‍රමාණයක් මෙම සත්වයන්ට අවශ්‍ය වීම යන හේතු ඒ අතර ප්‍රමුඛය.

විශාල වන සත්ව උද්‍යාන සාර්ථකව පවත්වාගෙන යන දකුණු අප්‍රිකාව වැනි රටක පවා මිනිසුන් හා මහා සත්වයන් පස් දෙනා (අලියා, සිංහයා, දිවියා, රයිනෝ සහ අප්‍රිකානු කුළු හරකා) අතර පවතින ගැටුම් නිරන්තරයෙන්ම සිදුවේ. එම ගැටුම් අවම කර ගන්නට දැරූ උත්සාහයද ඒ අතර බොහෝය.

Human-wildlife conflict - Elephants For Africa

විශාල වන සත්ව උද්‍යාන සාර්ථකව පවත්වාගෙන යන දකුණු අප්‍රිකාව වැනි රටක පවා මිනිසුන් හා මහා සත්වයන් පස් දෙනා (අලියා, සිංහයා, දිවියා, රයිනෝ සහ අප්‍රිකානු කුළු හරකා) අතර පවතින ගැටුම් නිරන්තරයෙන්ම සිදුවේ. එම ගැටුම් අවම කර ගන්නට දැරූ උත්සාහයද ඒ අතර බොහෝය.

ලෝකයේ වඩාත් විශාලතම සෆාරි උද්‍යානයක් වූ දකුණු අප්‍රිකාවේ ක්රූගර් ජාතික උද්‍යානයේ ද සත්ව මිනිස් ගැටුම් අවම කර ගන්නට දරනුයේ අසීරු අරගලයකි. මම එම උද්‍යානය නරඹා ඇත්තෙමි. ශ්‍රී ලංකාවේ වර්ග. කි.මී. 65610 විශාලත්වය හා සසඳා බැලූ විට වර්ග සැතපුම් 19485 ක විශාලත්වය කින් හෙබි එහි තරම හොඳින් පෙනී යයි. ඒ තුළ කි.මී. 900 පමණ දිග මාර්ග පද්ධතියකි.

බොහෝ සත්ව විශේෂ අතුරින් වැඩිපුර සම්පත් වැය වන්නේ අලින් පිළිබඳ ගැටලුව උදෙසාය. අලි බුද්ධිමත් සත්ව විශේෂයක් වන අතර අවුරුදු 60 කට වැඩි කාලයක් ජීවත් වෙති. උන්ට හොඳ මතක ශක්තියකුත් ගැටලු විසඳා ගැනීමේ නිපුණතාවකුත් ඇත. මිනිසුන් හැරුණු කොට අලි ගොදුරු කර ගන්නා වෙනත් ස්වභාවික විලෝපීය සත්වයන් නැත. වාර්තා චිත්‍රපට කිහිපයක් නරඹන අයකුට අලින් කොතරම් බුද්ධිමත්ව හැසිරෙන්නේ දැයි දැක ගත හැකිය. විශේෂයෙන් මේ සම්බන්ධ බොහෝ BBC වාර්තා චිත්‍රපට ඇත.

ශ්‍රී ලංකාවේදී මේ ගැන දැක ගත හැකි බොහෝ යූ ටියුබ් දර්ශන ද ඇත. බිඳුණු ගස් කඳන් වලින් දමා ගසා විදුලි වැට කඩා දමා තම ගමන යන අලින්ගේ දර්ශන ඒවායේ බොහෝය. ශ්‍රී ලංකාවේ ඉදි කොට ඇති විදුලි වැට සාර්ථක ලෙස නිර්මාණය වූවක් නොවන බව පෙනී යයි. විදුලි වැට ඉදි කළ යුත්තේ අලින්ට වඩා බුද්ධිමත් මිනිසුන් විසිනි.

Human Elephant Conflict in Sri Lanka : Part 2 : A way towards a solution

1900 ගණන්වල මුල් භාගයේ සිටි 12000 ක් පමණ වූ අලි ගහනය 7500 දක්වා පහත වැටී ඇති බව සංඛ්‍යා ලේඛන වලින් පෙනී යයි. 2019 දී අලි 405 (5.7%) මිනිසුන් විසින් මරා දමනු ලැබ ඇත. 2018 දී මිනිසුන් මරා දමනු ලැබූ අලි සංඛ්‍යාව 360 කි. රජයේ දත්ත අනුව පෙර වර්ෂයේදී අලින් විසින් මරා දමනු ලැබූ මිනිසුන් සංඛ්‍යාව 96 කි. 2019 දී එම සංඛ්‍යාව 21 කි. සියයට 6 කට ආසන්න වූ ඉහළ මට්ටමේ ඝාතන ප්‍රතිශතය කිසිම සත්ව වර්ගයක් උදෙසා ඔරොත්තු නොදේ. ඒ තරම් වැඩි සංඛ්‍යාවක් මරා දැමීමට එක් අතෙකින් බෝවීමේ අනුපාතය වැඩි වීම හේතු වූවා විය හැකිය. ගැටුම් අඩු කිරීමට වෙනත් පියවර නොසෑහේ නම් පමණක් අලි දෙනුන්ගේ ප්‍රජනන වයස වඳ බවට පත් කිරීමේ අවශ්‍යතාවක් ද මතු විය හැකිය. ගැටලුව දිගින් දිගටම සිදු වුවහොත් අවාසනාවකට නිසි සතුන් තෝරා මරා දැමීම ද ඇතැම් අප්‍රිකානු රටවල කරන්නා සේ පවතින එකම විසඳුම බවට පත්විය හැකිය.

ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම පවතින තත්ත්වය අනුව එම ගැටලුවට විසඳුම් දෙනු ලබන්නේ උදාසීනත්වයකින් හා නොසැලකිල්ලෙන් බව අයකුට කිව හැකිය.

වන සත්ව ගැටලු පවතින ඉඩම්වලට අදාළ නීති පවත්වා ගැනීමේ වගකීම අත්තේ ශ්‍රී ලංකාවේ වන සත්ව සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හා බලධාරීන්ට වුවද ඒවා ක්‍රියාත්මක කරනු ලබන්නේ ස්වයං මුර්ජාවකින් බව පෙනේ.

Yala Adventure Safari, Hambantota | DestiMap | Destinations On Map

අයකුට යූ ටියුබ් චැනලයකට පිවිසීමෙන් මේ බව සාක්ෂාත් කර ගත හැකිය. වාහනවල ගමන් ගන්නා මිනිසුන් කෑම දෙන තුරු මාර්ග අයිනේ බලා ඉන්න වල් අලින්ගේ සල රූ ඒවායේ එමටය. නිදහසේ දෙන පලතුරුවල මිහිරි රසට හුරු වූ අලින් තමන්ට හුරුපුරුදු තෘණ වර්ග නීරස වීම පුදුමයක් නොවේ.

අවශ්‍යතාවක් තිබේ නම් වල් අලින්ට නීති විරෝධී ලෙස ආහාර දෙන අය සිය ගණනක් පැය කිහිපයක් තුළ අල්ලා ගත හැකි වේ. බස් රථවල ගමන් කරන මහජනයා පවා වල් අලින්ට කෑම දෙන්නට නැවතී සිටින වීඩියෝ දර්ශන යූ ටියුබ් හි බොහෝ සේ දැක ගත හැකිය. මෙම පුද්ගලයන්ට එරෙහි නීතිමය පියවර ගත් බවක් කිසිම විටක වාර්තා වී නොමැත. තමන්ගේ ක්‍රියාවන් සතුන්ගේ සෞඛ්‍යයට හා හැසිරීමට බලපාන ආකාරය එම අය නොදනිති. බලා ඉන්න වල් අලින්ට ආහාර පිණිස, දෙන්නට මිලදී ගත හැකි කෙසෙල් සහ පැණි පුහුල් සහිත කඩ ද පාර දෙපස ඇත. මගීහු ඒවායින් පලතුරු මිලදී ගෙන සිඟමන් යදිනා වල් අලින්ට දෙති. විශාල වශයෙන් ස්වභාවික නොවූ ආහාර පරිභෝජනයට පුරුදු වීම නිසා එය සතුන්ගේ සෞඛ්‍යයට හා හැසිරීමට අනර්ථකාරී ලෙස බලපෑම් සිදු වන්නේ කාලයත් සමඟය.

මෙම ගැටලුවට විසඳුම් කොළඹ වායු සමීකරණය කළ කාමරවල සිට දිය නොහැකිය. මුලින්ම අලි රංචුවල හැසිරීම නිරීක්ෂණය කිරීම, ඩ්‍රෝන තාක්ෂණ වැන්නක් භාවිත කොට කළ යුතුය. ඉන් අනතුරුව ක්ෂණික මෙහෙයුම් කළ හැකි ඒකකයක් පිහිටුවිය යුතුය. ඒවාට ෆෝ වීල් ජීප් රථ, ATV වර්ගයේ බිම් වාහන, වායු තුවක්කු වෙඩි ආදිය තිබිය යුතුය. මිනීමරු අලියකු ගම් වැදී ඇති බවට ගැමියකුගෙන් දුරකථන ඇමතුමක් ලැබෙනතුරු බලා ඒ වෙත යාම සාර්ථක නොවේ. ප්‍රශ්නය මතු වෙන ස්ථානය කල් තියා දැනගත හැකි උපකරණ අප සතුව තිබිය යුත්තේ ඒ නිසාය.

ඊළඟට විදුලි වැට පිළිබඳ ගැටලුව ගනිමු. ඉදි කළ පසුව වැටවල් නිරන්තර නිරීක්ෂණයට ලක් විය යුතුය. විදුලි වැටවල් ආරක්ෂිත ප්‍රදේශ උපක්‍රමශීලී ලෙස කාණු වලින් ද වට කිරීම උචිතය.

Local fears grow over Chinese projects in Sri Lanka | The Third PoleThe  Third Pole

ලැව් ගිනි පිළිබඳව පරීක්ෂාකාරී වීම සඳහා කැනඩාවේ ඩ්‍රෝන තාක්ෂණ හැරුණු විට මුර කුලුනු භාවිතය ද සිදුවේ. ශ්‍රී ලංකාවේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන ගැමියන් ඒවායේ (මුර කුලුනු වල) රඳවා තැබීම ද යෝග්‍යය. රජයක් කෙරේම විශ්වාසය නොතබා එම ගැටලුවට ඍජුව මුහුණ දෙන ජනයා හට ද ඒ අයුරින් විසඳුම් සඳහා දායක විය හැකිය.

වර්තමානයේ සැරි සැරීම උදෙසා අලින් හට වෙන් කර දී ඇති ප්‍රදේශ තවදුරටත් මිනිස් ආක්‍රමණිකයන්ට අල්ලා ගැනීමට ඉඩ නොලැබෙන අයුරින් ඊට අවශ්‍ය පියවර ගත යුතුය. යුරෝපයේ සහ උතුරු ඇමෙරිකාවේ බොහෝ සංචාරක සමාගම්, වල් අලි නැරඹීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ වැදගත්කම ගැන පුළුල් ප්‍රචාරයක් දෙයි. මෙම ජාතික සම්පත් ප්‍රදර්ශනය කිරීමෙන් විදේශ සංචාරකයන් වෙතින් උපයන ආදායම අලින්ගේ ප්‍රයෝජනය තකා වෙන් කිරීම කළ යුත්තකි.

මෙම ක්ෂේත්‍රයට අදාළ වෘත්තීය ප්‍රවීණයන් වෙතින්, අලි මිනිස් ගැටුම යම් තරමකින් සමථයකට පත් කිරීම උදෙසා උපදෙස් ගැනීමෙන් අනතුරුව මෙම අඩු වියදම් සහිත පහසුවෙන් භාවිතයට ගත හැකි ක්‍රම 2 ක් පහත ඉදිරිපත් කරමි.

මා විස්තර කිරීමට බලාපොරොත්තු වන තාක්ෂණය නම් – චලන සක්‍රීය ප්‍රොපේන් කාලතුවක්කුව
ඩ්‍රෝන මගින් පරීක්ෂාකාරී වීම සහ අලින් පලවා හැරීම සඳහා ඩ්‍රෝන භාවිතයයි.   
 

   චලන සක්‍රීය ප්‍රොපේන් කාලතුවක්කුව

මෙය රටවල් බොහෝවක සත්ව වර්ග පාලනය කිරීම සඳහා භාවිත වූ පැරණි හා නව තාක්ෂණයේ සංකලනයකි. නිවෙස්වල භාවිත ප්‍රොපේන් වායු සිලින්ඩරයක් මෙහිදී උපයෝගී කර ගැනේ. මෙම උපකරණයේදී ප්‍රොපේන් වායුව දහනය වන්නේ වෙඩි හඬක් නිකුත් වන ආකාරයටයි. ඉලෙක්ට්‍රොනික දල්වනයක් යොදා ක්‍රමලේඛනය කළ ටයිමරයකට (කාල උපකරණයකට) ගෑස් වෑල්වයකට එය සවි කර තිබේ.

ප්‍රොපේන් කාලතුවක්කු බොහෝ රටවල ගුවන්තොටුපොළ ඛනිජ තෙල් කම්හල් ආදියේ කුරුල්ලන් පළවා හැරීම සඳහා සාර්ථකව යොදා ගැනේ. මේවා මුලින්ම යොදා ගැනුණේ කාලාන්තරයට වරක් ඉබේ පත්තු වන ආකාරයටයි. එවිට සතුන් ඊට හුරුවන නිසා පසුව සත්ව රංචු පැමිණෙන විට පමණක් පත්තු වන ආකාරයට ඒවා සැකසුණේය. මේවායේ බැටරිය සූර්ය කෝෂයකින් ක්‍රියාත්මක වන ආකාරයට ද සවි කළ හැකිය.

අලින් පළවා හැරීම උදෙසා මේවා නවීකරණය කොට ඉහළ ස්ථානවල සවි කළ හැකිය. එවිට අලින්ට ඒවා විනාශ කළ හැකි නොවේ.

ඩ්‍රෝන මගින් පරීක්ෂාකාරීවීම සහ ඩ්‍රෝන භාවිතයෙන් අලින් පළවා හැරීම.

අලින්ගේ හැසිරීම, උන් ගැවසෙන ස්ථාන ඩ්‍රෝන මගින් පරීක්ෂාවට ලක් කිරීම පළමු වැන්නයි. පරෙස්සම්සහගතව දුරක සිට දිවා රෑ දෙකේම (රැයේ පෙනෙන තාප සංවේදකය මගින්) මෙම පරීක්ෂාව කළ හැකිවේ.

දෙවැන්න, මී මැස්සන්ගේ ගුමු ගුමුව ඩ්‍රෝන මගින් පතුරවා හැරීමයි. අලි මී මැසි රංචු වල ගුමු ගුමුවට බෙහෙවින් බිය වෙති.

බටහිර අප්‍රිකාවේ සැවාන පෙදෙස්වල  වෙසෙන අලි මිනිසුන්ගේ සහ සිංහයන්ගේ තර්ජනය හැරුණු කොට මී මැසි රංචුවල තර්ජනවලට ද ලක් වෙති. මී මැස්සෝ අලින්ගේ ඇස් හා හොඬය ආශ්‍රිත සංවේදී ස්ථානවලට විඳිති. කුඩා මී මැස්සන්ගේ ගුමු ගුමුව ඇසෙන විට සද්දන්ත අලි පළා යන බව එම රට වල වීඩියෝ දර්ශන වලින් පැහැදිලිය.

යොදා ගත හැකි වෙනත් සරළ ක්‍රම

Elephants & Bees › Human-Elephant Conflict and the use of Honeybees: A  South African's Perspective in Sri Lanka
අප්‍රිකානු රටවල බහුලව භාවිත කෙරෙන ක්‍රමයකි ගොවිපොළ සමීපයේ මී මැස්සන් බෝ කිරීම

අලින්ගෙන් සිදුවන කෘෂි බෝග අස්වනු හානි වළක්වා ගැනීමට වෙනත් සරළ ක්‍රම ද වේ. කුඹුරු අද්දර කටු සහිත ගස් වැවීම එක් ක්‍රමයකි.

අප්‍රිකානු රටවල බහුලව භාවිත කෙරෙන ක්‍රමයකි ගොවිපොළ සමීපයේ මී මැස්සන් බෝ කිරීම හා සැර මිරිස් වර්ග වගා කිරීම. මේ මගින් ගොවීන්ට අමතර ආදායමක් ද ලබා ගත හැකිය.

අලින්ගේ ප්‍රහාරයට ලක් වන ප්‍රදේශවල පැණි රස ආහාර බෝග වගා නොකර සිටීමට වගා බලා ගැනීමද තවත් ක්‍රමයකි. උක් සහ පැණි පුහුල් (මෙලන් වර්ග) වගා බිම් අලින්ගේ ප්‍රහාරයට ලක් වීම සුලභ කරුණකි.

ආචාර්ය නිමල් රාජපක්ෂ – එඞ්මන්ටන්, ඇල්බාර්ටා, කැනඩා

පරිවර්තනය සමන් පුෂ්ප ලියනගේ

මෙම ලිපිය 2021 ජනවාරී මස 27 වැනි දින ලංකාදීප ඊ පුවත්පතින් කළ සම්පූර්ණ උපුටා ගැනීමකි. කෘෂිකර්මය හා සම්බන්ධ විද්වත් ලිපි එකතුවක් පවත්වා ගෙන යාම සඳහා readsrilanka.com දක්වන උනන්දුව නිසා මෙම ලිපිය ප‍්‍රකාශයට පත්කරන ලදි.

RSL

Related Posts